Print this Article


සුළු දෙයක් වුව හොඳ හිතින් දන් දෙන්න

සුළු දෙයක් වුව හොඳ හිතින් දන් දෙන්න

තමන් සතු දෙයක් පරිත්‍යාග චේතනාවෙන් අනුන් සඳහා දීම දානය ලෙස හැඳින්වීමට පුළුවන. දානය නමැති වචනය තුළ ගැඹුරු අර්ථකථනයක් ගැබ් වී තිබේ. කුමන අංශයකින් බැලුව ද දානය තුළ ඇත්තේ හොඳ ප්‍රතිඵලයි. දන් දීම තුළින් පරාර්ථකාමී සිතිවිලි වැඩිදියුණු වේ.

පැවිදි පක්ෂය සඳහා ගිහි පක්ෂය විසින් සිවුපසයෙන් උපස්ථාන කරනු ඇත. සිව්පසය තුළ පිණ්ඩපාතය යනුවෙන් හැඳින්වෙන්නේ දානය යි. ගිහි පක්ෂය භික්ෂූන් වහන්සේට අමතරව අනුකම්පා සහගත සිතින් වැඩිහිටි නිවාසවලට, අංගවිකලවූවන්ට, අනාථ නිවාසවලට, අසරණ දුගී මගීන්ට, අසරණ සතුන්ට ආදීන් කෙරෙහි ද දන්දීම සිදු කරති. එවැනි අසරණ අය බොහෝ දෙනෙක් සැනසුම් සුසුම් හෙලන්නේ දානපතීන්ගේ අනුග්‍රහයෙන් ම බව කීම අතිශයෝක්තියක් නොවේ.

පිළිසරණ නොමැති ජනතාවට ජීවන චක්‍රය පවත්වා ගෙන යෑම සඳහා දානපතීන්ගෙන් ලැබෙන උපකාර බොහෝ විශාල ය. සපයන ධනයට වහල් වී කවුරුත් මසුරු සිටුවරුන් වුවහොත් සමාජයේ දුකට පත්වූවන්ට පිළිසරණක් නැති ව කුසගින්නේ මරණයට පවා පත්වන්නට සිදුවනවාට කිසිදු සැකයක් නැත.

මිනිසත් බවේ වටිනාකම හඳුනාගත් සැදැහැති බෞද්ධයෝ දන් දෙනු ලබන්නේ බොහොම ශ්‍රද්ධා සිතින් ය. ඔවුන් සමාජ සුබසිද්ධියක් සිදු කරනවා සේ ම අන් අයට උදව් උපකාර කොට සසරටත් පිහිටක් සලස්වා ගනු ඇත.

සසර වසන තුරු, නිවන් දකින තුරු සැප සම්පත් ඇති ව ජීවත්වීමට මඟ පාදා ගන්නේ දානයේ වටිනාකම දන්නා අය ය. දාන ගත් කල්හි විවිධ අයුරින් පවතියි. ඒ අතර ආහාර දානයෙන් ජීවිතයට ලැබෙන සම්පත් සතරක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ සුප්පවාසා රාජකුමාරිකාවට කළ දේශනයකින් පැහැදිලි වේ. ඒ අනුව ආහාර දානයක් භික්ෂූන්ට පිළිගැන්වීම තුළින් භික්ෂූන් වහන්සේට ආයුෂ, වර්ණය, සැප, බල යන සතර වැදෑරුම් සම්පත්තීන් ලබා දීමත් සිදු වේ.

අංගුත්තර නිකායේ සඳහන් පරිදි”ආයුං ඛො පන දත්වා ආයුස්ස භාගී හොති දිබ්බස්ස වා මානුස්සවා වණ්ණං දත්වා”

කෙනකුට ආයුෂ පිරිනැමූ කල්හි තමන්ටත් දිව්‍යමය ආයු සම්පත් ලැබෙනු ඇත. කෙනකුට ලස්සන වීමේ ශක්තිය පරිත්‍යාග කළා ම ඒකට විපාක වශයෙන් තමන්ටත් ලස්සන වී ඉපදීමේ වාසනාව ලැබෙනු ඇත. මේ මිනිස් ලොව තුළ අනුන් වෙනුවෙන් සැප සම්පත් ලබා දීම යනු තමන්ටත් දිව්‍ය මානුෂ්‍යාදි සැප සම්පත් ලබා ගැනීමට හේතුවක් වනු ඇත. තවද සැප, බල, ප්‍රඥා යන සම්පත්තීන් ලැබෙන්නේ ද දන්දීම තුළිනි.

මිනිස් ජීවිතයක් තුළ ප්‍රධාන අවශ්‍යතා පහක් තිබෙන බව කවුරුත් දන්නා කරුණකි. එම කරුණු දන් දීමෙන් ම ලැබෙන ඒවා බව බුදුරජාණන් වහන්සේ විසින් සුප්පාවාසා රාජ කුමාරිකාවට දේශනා කොට ඇත. එම කරුණු පංචවිධ බලසම්පත්තීන් ලෙස හැඳින්වේ. එනම්

ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව යන්නයි.

එම කරුණු හැම ජීවිතයකට ම අවශ්‍ය ඒවා බවත්, ඒවා ලැබෙන්නේ දන් දීමේ ප්‍රතිඵලයක් ලෙසත් බව අප අවබෝධ කොටගෙන පිරිසුදු සිතින් හැකි හැම අවස්ථාවක ම දන්දීම කළ යුතු ය.

දානය යන වචනය බොහෝ තැන්වල ප්‍රමුඛස්ථානයෙහි තබා තිබීමෙන් ද එහි ඇති වටිනාකම පැහැදිලි වේ. දස පාරමිතා, දසරාජ ධර්ම, දස පුණ්‍යක්‍රියා, සතර සංග්‍රහ වස්තු, ත්‍රිපුණ්‍යක්‍රියා ආදී සැම තැනක ම දානයට හිමිවන්නේ මූලිකත්වයකුයි. ඒ පිළිබඳ පරික්ෂා කර බැලීමේ දී ඒ සඳහා සෑම ස්ථානයක දී ම ප්‍රමුඛස්ථානයක් ලැබී තිබෙන අයුරු දැකගත හැකි ය.

දානං සීලඤ්ච නෙක්ඛම්මං - පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චමදිට්ඨානං - මෙත්තුපෙක්ඛා තිමා දස

ලොව්තුරා බුදු බව පතාගෙන බෝසතාණන් වහන්සේ දස පෙරුම්දම් පිරූහ. එහිදී පළමුවැන්න වශයෙන් ගණන් ගැනෙන්නේ දානය යි. උන්වහන්සේ සසර සැරිසරන ආත්මවල දානය නොහොත් දීම උසස් ම ආකාරයෙන් සම්පූර්ණ කළහ.

සෝ සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය මංසමදාසි දානං
මේරුප්පමාණ මදිකඤ්ච සමොලි සීසං
ඛේතාරකාදිකතරං නයනං අදාසි

මහ සාගරයේ ජලය පරදවා රුධිරය දන්දීම, මහ පොළොවේ පස් පරදවා මස් දන්දීම, අහසේ තරු පරදවා ඇස් දන් දීම, මහාමේරු පර්වතය පරදවා හිස් දන් දීම යන මේ ලෝක ධාතුව තුළ ඇති විශාලම වස්තූන් පවා පරදා උන්වහන්සේ දාන පාරමිතාව සම්පූර්ණ කළ ආකාරය පැහැදිලි වේ. ඒ තරමට ම උන්වහන්සේ සසර දානය නොහොත් දීම ප්‍රගුණ කළහ. ශාරීරික කොටස්, ජීවිතය පමණක් නොව අඹුදරුවන් පවා දන් දුන්හ.

දානං සීලං පරිච්චාගං - අජ්ජවං මජ්ජවං තපං
අක්කොධො අවිහිංසො ච - ඛන්තී ච අවිරෝධතා

චක්‍රවර්තී රාජසම්පත්තිය යනු මිනිස් ලෝකය තුළ ලෞකික වශයෙන් ලැබී ඇති ඉහළම සැප සම්පතයි. සක්විති රජවරු රට පාලනය කරනු ලබන්නේ දස රාජ ධර්ම තුළිනි. එම රාජ ධර්ම තුළින් රට පාලනය කිරීමේ දී රටක සමෘද්ධිය, සෞභාග්‍යය නිතැතින් ම ඇති වේ. එම රාජධර්මවලත් පළමු අංකයට ගැනෙන්නේ දානයයි. එතුළින් පැහැදිලි වන්නේ ද දානයේ ඇති වටිනාකම යි.

දානං සීලංච භවනා -
පත්තානු මොදනා පත්තිදානං
චෙය්‍යාවච්චාපචායඤ්ච - ධම්මස්ස දේසනා
සවනා දිට්ඨිජ්ජුකම්ම - මිච්චේවං දසධා ඨිතං

පින් කිරියවත් දහයක් ලෙස බෞද්ධාගම තුළ උගන්වා ඇත. දස පුණ්‍යක්‍රියා යනුවෙන් ද එය හැඳින්වේ. ඒවා සිදු කර ගැනීමෙන් පින් සිතුවිලි වැඩිදියුණු වේ. සෑම බෞද්ධයකු විසින් ම කර ගත යුතු පින්කම් දහයක් ලෙස මේවා ඉතා ප්‍රකට ය. දානය, සීලය, භාවනාව,අපචායන, චෙය්‍යවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්මදේශනා දිට්ඨිජුකම්ම යනුවෙන් ඒවා දැක්වීමට පුළුවන.

පින් ක්‍රියාවන් දහයක් පිළිබඳ බෞද්ධාගම තුළ උගන්වා දස පුණ්‍ය ක්‍රියා යනුවෙන් එය හැඳින්වේ. ඒවා සිදුකර ගැනීමෙන් පින් සිතුවිලි වැඩිදියුණු වේ.

ශ්‍රද්ධාවන්තයින් දන් දීමේ දී කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කළ යුතු අතර, එම කරුණු සම්පූර්ණ වුණ ශ්‍රද්ධාවන්තයින්ට විශාල පුණ්‍ය ශක්තියක් අත්පත් වනු ඇත. එම කරුණු තුන වන්නේ,

චිත්ත සම්පත්තිය - (තමන්ගේ සිතේ පිරිසුදු බව)

වස්තු සම්පත්තිය - (දෙන දාන වස්තුවේ පිරිසුදු බව)

පටිග්ගාහක සම්ත්තිය - (දානය පිළිගන්නා ප්‍රතිග්‍රාහකයින්ගේ පිරිසුදු බව)

පිරිසුදු සිතින්, ධාර්මික ව සපයා ගන්නා ලද දාන වස්තුවක් සිල්වත් පිරිසකට පරිත්‍යාග කිරීම තුළින් මහත්ඵල මහානිසංස ලබා ගැනීමට පුළුවන.

සෑම කෙනකුම ආහාර දානයෙන් ම සංග්‍රහ ලැබීමට කැමැති නොවෙති. පුද්ගල අවශ්‍යතා විවිධ වීම නිසා පුද්ගල සන්තානය තුළ විෂමතා පවතියි. එවැනි අවස්ථාවල දී ධර්ම දානයෙන් සංග්‍රහ කිරීම උතුම් දානයක් හැටියට බුද්ධ දේශනාවේ සඳහන් වේ.

‘සබ්බ දානං ධම්ම දානං ජිනාති” සියලු දානයන් පරදවා ධර්ම දානය ම ජය ගන්නා බව ඉන් පැහැදිලි වේ. ධර්මයෙහි ඇති සුවිශේෂත්වය වන්නේ ලෞකික වශයෙන් කෙනකුට සැපතක් ලබා දෙනවාට වඩා ලෝකෝත්තර වශයෙන් ලැබිය හැකි සදාකාලික සැපත වන නිවන් සුවය ලබා ගැනීමේ භාග්‍යය හිමි කර දීම ය.

බුදු දහමට අනුව කුමන දානයක් පිරිනැමුව ද සිතේ ශ්‍රද්ධාව හා පිරිසුදුභාවය ඇති කර ගැනීම එහි මූලික පරමාර්ථය වේ. එතුළින් ලෝභාදී කෙලෙස් ධර්ම දුුරු කර සසර කතරින් නිදහස්වීමේ භාග්‍යය ද උදාකර ගැනීමට ශක්තියක් ලැබේ. එබැවින් හොඳ සිතින් සුළු දෙයක් හෝ දන් දී තම ජීවිතය වර්ණවත් කර ගන්නා ලෙස මතක් කිරීමට කැමැත්තෙමි.