Print this Article


සිත අපිරිසුදු කරන කෙලෙස් කහට

සිත අපිරිසුදු කරන කෙලෙස් කහට

මිනිස් සිත යම්කිසි ධර්මතාවකින් කිලිටි වේ ද, ඒ කෙලෙස් නමි. ත්‍රිපිටක ධර්මයෙහි මේ කෙලෙස් දහස් ගණනකින් විස්තර වුවත් ප්‍රධාන වශයෙන් ක්ලේෂයෝ දස දෙනෙකි.

ලෝභය වඳුරු ලාටුවක් වැනි ය

රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන අරමුණුවල ඇලීමට කරුණු වන ධර්මතාව ය ලෝභය යි. මිනිස් සිත මේ අරමුණුවල ඇලෙනුයේ ලෝභය ඇතිවීමෙන් ම ය. වඳුරන් මරණ වැද්දා ලෑල්ලක ලාටු ගා වඳුරන් යන එන මඟෙහි තැබූ විට පරීක්ෂාකාරි වඳුරා ඒ කුමක්දැයි අත තබා බලද්දී එහි ඒ අත ඇලෙයි. එය බේරා ගැනීමට මුහුණ පස්වැනි කොට ඇති ශරීරයේ පස්පල ම ඇලුනු විට වැදි මාරයා පැමිණ මස් පිණිස ඌ මරාගෙන යයි. මෙසේ ම ඇස ආදි පංච ඉන්ද්‍රියයන්, රූපාදි පංච අරමුණු හා ඇලී බැඳී සිටි කල්හි කෙලෙස් මාරයාගේ අතට හසුව සත්ත්වයා සතර අපායට ඇදගෙන යයි.

ලෝභය වඳුරු ලාටුවක් බඳු ය. මේ කෙලෙස් පල් වූ විට ආශ්‍රව, තණ්හා, සංයෝජනා නමින්ද ඒ ඒ අවස්ථානුකූල ව හඳුන්වති.

සිත චණ්ඩ වුණොත්

රූපාදී අරමුණු නිසා සිතෙහි පහළ වන චණ්ඩ ස්වභාවය ද්වේෂය වෙයි. බෙනයක වසන නයකුට දඬු මුගුරුවලින් පහර දීමෙන්, එයින් බැහැර වන නයා ක්‍රෝධයෙන් දෂ්ඨ කරයි. එයින් ජීවිත පවා විනාශ වේ. මරණ දුකට පත් වේ. මෙසේ සැඩ ගතිය මුල් කොට සත්ත්වයා ප්‍රාණඝාතය පවා සිදුකොට සතර අපායට යයි.

සැබෑ තතු වැසී යාම

සත්ත්වයාගේ සිත රූපාදී අරමුණුවල නියම තතු වසාලමින් මුළාවට පත්කරන ස්වභාවය මෝහය යි. දුක නො වැටහීම, දුකට හේතුව නො දැනීම, දුක්හි නිවීම නම් වූ නිවන නො දැනීම, දුක් නිවීම සඳහා වූ පිළිපැදිය යුතු මාර්ගය නො දැනීම හා පටිච්චසමුප්පාදය ආදී ධර්මතා නො දැනීම ධර්මයෙහි මේ මුළාව යි. අන්ධකාරයෙහි සිටින්නකුට කිසිවක් නො පෙනෙන්නාක් මෙනි. මෙහි බලවත් ම දුර්ගුණය වනුයේ අකුසල ක්‍රියාකාරකම්වල දී ප්‍රඥාවන්තයකු සේ පෘථග්ජනයා විසින් පිළිගැනීමයි. මෝහයට මිථ්‍යා ඥානය යි කියනු ලබන්නේ මෙවන් අවස්ථාවන්හි දීය.

අනුන් මැනීම

මානය නම් මැනීම ය. පෘථග්ජන සමාජ ස්ථරවල සිට තමා අනුන් හා ගලපා සිතින් මැනීම් කිරීම මේ මාන්නය යි. මෙය නන් වැදෑරුම් ය. තමා උසස් කොට අනුන් පහත් කොට – මම ශ්‍රේෂ්ඨ කොට, මම සමාන කොට, මම හීන කොට, ආදි වශයෙන් තවත් බොහෝ ප්‍රභේද ඇත. මේ හැම ආකාර වූ මාන්නයක් ම කෙලෙස් ය.

සිතින් දැකීම

දිට්ඨි, සිතින් දැකීම යි. ඇස ආදී ඒ දොරටු මඟින් සිතට වදින අරමුණ වරදවා ගෙන සත්ත්වයාට ලෝකයෙහි නියම තත්ත්වය පසෙකට දමා විරුද්ධාර්ථයක් ගැනීමට සිත්වෙන ධර්ම ශක්තිය මෙය යි. මේ ස්වභාවය පොදුවේ මිථ්‍යා දෘෂ්ටිය වශයෙන් හැඳින්වේ. උදා– ආත්මය සදාකාලික ය. / සදාකාලික නොවේ. මේ මිථ්‍යා දෘෂ්ටිය පංචානන්තරිය කර්මවලට ද වඩා බලවත් ය. එම කර්ම පහ විපාක දී අවසන් වේ. උදා: දේවදත්ත චරිතය ම බලන්න.

ඥාන ප්‍රතිකාර

විචිකිච්ඡාව සැක ස්වභාවය යි. සිතෙහි ඇතිවන අරමුණු සැක හැර නිශ්චය කොට ගත නොහැකි යම් ධර්ම ශක්තියක් වන්නේ ද, ඒ ධර්මතාව විචිකිච්ඡාව ය. මෙකී විරුද්ධ වචනය “චිකිච්ඡති” යනුයි. එහි තේරුම පිළියම් කරයි. (බෙහෙත් කළ හැකි ය) යනුවෙනි. මේ අනුව “විචිකිච්ඡා” යනු පිළියම් කිරිමට නොහැකි යනුයි. යමකුට බුද්ධාදී අටතැන්හි ඇතිවන යම් සැක ස්වභාවයකට ඥාන ප්‍රතිකාරයක් නො ලබන්නේ ද එය විචිකිච්ඡාව යි. මෙය කෙලෙස් ස්වභාවයකි. ප්‍රඥාවෙන් විමසා (විමංසා) මෙය දුරු කර ගත යුත්තකි. දෙමංහන්දියක් බඳු උපමා ඇත්තේ ය. සාමාන්‍ය ජීවිතයේ දී ද සැකය දියුණුවට බාධා වන ධර්මතාවයකි.

පසුබැසීම

ථීනය, සිතෙහි කම්මැලිකම ය. සිතේ ඇතිවන පසුබැස්ම ය. මෙසේ වූ විට සිතට බද්ධ කය ද එම ගති ම දක්වයි. (තං අනුස්සාහ ලක්ඛණං) මෙම උත්සාහ රහිත බව නිසා ම මැළිකම නිසා ම සිත කුසල ධර්මයන් කිරීමෙහි ලා හැකිළෙන්නේ ය. ගින්නට ළං කළ කුකුළු පිහාටුව හැකිලෙන්නා සේ ය. අකුසලය (පව) සසර පුරුදු මත නිරායාසයෙන් ම උත්සාහ රහිත ව කිරීමට පෙළඹෙන මුත්, කුසල් කිරීමට උත්සාහයක් වීර්යයක් ඕනෑ ම ය. සිතෙහි ගිලන් බව, සිත කුසලයට නො නැමීම, මෙය ම වෙයි.

නොසන්සුන් වුණොත්...

උද්ධච්චය :- යනු සිතෙහි නො සන්සුන් බව ය. උඩඟු බව ය. සිතෙහි එම සැලීම් ස්වභාවය නිසා මේ ක්ලේශයන් ඇති වේ. (තංචේතසෝ අවුපසම ලක්ඛනං) වියළි අලු ගොඩකට ගලක් ගැසූවිට අලු විසිරී යන්නා සේ කුසලයකට සිත නමා ගැනීමට සිතන මොහොතේ ම තමාගේ චිත්ත – චෛතසික ධර්ම නො සන්සුන් වන්නේ මේ කෙලෙස් ධර්මතාව නිසා ය.

ගම් ඌරාන් වැන්නෝ

අභිරික - පව්කිරීමෙහි ලජ්ජා නැතිකම ය. පුද්ගලයකු කොයියම් හෝ පවක් කිරීමට ලජ්ජා නැත්තෙක් වේ ද, ඔහු සියලු දුශ්චරිත කරයි. කෙනෙක් මළපහ කරන තැනට යන මිනිස්සු නැත. එහෙත් ගම් ඌරෝ මිහිරක් සේ සලකා එහි යයි. සතුන් මැරිම, බොරු කීම, ආදි පව්කම් ලජ්ජාවෙන් තොරව කරන්නා ඒ ගම් ඌරාට සම වේ. පව් කිරිමට ලජ්ජාවීම හිරි ය.

පළගැටියන් සේ

අනෝත්තප්ප: පාපයට භය නැතිකම ය. තමා විසින් කරන මේ ක්‍රියාව සැපයට, සතුටට හේතු වේ යැයි සිතා පව්කම් කිරීමට බියක් නැතිව සත්ත්වයා පව්කම් කරති. පහන්සිළ දුටු පළගැටියා එළියෙන් මුළාවී පිළිස්සී යන්නා සේ පවට ප්‍රිය තැනැත්තා පව්කම් කොට සතර අපායට යෙති. පව් කිරීමට බියවීම ඔත්තප්පය යි.

කසට තැවරුණු වස්ත්‍ර යම් සේ අපිරිසුදු වේ ද මෙවන් කෙලෙස්වලින් යුත් සිත අපිරිසුදු වේ. මේවාට කෙලෙස් කහට යයි කියයි. මෙසේ කෙලෙස් කසට නැති ප්‍රාතිමෝක්ෂ, ඉන්ද්‍රිය සංවර, ප්‍රත්‍යය සන්නිශි‍්‍රත හා ආජීව පාරිශුද්ධ සිවු පිරිසුදු සීලයන්හි මොනවට පිහිටි, ෂඩ් ඉන්ද්‍රියන් දමනය කළ, සත්‍යය කථා කරන්නා ඒකාන්තයෙන් “අරහත් ධජය” නම් වූ කසාවත (චීවරය) දැරිමට සුදුසු ය. මෙවන් ගුණ ධර්ම නැත්තා චීවරයක් දැරීමට නුසුදුසු ය.