Print this Article


කෙලෙස් ගිනි නිවන්නට බුදුගුණ භාවනාව

කෙලෙස් ගිනි නිවන්නට බුදුගුණ භාවනාව

භාවනාව බුදුදහමේ අර්ථ දක්වා ඇත්තේ “කුසල ධර්මයන්හි සිත පුරුදු කරයි ද, වර්ධනය කරයි ද, ඒ අර්ථයෙන් භාවනාව නම් වේ” යනුවෙනි.

කුසලය යනු නිවනට කේන්ද්‍රීය ධර්මයකි. එසේ ම කුසලය යනු ඉබේ වැඩෙන්නක් නොව දියුණු කිරීමෙන් ම ලැබිය යුත්තකි. ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් බුදුදහමේ පෙන්වා දෙයි. එනම් සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වශයෙනි.

මෙම භාවනා ක්‍රම දෙකෙන් සමථ භාවනාවට අයත් දස අනුස්සති භාවනාවට අයිති බුද්ධානුස්සති භාවනාව මෙහිදී අවධානයට ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කරමින් සිහිය පිහිටුවා ගැනීම බුද්ධානුස්සතිය නම් වේ.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ බැවින් ද, රාග, ද්වේශ ය, මෝහය භංග කළ බැවින් ද අරහං වන සේක.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක.

ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.

සුන්දර වචන ඇති බැවින්, සුන්දර නිවන් මඟට යොමු කරනා බැවින් සුගත වන සේක.

කාමලෝක, රූපලෝක, අරූපලෝක යන තුන්ලොව තතු දන්නා බැවින් ලෝකවිදූ වන සේක.

දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුුරිසදම්මසාරථි වන සේක.

දෙවි මිනිසුන්ට අනුශාසනා කරන ගුරුවරයා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක.

සියලු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගත් බැවින් බුද්ධ වන සේක.

පුණ්‍යවන්ත වූ භාග්‍ය ලක්ෂණ ලබන බැවින් භගවා වන සේක.

ආදි වශයෙන් බුදුගුණ සිහි කළ යුතු ය.

බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ භවයේ දී ම පහත සඳහන් ආනිශංස ලබා ගත හැකි වෙයි.

ඔබ විසින් කරනු ලබන බුදුගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම

භාවනා කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණු තත්ත්වයට පත්වීම.

භාවනා පී‍්‍රතිය බහුලවීම .

මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසා ගෙන ඒවාට මුහුණදීමට හැකි වීම.

බුදුරජාණන් වහන්සේ සමඟ වාසය කරන්නෙමි’ යැයි හැඟීම් ඇතිවීම.

බුදුරජාණන් වහන්සේ අරමුණු කර ගෙන ම සිත පැවතීම,

කෙලෙස් ගිනි සන්සිඳී සිත, කය, සැහැල්ලු වීම,

ධ්‍යානයන්ට පූර්වභාග පී‍්‍රතිය ඇතිවීම,

ධ්‍යානයන්ට පූර්වභාග සැපය ඇතිවීම.

අංග සම්පූර්ණ උපචාර ධ්‍යානය ලැබීම

බුද්ධානුස්සතිය ප්‍රගුණ කරන්නාගේ ස්වභාවය මෙසේ දක්වයි.

“මහානාමය, යම් කලෙක ආර්ය ශ්‍රාවක තෙමේ තථාගතයන් වහන්සේගේ ගුණ සිහි කරයි ද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඬ පැවැත්වූයේ නොවේ. ද්වේශයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ.

මහානාමය තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්ය ශ්‍රාවකයා ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලෝකෝත්තර ධර්මයෙන් සතුට ලබයි. ධර්මය හා මිශ්‍ර වූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට පී‍්‍රතිය උපදියි. පී‍්‍රති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුණු ශරීරය ඇත්තා සැපය විඳියි. සැපය ඇත්තාගේ සිත එකඟ වෙයි.

මහානාමය, ආර්ය ශ්‍රාවක තෙම විෂම වූ සත්වයන් අතර සම ව පවතිමින් වාසය කරයි. ක්‍රෝධ සහිත සත්වයන් අතර ක්‍රෝධ නැති ව වාසය කරයි. ධර්ම නැමති සැඩ පහරට බැස්සේ බුදුරජාණන් වහන්සේ අරමුණු කොට ඇති සිහිය වඩයි.

බුද්ධානුස්සති විහරණය, සසුන මැනවින් හඳුනාගත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා විසින් වාසය කරන එක් විහරණයක් ලෙස සඳහන් කරයි. යම් ශ්‍රාවකයෙක් ආරණ්‍යයකට, රුක්මුලකට සේනාසනයකට ගියේ, භය, තැති ගැනීම්, ලොමු දැහැ ගැනීම් ඇති වුවහොත් බුදුරජාණන් වහන්සේ සිහි කළ යුතු ය.

එවිට ඒ බිය පහව යන්නේ ය. එයට හේතුව වන්නේ තථාගතයන් වහන්සේ වීතරාග, වීතදෝෂ, වීත මෝහ නිසා භය නොවන සුළු, තැති නොගන්නා සුළු, පලානොයන සුළුවීමයි.

බුදුරජාණන් වහන්සේ පිළිබඳ සිහිකිරීම ජීවිතයට පිහිටක් වන ආකාරය තේරුම් ගත යුතු ය.

ධනංජානි බැමිණිය තමන්ගේ පය පැටලුනු අවස්ථාවේ තුන් වතාවක් ප්‍රකාශ කළේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රදුන්ට නමස්කාර වේවා යනුවෙන් බුදුගුණ සිහිකිරීමයි.

එම නිසා යමෙක් දිවා රෑ දෙකෙහි බුද්ධානුස්සති භාවනාව වඩන්නේ නම් ඔහු සුව සේ නිදා, සුව සේ පිබිදෙන බව ධම්මපදයේ දැක්වේ.