Print this Article


ගුණවත්කම් හෑල්ලු කරන බොරුවට නොරැවටෙන්න

වේළුවනාරාමයෙහි වැඩ වාසය කළ භාග්‍යවතුන් වහන්සේ දිනක් පස් වරුවෙහි රාහුල තෙරුන් වසන ආරාමයට යාමට පිටත් වූහ. තමන් වෙත එන බුදුරජාණන් වහන්සේ දුරදී ම දුටු රාහුල සාමණේරයෝ වැඩහිඳීමට අසුනක් පනවා, පා සේදීමට දිය බඳුනක් ද ගෙනවුත් තැබූහ.

බුදුරජාණන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහිඳ පා සෝදා දිය බඳුනෙහි වතුර ස්වල්පයක් ඉතුරු කොට රාහුල සාමණේරයන්ට එය පෙන්වා දැන දැන බොරු කීමට ලජ්ජා නැති පැවිද්දාගේ මහණකම මේ ජලය මෙන් ස්වල්ප වූවකැ’යි වදාළහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ භාජනයෙහි තිබුණු පැන් ස්වල්පය ඉවත දමා, දැන දැන බොරු කීමට ලජ්ජා නැති පැවිද්දාගේ මහණකම ඉවත ලු පැන් මෙන් ඉවත දමන ලද්දකැයි වදාළහ.

අනතුරුව, එම බඳුන යටිකුරු කොට තබා, දැන දැන බොරු කීමට ලජ්ජා නැති පැවිද්දාගේ මහණකම මේ බඳුන මෙන් යටිකුරු කරන ලද්දකැයි වදාළහ.

ඉන්පසු යටිකුරු ව තිබූ බඳුන උඩුකුරු කළ බුදුරජාණන් වහන්සේ “රාහුල, මේ බඳුන හිස් වෙලා තියෙන බව ඔබට පේනවා නේද? දැන දැන බොරු කීමට ලජ්ජා නැති භික්ෂූවගේ මහණකමත් මේ වගේ හිස් එකක් යැයි වදාළහ.

මෙසේ එකම බඳුනක් සිව් ආකාරයට උපයෝගී කර ගනිමින්, බොරු කීමෙන් පැවිදි ජීවිතයට සිදුවන හානිය කුඩා රාහුල සාමණේරයන්ට පැහැදිලි කර දුන්හ.

සත් හැවිරිදි ළදරුවකු වූ රාහුල පොඩි හාමුදුරුවන් සුරතල්කමට බොරු කියන බැවින් බුදුරජාණන් වහන්සේ එය පැවිද්දකුට නුසුදුසු බව පෙන්වා දී අවවාද කිරීම් වශයෙන් මෙසේ වදාළ බව අටුවාවේ දැක්වේ.

පුද්ගල ජීවිතයේ ගුණාත්මක බව හෑල්ලු කරන, යහපත් ගතිගුණ හිස් වීමට හේතු වන බොරු කීම බරපතළ අකුසලයක් බව ආදර්ශක උපයෝගී කර ගනිමින් පෙන්වා දුන් විට එය ළමා මනසට හොඳීන් වැටහේ.

බොරු කියන පුරුද්ද දුරු කළ යුත්තේ ළමා වියේදී ම ය. අපගේ වැඩිහිටියන් විසින් ද මේ සතර ආකාරයට ම බොරු කීමෙහි ආදීනව පෙන්වා දරුවන් එයින් වැළක්වීමට පියවර ගන්නේ නම් කොතරම් අගනේ ද? තමාට කොතරම් අවාසි සහගත වුව ද එය නොසලකා සත්‍යය පැවසීමට ඉදිරිපත් වෙයි නම් එය ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණයකි. පැත්ත ගියත් ඇත්ත කියන්න, යන ප්‍රස්තා පිරුල අදාළ වන්නේ එබඳු අවස්ථාවල දී ය.

බොරු කීමටත්, බොරු ගෙතීමටත්, බොරු කිරීමටත් මනුෂ්‍යයෝ ඇති දක්ෂයෝ වෙති. තිරිසන් සත්තු බොරු නොකියති. ඔවුන්ගේ සැබෑ ස්වරූපය ම ප්‍රදර්ශනය කරති. එබැවින් උන් හඳුනා ගැනීම පහසු ය. එහෙත් මිනිසා බොරුකාරයෙක් ද, නැද්දැයි හඳුනාගැනීම පහසු නොවේ. ඔවුහු ඒ තරමට ගුප්ත ගති ස්වභාව පෙන්වීමට රුසියෝ වෙති.

බොරු කියන්නාට කළ නොහැකි පවක් නැතැයි බුදුහු වදාළහ.(ඉතිවුත්තක පාලි, සම්පජාන මුසාවාද සුත්‍රය) බොහෝ දෙනා තමාගේ සීලය පලුදු කර ගන්නේ ප්‍රධාන වශයෙන් ම මුසාවාද අකුසලයෙනි. බොරු කියන්නා හැම විට ම පිළිකුලට ලක්වේ. අන්‍යයෝ ඔහුගේ සැබෑ වූ වචන ද විශ්වාස නොකරති. කිසිවකුත් ඔහුගේ ඇසුරට නො එති. මේ සියල්ල පුද්ගලයාට අවාසි සහගත ය.