Print this Article


කෙලෙස් ගින්නෙන් දැවුණු දන හද අමා දහමින් නිවා සැනසූ අපේ අනුබුදු මිහිඳු මා හිමි

කෙලෙස් ගින්නෙන් දැවුණු දන හද අමා දහමින් නිවා සැනසූ අපේ අනුබුදු මිහිඳු මා හිමි

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඒ පොසොන් පොහෝ දිනයේ ම එකල අපගේ මහරජු ව සිටි දෙවනපෑතිස් නිරිඳාණන් උතුම් තිසරණ සහිත වූ පංචසීලයෙහි පිහිටුවා මේ ගෞතම බුදු සසුනෙහි ශ්‍රාවක උපාසකභාවය අප රජතුමාට ලබා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කොට නොබෝ කලකින් එකල ගෞතම බුදු සසුන බබළන දඹදිව් තලය සෙයින් ෂඩ් අභිඥාලාභී, චතුපටිසම්භිදාලාභී සිංහල මහරහතන් වහන්සේගෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය.

පවිත්‍ර වූ සීලයෙන් සුශෝභිත වූ, සම්මා සමාධියෙන් සුපහන් වූ, නිමල ප්‍රඥාවෙන් ප්‍රභාෂ්වර වූ, මගඵලලාභී උත්තම ශ්‍රාවක සංඝරත්නයෙන් අපගේ ශ්‍රී ලංකාද්වීපය ද බැබළී ගියේ ය.

තවද ඉතා සිල්වත් වූ, ගුණවත් වූ, මනා නුවණින් යුක්ත වූ, මහා ත්‍යාගී වූ, බුද්ධ සාසනමාමක වූ මගඵලලාභී සුපින්වත් උපාසක උපාසිකාවන්ගෙන් ද අපගේ ලංකාද්වීපය බැබළී ගියේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට පෙර යක්ෂාවාසයක් වූ ශ්‍රී ලංකාද්වීපය ගෞතම බුදුසසුනෙහි පිහිට සොයා පැමිණි දෙව් බඹුන්ගෙන් සුන්දර වී ගියේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුකම්පා උපදවා සිය සොහොයුරිය ව, සිටි සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ ප්‍රමුඛ භික්ෂුණී සංඝයා වැඩම කරවා ලංකාවාසී කුල කාන්තාවන්ට ද මේ ගෞතම බුදුසසුනෙහි උතුම් භික්ෂුණී පැවිදි උපසම්පදාව පවා ලබා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ, උතුම් ගෞතම බුදු සසුන චිරාත් කාලයක් ලෝකයෙහි පවතිනු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද උතුම් ධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක බුද්ධ වචනය සිංහල භික්ෂුන් වහන්සේ හට කටපාඩම් කරවා එහි අර්ථකථාවන් දීප භාෂාවෙන් උගන්වා උතුම් සසුන් මඟ නො සිඳී පවත්වනු පිණිස භාණක පරම්පරාවන්ට භාර කොට ශ්‍රී ගෞතම සම්බුදු සසුන සුරැකීමේ මහා සසුන් බර සිංහල භික්ෂූන් වහන්සේ හට උරුම කොට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛා වහන්සේ දඹදිව් තලයෙන් මේ සිරිලක් බිමට වැඩමවා ගෙන අවුත් අනුරාධපුරයෙහි රෝපණය කරවා, ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආශිර්වාද රැකවරණය අප මව්බිමට ලබා දුන් සේක. එමෙන් ම ලංකා වාසීන්හට උතුම් බෝධි වන්දනාව තුළින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නට ද අවස්ථාව සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා තව්තිසාවේ සිළුමිණි සෑයෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ අකුධාතූන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි වැඩම කරවා ථූපාරාම සෑ රජුන් තුළ නිධන් කරවා ලංකාවාසීන්හට උතුම් සර්වඥ ධාතු වන්දනාවත්, ස්ථූප වන්දනාවත් උගන්වා බොහෝ පින් රැස්කර ගැනීමට මඟ සලසා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අප කවුරුත් නොදැන සිටි භාග්‍යවතුන් වහන්සේගේ ලංකාගමනය ද වදාළ සේක. අප භාග්‍යවතුන් වහන්සේගේ පළමු ලංකාගමනය වන මහියංගණයට වැඩම කිරීම ගැන ද, දෙවනුව නාගදීපයට වැඩම කිරීම ගැන ද තුන්වෙනුව කැලණියට වැඩම කළ ගමනේ දී සමනොළ කඳු මුදුනට වැඩම කොට උතුම් ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම ගැන ද, ලංකාද්වීපයෙහි ස්ථූප තැනවෙන ඒ ඒ තන්හි භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට නිරෝධ සමාපත්තියෙන් වැඩහිඳ ලංකාද්වීපය ආශිර්වාද ආරක්ෂා කොට වදාළ කරුණ ද අපට පහදා දුන් සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේගේ අතීත වැඩමවීම පමණක් නොව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන පෙර සම්බුදුරජාණන් වහන්සේ ද මේ ශ්‍රී ලංකාවෙහි බුද්ධ ශාසනය පිහිටුවා වදාළ කරුණ ගැන ද අපට වදාළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා අනුරාධපුරයෙහි මහමෙව්නා වනෝද්‍යානයේ මහා විහාරය පිහිටුවා භික්ෂු සංඝයාගේ සීමා මාලකය පිහිටන තැන ද, සංඝයාගේ ගිනිහල්ගේ පොකුණ පිහිටන තැන ද, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටන තැන ද, සංඝයාගේ මහ උපෝසථාගාරය පිහිටන තැන ද, සංඝ ලාභය බෙදන තැන ද, සිව්දිසාවෙන් දන්පැන් ගෙනවුත් සංඝයාට බෙදනතැන වූ චතුශ්ශාලාව පිහිටන තැන ද, රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන තැන ද, සලකුණු කරවා අනුරාධපුරයේ මහා සීමාව ලකුණු කොට පිහිටුවා ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මැනැවින් ස්ථාපිත කළ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ තිස් දෙහැවිරිදි වියෙහි දී ලංකාද්වීපයට වැඩම කොට වදාළ සේක. අසූවැනි වියෙහි දී පිරිනිවන් පානා මොහොත දක්වා ලංකා ද්වීපයෙහි ම වැඩවාසය කරමින් අප කෙරෙහි අනුකම්පා උපදවා උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය අකුරෙන් අකුර, වචනයෙන් වචනය, පදයෙන් පදය, ඡේදයෙන් ඡේදය, නිවැරැදි ව උගන්වා නවාංග ශාස්තෘ ශාසනයෙනි සමලංකෘත වූ පර්යාප්ති බුද්ධ ශාසනය ලංකාද්වීපයේ බැබළවූ සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප කෙරෙහි අනුකම්පා උපදවා සිංහල භික්ෂු සංඝයා වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ද, ඉන්ද්‍රිය සංවර සීලයෙන් ද, ප්‍රත්‍යසන්නිශි‍්‍රත සීලයෙන් ද, ආජීව පාරිශුද්ධි සීලයෙන් ද, සුසිල්වත් කරවා ධුතාංග සමාදන් කොට ප්‍රතිපත්ති සාරයෙහි පිහිටුවා, අරියවංශ ප්‍රතිපදාවෙහි පිහිටුවා, සමථ විදර්ශනා මාර්ග ප්‍රතිපදාවෙහි පිහිටුවා උතුම් ප්‍රතිපත්ති බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවු සේක.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අප භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ධර්ම විනය තුළ ම ලංකාවාසී භික්ෂූන් වහන්සේ මනාකොට පිහිටුවීමෙන් ඒ ධර්මයෙහි හැසිරීමේ ඵල වශයෙන් සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ග – ඵල, අනාගාමී මාර්ග - ඵල අර්හත් මාර්ග - ඵල යන උතුම් ශ්‍රමණ ඵලයන් ලබා දී ප්‍රතිවේධ බුද්ධ ශාසනය ද ලංකාද්වීපයෙහි බැබළවූ සේක.

මෙසේ ශ්‍රී ලංකාද්වීපවාසීන් ගෞතම බුදු සසුනෙහි මනාකොට පහදවාලූ, ඒ ගෞතම බුදු සසුනෙහි උතුම් පිළිසරණ පරිපූර්ණ වශයෙන් ලබා දුන්නා වු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ඒකාන්තයෙන් ම සිංහල ජාතියෙහි පිනට පහළ වූ අපගේ ප්‍රථම ආචාර්යපාදයන් වහන්සේ වන සේක. ඒකාන්තයෙන් ම සිංහල ජාතිය සුවපත් කළ මහා උපාධ්‍යායන් වහන්සේ වන සේක.

සිංහල ජාතියට ශාස්තෘන් වහන්සේ නමක් බඳු ව ශාසන දායාදය ලබා දුන් හෙයින් ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වන සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපය බැබළවූ හිරු මඬල වන සේක. යක්ෂ අන්ධකාරය දුරුකළ පුන් සඳමඬල වන සේක. සිංහල ජාතිය ලොවෙහි ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ මහා ගුණවතාණන් වන සේක. ජාතියට අභිමානය ලබා දුන්, ධෛර්යය ලබා දුන්, වීරිය ලබා දුන්, සීලය ලබාදුන්, ගුණය ලබා දුන්, සියලු සසුන් දායාද ලබා දුන් මහා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වන සේක.

ඒකාන්තයෙන් ම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වීතරාගී වූ සේක. වීතදෝෂී වූ සේක. වීතමෝහී වූ සේක. ගෞතම බුදු සසුනෙහි වැඩහුන් උතුම් මහරහතන් වහන්සේ නමක් ම වන සේක.

ඒ අපගේ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා.