Print this Article


උවදුරු දුරලමු

උවදුරු දුරලමු

නිසි දහම් මඟක පහස නො ලබා හවුහරණක් නොමැති ව නොයෙක් අවිධිමත් ඇදහිලි විශ්වාස පසුපස ගමන් කළ ලාංකිකයන් හට මිහිඳු හිමියන්ගේ ලංකා ගමනයෙන් පසු තිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ නිර්මල දහම හිමි වුණි.

උන්වහන්සේගේ ආගමනයෙන් පසු ඊට සමගාමී ව අපහට ලැබුණු වටිනාකම් අමිල ය. ඒ අතරින් උතුම් ශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රමුඛ ව ඊට අනුශාංගික ව පැමිණි විශේෂ ප්‍රාගුණ්‍යතා ඇති කළ සංචිත නිසාවෙන් අපගේ සිතුම් පැතුම්, ඇදහීම්, ක්‍රියාකාරකම්, නිර්මාණ ආදී කිවමනා නොහැකි තරම් වටිනාකම් සමුච්චයක් අපහට උරුම විය.

තවද බෞද්ධ ලෝකයා ලොව්තුරා බුදුපියාණන් වහන්සේට හැර අන් කවරකුටවත් ‘බුදු’ යන ගෞරවණීය නාමය නො යෙදුහ. එහෙත් මෙවන් වූ ආගමික, දේශපාලනික, සාමාජීය, සංස්කෘතික ආදී නොයෙක් වටිනාකම් මිහිඳු මාහිමියන් ලංකාවට වැඩමවීම නිසා ලෝකයේ උත්කෘෂ්ඨ ජාතියක් බවට ලාංකීය ජාතිය පත්විය. ඒ නිසාම ලංකාවාසි අප මිහිඳු මහරහතන් වහන්සේට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ යන අතිපූජනීය නම ව්‍යවහාර කරන්නට යෙදුණාහ.

අතීතය එසේ දහමින් සුවපත් වුව ද අප රටට වරින්වර අභාග්‍ය සම්පන්න කාල උදා වන්නට විය. නමුදු ඒ අතීත මුතුන් මිත්තන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ඒවා මඟහරවා ගන්නට හැකි වුණි. වත්මනේ ද විවිධ අභියෝග මතුවෙමින් පවතී. එදා බුදුන් වහන්සේ දවස භාරතයේ තිබූ දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් (මිත්‍යාමත) හා සමාන අමුතු මාදිලියේ විපර්යාසවලට සීග්‍රයෙන් ලක්වෙමින් පවතී. කෙනෙක් උතුම් සද්ධර්මයට වැරැදි අර්ථ ගන්වමින් සිටී.

ඒ දීනකම් ලෝකයට ථේරවාදී දහම් මඟ බෙදන දහම් දිවයිනට තරම් නො වටී. එය මේ රටේ ප්‍රාමාණික උගතුන් එකතු වී දැන් දැන් ම පරදවා දමනය නො කළහොත් දහම් පිපාසිත ලෝකයාට කාගේ පිහිට දැයි සිතා බලණු වටී.

මෙවන් පසුබිමක එදා මිහිඳු මා හිමියන් අපේක්ෂා කළ ඒ දැහැමි රට හා දහම් මඟ අනුගමනය කරන පිරිසක් බිහි වුණා ද යන්න ප්‍රශ්නාර්ථයකි. මේ දහම් දිවයිනෙන් උතුම් සද්ධර්මයට මුළු මහත් ලෝකය වෙත ප්‍රදානය කළ හැකි උතුම් රත්නයක් ඇත. ඒ ථේරවාදී ශ්‍රී සද්ධර්මයයි.