Print this Article


පුර පෑළවිය සඳ - 08 කොටස

පුර පෑළවිය සඳ - 08 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

මෙතෙක් කතාව: දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරදිපිට වැරදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන් ගැන ඇති වූයේ මහා දුකකි.

තමන්ට ගිහි ව සිටි කාලයේදීත් බාප්පා නිතර ම කීවේ ‘කරුමක්කාරයා’ කියා බව දමිතට මතක ය. පවුලට ම බලපා ඇත්තේත් තමන්ගේ ම පව්කාරකමක් බව ඔහුගේ අදහස වීය. එම අකුසල කර්මය වෙනස් කළ හැකි නම් කොයිතරම් හොඳයි ද?

“ එහෙම කරන්න පුලුවන් ද නන්ද හාමුදුරුවනේ...”

සාමණේරයන් අසන්නේ අලුත් බලාපොරොත්තුවක් සිත තුළ දල්වා ගෙන ය.

“ පුලුවන් ,.. මොකද බැරි...

හැබැයි ඒකට.., අමාරුවෙන් හරි ගැඩවිල් පණුවටත් , දිමි රැළටත්, බටිති කුරුල්ලටත් තුන්දෙනාට ම එකවගේ ම ආදරේ කරන්න පුහුණු වෙන්න ඕනේ..”

නන්ද හාමුදුරුවන් කියන්නේ පුදුමාකාර කතාවකි. නපුරු දිමියන්ටත් , බටිති කුරුල්ලාටත් ආදරේ කරන්නේ මොන එහෙකට ද? උන් නපුරෝ ය. උන්ට ඕනෑ වුනේ අහිංසක ගැඩවිල් පණුවාව වධ දී මරාගෙන කෑමට ය.

ඉතින් මා ආදරය කළ යුත්තේ ඒ අහිංසකයාට නොවේද? සාමණේරයන්ට ගැටලුවකි.

ඔවැනි ගැටලුවක් නන්ද හිමියන්ටත් මොහොතකට කලින් ඇති වී තිබුණේ ය.

යථාර්ථාවබෝධය මනසට ගලා ආවේ විහාර ගේ තුළට වී දෙපැයක් පුරා සිත සන්සුන් කර ගැනීමෙන් අනතුරුව ය.

“ දමිත,.. ගැඩවිල් පණුවත් අසරණයි, දිමිරැළ, බටිති කුරුල්ලා, දමිත, සිරිමල් මාමා, මම අපි හැමෝමත් අසරණයි.

අපි හැමෝම මනසින් මුලා වෙලා, කර්මයෙන් බැඳීලා නැවත නැවත සංසාරෙ ඉපදෙමින් මැරෙමින් යන අය.

විටෙක හොඳ ජීවිත, විටෙක දුක් ජීවිත. එක් ජීවිතයක කර්ම රැස් කර ගන්නවා. ආයෙ ජීවිතේ කර්ම ගෙවා දානවා. කෙනෙක් කර්ම ගෙවාදාද්දි තවත් කෙනෙක් කර්ම රැස්කර ගන්නවා.

මේ අවුල ලිහන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගෙමයි අනුගමනය කරන්නට ඕනේ..”

සාමණේරයන්ට නන්ද හාමුදුරුවන් පවසන බොහෝ දෑ වැටහෙන්නේ නම් නැත. ඒවා බර ය. ඒ හරබර දෑ වටහා ගැනීමට තවමත් තමා පොඩි වැඩි වන්නට ඇත. නමුත් ඒ කියන දේවල් නිවැරැදි දේවල් ම බව දමිතට විස්වාස ය.

“ අපි කාටවත් වෛර නොකර ඉමු දමිත. කා එක්කවත් අමනාප නොවී ඉමු...

ඔය ගෙවිල යන්නෙ අපේ පෙර අකුසල කර්ම කියල ම හිතමු.

දමිත කැමති නම් අදින් පස්සෙ දමිතට පුලුවන් ජීවිතේ වෙනස් කර ගන්න.

හිතට හොඳ අධිෂ්ඨානයක් ඇති කර ගන්න., හොඳට ඉගෙනගෙන හොඳ පණ්ඩිත හාමුදුරු නමක් වෙනවා කියලා. ඒ වගේම ඉතාම සිල්වත් ගුණවත් භික්ෂුවක් වෙනවා කියලා...”

පසළොස්වක පෝ දා සීල භාවනා වැඩසටහන වඩාත් ඵලදායි එකක් බවට පත්කළ යුතු යැයි යෝජනාවක් ලොකු හාමුදුරුවන්ට ලැබී තිබිණි. යෝජනාව සිදුකර ඇත්තේ කුළඟන සමිතියේ සභාපතිනිය වූ මැටිල්ඩා නෝනායි. ඈ විශ්‍රාමික ගුරුවරියකි.

ඇගේ යෝජනාව පරිදි පෝය වැඩසටහන සොයා බලා හොඳීන් කරන්න යැයි ලොකු හාමුදුරුවන් විසින් පැවරුවේ නන්ද හාමුදුරුවන්ට ය. නන්ද හාමුදුරුවොත් එය භාරගත්තේ ඉතාමත් සතුටිනි. කුසල් පිරීමට ද, පරාර්ථ චර්යාවට ද එය අනගි අවස්ථාවක් බව හිමියන්ගේ හැඟීමයි.

බණ මඩුව තුළ සිල් පිරිසේ වැඩිමනක් ම ඉන්නේ උපාසිකාවන් ය. ඒ අතරිනුත් වැඩිමනක් ම පිරිස මැදිවිය ද ඉක්මවූවන් ය. උපාසකයන් ය කියා ඇත්තේ ද සැටවියත් ඉක්මවූ සතරපස් දෙනෙකි. කුඩා දරුවෙක් දැරිවියක් ද අතරින් පතර සිටිතත්, තරුණයෙක් තරුණියක් නම් පෙනෙන්නටවත් නොමැත.

කොයි පන්සලෙත් පසළොස්වක පෝයට ඔයාකාර ම ය. මෙයට හේතුව කුමක්දැයි නන්ද හිමියන් කල්පනා කළේ වරක් දෙවරක් නම් නොවේ.

ලොකු හාමුදුරුවන්ට අනුව නම් එයට එකම හේතුව වන්නේ ගිහි බෞද්ධයන්ට ආගම දහම ගැන උවමනාවක් නොමැතිකම ය. ඔවුනට පන්සල හෝ හාමුදුරුවන් හෝ අවශ්‍ය වන්නේ පාංශුකූල පිරිමසා ගැනීමටත්, හත්දවසේ බණ කියවා ගැනීමටත්, පිරිත් දේශනා කරවා ගැනීමටත් පමණි. එසේ නොමැති නම් ගමේ කොයියම්ම කෙනෙක්වත් පන්සලට නොඑන බව ලොකු හාමුදුරුවන්ගේ අදහසයි.

එහි ද එක්තරා ප්‍රමාණයක ඇත්තකුත් නැත්තේ නොවේ. නමුත් දායකයා පන්සලෙන් ඈත්වීමට බලපෑ එකම හේතුව එය යැයි නන්ද හිමියන් පිළිගැනීමට කැමති නැත.

ගිහියකු ත්‍රිවිධ රත්නය කෙරෙහි නැඹුරු වන්නේ ජීවිතාවබෝධය උදාකරගත් පමණට ය. ජීවිතය පිළිබඳ යථා තත්ත්වය පහදා විවරණය කෙරෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම තුළ ය. ඒ ඉගැන්වීම ගිහි දායකයාට කියාදිය යුත්තේ පැවිද්දා විසිනි. නමුත් එම කාර්යය නිසියාකාරයෙන් ඉටුකෙරෙන බවක් බොහෝ පන්සල් තුළ දක්නට නොලැබීම කනගාටුවට කරුණකි.

වර්තමානයේ දී භික්ෂුවත්, ගිහියාත් තමතමන්ගේ කාර්යයන් පටලවා ගෙන වරදවා ගෙන ඇතැයි යනු නන්ද හිමියන්ගේ අදහසයි. අතීතයේ නම් භික්ෂුව බුදුදහම උගෙනිමින් ශීල, සමාධි, ප්‍රඥා වැඩූ අතර, විහාරස්ථානය ගොඩනඟමින් ප්‍රත්‍ය පහසුකම් සලසාලීම ගිහියා විසින් සිදුකරන ලදි. නමුත් අද තත්ත්වය ඊට වෙනස් ය.

බොහෝ ගිහියන් බුදුදහම ඉගෙනීමට වෙර දරන අතර, සමහර පැවිද්දන් දහමින් බොහෝ ඈත්ව දිවි ගෙවති. ඇතැම් පැවිද්දෙක් උතුම් බුද්ධ දේශනා ඇතුළත් ත්‍රිපිටකය කුමක්දැයි කියා හෝ දැක නොමැත. ගිහියන්ට අතහැරීම පිළිබඳ නිරතුරු බණ දෙසනා මුත්, ඒ සමහර දේශකයන් වහන්සේ ද කිසිවක් ම අතහැර නොමැත.

මෙකල වැඩිමනක් ම පැවිද්දන් ගිහියාගේ කාර්ය තමන්ගේ කාර්යය යැයි වරදවා ගෙන පන්සල් ගොඩනැඟිලි තනන්නට, ආවාස, වෙහෙර විහාර තනන්නට වෙහෙසෙනු දැකිය හැකි ය. ඒ වෙනුවට සමහර බුද්ධිමත් ගිහි පිරිසක් බුදුදහම උගනිමින් ශීල, සමාධි, ප්‍රඥා වඩන්නට වෙර දරති.

මෙසේ ගිහියන් හා පැවිද්දන් ගිහි පැවිදි ප්‍රතිපදාවන් පටලවා ගෙන සිටීම සම්බුද්ධ ශාසනයේ පැවැත්මට හානිකර ය.

පැවිද්දා කළ යුත්තේ උතුම් බුදුවදන අනුව කෙලෙස් නසන්නට හා සත්‍යාවබෝධයට වෙහෙසීම ය. එවිට පැවිද්දාට අවශ්‍ය සිව්පසය ආදී පහසුකම් සැලසීම ගිහියාගේ කාර්ය වනු ඇත.

පැවිද්දා ධර්මය ඉගෙන ගුණදම් පුරමින් ගිහියාට ද අනුකම්පාවෙන් ධර්මය කියාදිය යුතු ය.

ගිහියා නීති රීතී දමා බැඳ තැබීමෙන් නොව, ආදර්ශයෙන් මෛත්‍රී සහගත ව හික්මවිය යුතු ය.

සිල් ඇත්තන්ට සිදුකරන භාවනා වැඩ සටහන යෙදී තිබුණේ හීල් දානයෙන් පසු තවත් හෝරාවක පමණ විවේකයක් ද ලබා දීමෙන් අනතුරුව ය.

මෛත්‍රිය යනු කුමක්දැයි පැහැදිලි කළ තෙරුන් වහන්සේ ද්වේශයේ ආදීනවත්, මෛත්‍රිය පැතිරවීමේ උතුම් ආනිශංසත් පැහැදිලි කර දුන්නේ ඉතා සරල ආකාරයෙනි. ඉන් අනතුරු ව ආරම්භ වූයේ භාවනා වාක්‍යය කියවීමයි. සියලු සිල් පිරිසට හැකි පමණ කොන්ද සෘජු ව තබා ගෙන වම් අත උඩ දකුණු අත තබා ගෙන දෑස් පියා ගන්නට උපදෙස් ලැබුණි.

නන්ද හාමුදුරුවන් භාවනා වාක්‍ය කියවන අතරේ සිල් ඇත්තන් විසින් ඒ වැකි අනුව මෙනෙහි කරමින් මෛත්‍රිය වැඩිය යුතු විය.