Print this Article


විචාරශීලී ජාතියක ඇරඹුම-පැවැත්ම තීරණය කළ බෞද්ධ සාරධර්ම අනාගතයට රැක ගනිමු

විචාරශීලී ජාතියක ඇරඹුම-පැවැත්ම තීරණය කළ බෞද්ධ සාරධර්ම අනාගතයට රැක ගනිමු

ලංකා සංස්කෘතිය ඉතා ගැඹුරින් නිරීක්‍ෂණය කරන කවුරු වුව ද එහි ස්වරූප ග්‍රහණයට, අනන්‍යතා ස්ථාපනයට මිහිඳු හිමියන්ගේ ලංකාගමනයේ ඇති වැදගත්කම වාද භේද හා විවාදයකින් තොරව පිළිගනු ඒකාන්ත ය.

මිහිඳු හිමියන්ට ‘දීපප්පසාදක’, දීපසත්ථු හා ‘අනුබුද්ධ’ යන ගෞරව නාම යොදා ඇත්තේ ඒ නිසා ය. මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අදහස වූයේ මහින්දාගමනය ශ්‍රී ලාංකේය සංස්කෘතිය හැඩගැස්වීම සඳහා ගත් උසස් ම වෑයම ලෙසයි. සිංහලයා තුළ දේශාභිමානය, ජාති හිතෛෂීභාවය, ආත්ම ධෛර්යය, ක්‍රියාශූරත්වය, ශාස්ත්‍රාභිලාෂය, කලා රුචිය, පරිත්‍යාගශීලී ගුණය සහ සහනශීලී බව වැනි යහගුණ මිහිඳු හිමියන් අපට හඳුන්වා දුන් බුදුදහම නිසා ම ඇති වූ ඒවා ය. සිංහල සංස්කෘතියේ ආරම්භය මහින්දාගමනය බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ද පවසා තිබේ. උන්වහන්සේ එලෙස ප්‍රකාශ කරන්නේ මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ ආගමක් පමණක් ම නොව අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයක් බව පෙන්වා දෙමිනි.

මහින්දාගමනයත් සමඟ ජනයාගේ සිතුම් පැතුම්, හැසිරීම් හා ක්‍රියාවල දැවැන්ත පෙරළියක් සිදු විය.

දඩ කෙළියේ යෙදී සිටි රජුගේ අතින් දුනු ඊතල ගිලිහීමෙන් සංකේතවත් කළේ ප්‍රාණ වධය වෙනුවට ප්‍රාණ අගය සාරධර්මයක් ලෙස සැලකීමට රජුගේ සිට සමාජයට පිවිසි බවයි.

මවක් තම දරුවා කෙරෙහි දක්වන මෙත් සිත හැම කෙනකු ම අන් අය කෙරෙහි ද දැක්වීම උසස් ගුණයක් සේ බුදුදහමේ උගන්වයි. මේ ගුණය ලක්වැසියන් ද පුරුදු පුහුණු කර ගැනීම නිසා මානව දයාව වැඩි දියුණු කර ගනු ලැබීය. සමූහයක් එක්රැස් වී එක අරමුණක් වෙනුවෙන් වාද භේද නොවී සමගියෙන් යුතු ව වැඩක් කරන සැටි අප සංස්කෘතියට ලැබුණේ මිහිඳු හිමි හඳුන්වා දුන් බුදුදහමට අයත් බෞද්ධ සාරධර්ම නිසා ය.

මිහිඳු හිමි වැඩම කරන්නට පෙර සමූහ වශයෙන් එක්ව සිදු කළ කටයුතු විරල වන්නට ඇතැයි අපට පැවසිය හැක්කේ මිහිඳු හිමියන්ගේ දම් දෙසුම් ඇසීම සඳහා පිරිසකට රැස්වීමට ශාලා පහසුකම් නැති ව ඇත්හල, අස්හල පවා යොදා ගෙන තිබීමෙනි. කිසියම් තැනකට රැස් වන සමාජයේ ඉහළ සිට පහළට අයත් ජනයා සම ව හිඳගෙන බණ ඇසීමට වීමෙන් සාමූහිකත්වය හා සමානාත්මතාව මහින්දාගමනයේ ප්‍රතිඵලයක් නිසා ගොඩනැඟුණක් බව කිව යුතු ය.

බුදුදහමේ ඉගැන්වෙන සාරධර්මවලින් පෝෂණය වූ අවස්ථාවක් ලෙස නිදහස අගය කරන විචාරශීලී ජන කොටසක් බවට සිංහල ජනයා පත් වූ බව කිව යුතු ය.

අතීතයේ සිට ලංකාවට ආ ඉස්ලාම් ආගම අදහන අරාබි වැනි ජනයා බෞද්ධයන්ගෙන් සංග්‍රහ ලැබීමත්, මුස්ලිම් - සිංහල කෝලාහලයක් සිංහල රජ දවස සිදු නොවූයේත් ඒ නිසා ය. සිංහල ජනයා ද්‍රවිඩ ජනයා සමඟ ඔවුන් අදහන දෙවිවරුන් බුදුදහමට එකතු කොට ගෙන ඇති අයුරින් ඒ දෙපිරිස අතර පැවති සම්බන්ධයේ තරම සිතා ගත හැක. ක්‍රිස්තියානි - රෝමානු කතෝලික ගැටුම් ඇති වූ ලන්දේසි යුගයේ දී රෝමානු කතෝලික ජනයාට ආරක්‍ෂාව සපයා ඇත්තේ නුවර වාසය කළ සිංහල රජු විසිනි. ඔවුන්ට දිවි රැක ගැනීමට පමණක් නොව, පල්ලියක් තනා ගෙන ආගම ප්‍රචාරය කිරීමට පවා බෞද්ධයෝ සහයෝගය දී ඇත්තාහ.

රජවරුන් දසරාජ ධර්මයෙන් රාජ්‍ය පාලනය කළ යුතු විය. රටේ ආර්ථිකය දියුණු කළේත්, බෞද්ධ සාරධර්ම අනුව ය. සංස්කෘතියක දියුණුව මනින දර්ශක අතර කාන්තාවක් සංස්කෘතිය තුළ ලබන ස්ථානය ද වැදගත් වෙයි. ශ්‍රී ලාංකේය සංස්කෘතියෙහි කාන්තාවට ලැබී ඇති ගෞරවය හා නිදහස බෞද්ධ සාරධර්ම නිසා ම සැකසුණු බව සත්‍යයකි. යුරෝපීය කාන්තාවට වඩා ආසියාවේ කාන්තාව බොහෝ ඉදිරියෙන් සිටින්නේ බෞද්ධ දර්ශනයෙන් ඇගේ අයිතිය සනාත කර ඇති නිසා ය.

කලාකාමී, සෞන්දර්යකාමී, රසකාමී උගත් බුද්ධිමත් ජනතාවක් සදාචාර සම්පන්න ව

සංයමයෙන් යුතු ව පවත්වා ගැනීමට හැකි වූයේ ප්‍රමාණවත් ආචාරධර්ම පද්ධතියක් මිහිඳු සංස්කෘතියෙන් අපට උරුම වූ නිසයි.

ගමයි, පන්සලයි, වැවයි, දා ගැබයි යන සංකල්පය මුල් කර ගෙන සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, උපත, විපත, සැපත හා සතුටේ දී ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ උපදෙස් මත සියල්ල සිදු කිරීමටත් ජනතාව පුරුදු විය. අදටත් එය මුළුමනින් ම විනාශ වී නැත.

මීට වසර 2332 කට පෙර මිහිඳු හිමියන් අප රටේ ජනයාට පැහැදිලි කර පෙන්වා වදාළ නිවැරැදි ජීවන මග දිගුකලක් මේ රටේ අනුගමනය කොට ක්‍රියාත්මක වීමෙන් සදාචාර මඟකට පිවිසීම නිසා රන් අබරණින් සැරසී සුරූපී තරුණ කාන්තාවකට තනිව ම කිසිදු හිරිහැරයකින් තොර ව මේ රටේ ඕනෑ ම තැනක, ඕනෑ ම වේලාවක ගමන් කළ හැකි බව අසා රජවරුන් තම සතුට සෙල්ලිපිවල ලියා තබා ඇති සැටියෙන් පෙනේ.

නමුත් අද විදේශ සංචාරක කාන්තාවකට මහ මග යාමට තබා බසයක තම අත් බෑගයවත් රැක ගෙන යාමට නොහැකි වී ඇත.

මහමඟ දී බස් රියේ දී තම නිවසේ දරුවන්ට ආහාර දෙමින් සිටියදී. රුපියල් ශතවලට ලොල් වී තමා කිසිදා වචනයක් හෝ කතා කර නැති, දැක නැති අහිංසකයන් මරා දමන කුලී මිනීමරුවන් ගැන තොරතුරු දින දින තැන තැන අසන්නට, දකින්නට ඇත.

මේ සියලු නරක තත්ත්වයන්ගෙන් පෙනෙන්නේ එදා මිහිඳු හිමියන් අපට හඳුන්වා දුන් බුදුදහමෙන් පෝෂණය වූ සාරධර්ම පරිහානිය මිස අන් කිසිවක් නො වේ.

එහෙයින් මිහිඳු හිමියන් සමරන සියලු පොසොන් පින්කම් හා උත්සව මඟින් කළ යුත්තේ අද අප රටේ පරිහානියට පත්ව ඇති සාරධර්ම යළි ගොඩනැංවීම බව සිහිපත් කරමු.