Print this Article


සදහම් සිසිලෙන් ලක් මව සුවපත් කළ නියමුවාණෝ

සදහම් සිසිලෙන් ලක් මව සුවපත් කළ නියමුවාණෝ

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පා සෙවණෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ පෘථුල දැනුමක් ලබා ගත් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක මහරජතුමාගේ සහ වේදිසා දේවියගේ පුත්‍ර රත්නයක් වෙති.

ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන් සිදුකෙරුණු තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු නවයක් වූ රටවල් සඳහා ධර්මදූතයන් වහන්සේ පිටත්කර හැරියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නමැති උපාසකතුමා ද සමඟ ලක්දිවට වැඩම කළහ.

සුමන සාමණේරයන් වහන්සේ වනාහි සංඝමිත්තා තෙරණියගේ ගිහි කල පුතණුවෝ ය. එකී දූත පිරිස මිහින්තලාවේ අම්භස්තලයට වැඩම කර සිටියදී මුව දඩයමේ ගොස් සිටි දේවානම්පියතිස්ස මහරජුට හමුවිය. එහිදී මිහිඳු මාහිමියන් විසින් තිස්ස තිස්ස යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදී. තමන්ගේ නම කියා මෙලෙස ආමන්ත්‍රණය කරන්නේ කවුදැයි බැලූවිට අම්බස්තලයෙහි වැඩසිටි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස රජුට දිස්විය.

එහිදී මිහිඳු මහරහතන් වහන්සේ

සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජතුමනි, අප ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු” ලෙස ප්‍රකාශ කරන ලදී. මෙහිදී තම අත තිබූ දුනු ඊතල බිම දමා දේවානම්පියතිස්ස රජු ඇතුලු පිරිස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසට ගෞරවාචාර පුද කරන ලදී. ඉන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට නුවණක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අඹ පැනය හා ඥාතීන් පිළිබඳ පැනය විමසන ලදී. රජතුමා විසින් එම පැනයන්ට ලබා දුන් පිළිතුරු පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මහරහතන් වහන්සේ, රජු ඇතුලු පිරිස සීලයෙහි පිහිටුවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක. එම ප්‍රථම ධර්ම දේශනාවේ දී රජතුමා ඇතුලු පිරිස තෙරුවන් සරණ ගිය උපාසකයන් බවට පත්වූහ. ලක්දිවට වැඩමවූ ප්‍රථම දිනයේ ම මිහිඳු මහරහතන් වහන්සේ විසින් භණ්ඩුක උපාසකතුමා පැවිදි උපසම්පදා කරන ලදී. එය ලක්දිව සිදුවූ ප්‍රථම පැවිද්ද හා උපසම්පදාවයි. අනතුරුව රැස්වූ දෙවිදේවතාවන් ඇතුලු පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසූයේ සමචිත්ත පරියාය සූත්‍රයෙනි.

රජතුමාගේ ආරාධනය පරිදි දෙවැනි දින රජ මාළිගාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ විමානවත්ථු, පේතවත්ථු හා සච්චසංයුක්ත යන ධර්මදේශනා සිදු කරන ලදී. එම දේශනාවලින් අවසානයේ අනුලා දේවිය ඇතුලු පන්සියයක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී බවට පත්වූහ. ඉන් පසු රජුගේ ඇත්හලේ දී රටවැසියා වෙනුවෙන් දේවදූත සූත්‍රය දේශනා කළ අතර, එහිදී දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් අනතුරු ව බාලපණ්ඩිත සූත්‍රය දේශනා කිරීමෙන් පසු කාන්තාවෝ දහසක් සෝවාන් ඵලයෙහි පිහිටියහ. මේ අයුරින් දෙවැනි දිනය අවසාන වන විට දෙදහස් පන්සීයකට අධික පිරිසක් මාර්ගඵලලාභී වූ හ. අනතුරුව රජ මාලිගයෙහි දන් වැළඳූ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුලු පිරිස නන්දන වනයට වැඩම කළ අතර, එහිදී

ආසිවිසෝපම සූත්‍රය ද සිව්වන දින අනමතග්ග සංයුක්තය ද දේශනා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දහසක් දෙනා ධර්මාවබෝධය ලැබූහ.

පස්වැනි දිනයේ දී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලදී. මෙම දින පහ ගතවන විට අටදහස් පන්සියයකට අධික වූ පිරිසක් මාර්ගඵලාවබෝධය ලැබූහ. අනුරාධපුරයට වැඩම වීමෙන් ගතවූ දෙවන දින මහරජතුමන් විසින් මහමෙව්නා උයන මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහසඟරුවනට පූජා කරන ලදී. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනාගතයෙහි මහමෙව්නා උයනෙහි අටමස්ථානය පිහිටන ස්ථාන ලකුණු කරන ලදී.

මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමෙන් මසක් ගතවීමට මත්තෙන් දේශීය භික්ෂු පිරිසක් ඇතිවිය. ඒ දෙවනපෑතිස් මහරජුගේ බෑණනු කෙනකු වූ මහාඅරිට්ඨ ඇමති සහ තවත් සහෝදරයන් පනස්පස් දෙනෙකු සමඟ ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වීමෙනි. මෙලෙස අප්‍රමාණ ලෝ සසුන් වැඩවැඩූ මිහිඳු

මහරහතන් වහන්සේ ලක්දිව භානක පරම්පරා ඇතිකරවමින් සම්බුදු සසුන චිරාත් කාලයක් සුරක්ෂිත වනු පිණිස වැඩ පිළිවෙළක් සකස් කළහ.

තරුණ වියේ දී මෙරටට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ස්වකීය දිවිගමනේ අසූ වසක් තරම් වූ කාලයක් ආයුශ්‍රී වින්දනය කොට උත්තිය රජ දවස ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙසිය අසූ හතරක් වූ වප් මස පුරපක්ෂයේ අටවක දා පිරිනිවන්පා වදාළ සේක.

ලක් බුදු සසුනේ නියමුවාණන් වෙමින් වැඩ වැඩූ මුන්වහන්සේගේ පිරිනිවන්පෑම ඇසූ උත්තිය රජතුමා මිහින්තලේ සෑගිරියට පැමිණ ඉමහත් ශෝකයට පත්විය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය සුවඳ තෙල් පිරවූ රන් දෙනක තැන්පත් කරවා මඟ දෙපස අලංකාර ව සකසා අනුරාධපුරය තෙක් වැඩම කරවූහ. අනතුරුව නොයෙක් පුද පූජා පවත්වා උන්වහන්සේගේ ශ්‍රී දේහය බද්ධමාලක නම් ස්ථානයේ දී ගෞරවාකාරයෙන් ආදාහනය කරවූයේ ය.