Print this Article


සංඝයා වහන්සේගේ ජීවිත බේරා දෙන්නට දිළින්දෙක් වූ ධනවතා

සංඝයා වහන්සේගේ ජීවිත බේරා දෙන්නට දිළින්දෙක් වූ ධනවතා

අතීතයේ හෙළදිව අනුරාධ නගරයේ හරිම එකමුතුවට ජීවත් වුණු භික්ෂූන් වහන්සේ තිස්තුන් නමක් වැඩ හිටියා. දවසක් මේ අය කථා කර ගත්තා දඹදිව යන්න. ගමනේ දී සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනාව හා පරිනිර්වාණය සිදුවුණ ස්ථාන දැක බලා ගෙන වන්දනා කරන්න තමයි තීරණය කර ගත්තේ. ගමනට දින නියම කර ගත්තා.

මේ ආරංචිය පැතිර ගියා අන්තර්දීපය නම් ස්ථානයේ වැඩ සිටිය රහතන් වහන්සේ හතර නමකටත්. උන්වහන්සේත් කථිකා කර ගෙන ගමනට සූදානම් වුණා. හැමදෙනා ම මහාකොණ්ඩපටුනෙන් නැව් නැඟිලා මුහුදින් එතෙර වුණා. පිළිවෙළින් ලුම්බිණි සල්උයන, බෝමැඩ, ඉසිපතනාරාමය, කුසිනාරා නුවර දැක බලා ගත්තා. වන්දනා කළා. මේ පිරිස ක්‍රමයෙන් දාගැබ්, මහවිහාර බලමින්, වන්දනා කර ගනිමින් නොදැනුවත්ව ම චීන රටට ඇතුළු වුණා.

මං මාවත් හරියට ම නොදන්නා නිසා ඉදිරියට යන්න යන්න හමුවුණේ චීනයේ අගනුවරයි. මේ පිරිස විශාල මාර්ගයකින් වැඩම කරමින් හිටියා. ඒඅසල තමයි චීන රජුගේ මාලිගය පිහිටලා තිබුණේ.

මේ අවස්ථාවේ රජතුමා සිවුවේදය දන්නා බමුණෙක් මාලිගයට ගෙන්වා ගෙන පුද සත්කාර කරමිනුයි හිටියේ. බමුණා දැක්කා මාර්ගයේ සන්සුන් ඉඳුරන් ඇති ව, ශාන්ත ගමනින් වැඩම කරන මහ තෙරුන් වහන්සේ තිස් හත් නමක්. උන්වහන්සේගේ ගමන හා ශාන්ත බව දැක්කොත් රජතුමා නිසැකව ම පහදින බවත්, අනුශාසනා අසමින් පුද සම්මාන කරන බවත්, තමන්ට තැනක් නො ලැබෙන බවත් දැන ගත්තා. උපක්‍රමයකින් මේ පිරිස මරා දැමුවොත් හරි. රජතුමාට මොවුන් ගැන සැක උපදවන්න ඕන. මේ පිරිස් ගැන තමන් පෙර දන්නා බව කියන්න ඕන’යි තීරණය කරලා,

‘රජතුමනි, මේ කාසාය වස්ත්‍ර පොරවගෙන යන්නේ, රාජ්‍ය ඔත්තුකාරයෝ. පැවිදි අය විදිහට තමයි රටවලට ඇතුළු වෙන්නේ. රජතුමනි, ඔබේ රාජ්‍ය වහා විනාශ කර දමන්න මේ අයට පුළුවන්. දැන්ම මේ අය අත්අඩංගුවට අරගෙන මරා දමන්න. නැත්නම් පසුවට පසුතැවෙන්න වෙයි’කියලා කිව්වා.

රජතුමා දුර දිග හිතන්නේ නැති රජ කෙනෙක්. ඉතින් එකවර ම ඒ කීම අහලා විශ්වාස කළා. කෝප ගත්තා. වහාම රාජ පුරුෂයන් කැඳවලා කිව්වා

‘බොල රාජ පුරුෂයිනි, වහාම අර පෙනෙන භික්ෂූන් අත්අඩංගුවට අරගෙන හිස ගසා දමන්න. නැත්නම් උල හිඳුවන්නයි‘කිව්වා.

රාජ අණින් ක්‍රියාත්මක වුණු රාජ පුරුෂයෝ භික්ෂූන් වහන්සේ අත්අඩංගුවට අරගෙන උල හිඳුවන්න සියලු කටයුතු සූදානම් කළා.

රාජ මාලිගයේ මිදුලේ ඉඳලා වදකස්ථානයට අරගෙන යන කොට ධනවත් දැහැමි මිනිහෙක් මේ පෙරහර දැක්කා. මෙයා දඹදිව ජීවත්වුණු කෙනෙක්. වහාම දුවගෙන ඇවිත් භික්ෂූන් වහන්සේ කළ වරද මොකක්ද කියලා විමසා සිටියා. ඉතින් දැන ගන්න ලැබුණා වරදක් නෑ. රාජ අණින් මරණයට නියම වුණා කියලා.

මේ ධනවතා කිව්වා, මොහොතක් මෙතැන නතර වෙන්න. මම රජතුමාගෙන් මේ ගැන අහල එන්නම්‘කියලා. වහාම රජ මාලිගයට දුවගෙන ගිහින් හති දම දමා රජතුමාගෙන් ඇහුවා

‘රජතුමනි, ඔබ වහන්සේ ලබා දුන් දඩුවම මම වෙනස් කරන්න යන්නේ නෑ. ප්‍රශ්න කරන්න යන්නෙත් නෑ. මේ අය නිදහස් කර ගන්න මම එක් එක් භික්ෂුවගේ බරට රත්රන් දෙන්නම්. ඔවුන් නිදහස් කරන්න‘යි කියලා ඉල්ලා සිටියා.

රජතුමා එයට එකඟ වුණා. ධනවතා හැම භික්ෂුවකගේ ම බර කිරා බැලුවා. සඟ මහලු පිළිවළින් භික්ෂූන්ගේ බරට අනුව රත්රන් දීලා නිදහස් කර ගත්තා. තමන් සන්තකයේ තිබුණු රත්රන් ඔක්කොම දීලා නිදහස් කර ගන්න පුළුවන් වුණේ තිස් හතර නමක් විතරයි. තිස්හත් නමෙන් තව තුන් නමක් නිදහස් කර ගන්න ඕන. රත්රන් නැති නිසා මාලිගයක් වැනි තමන්ගේ නිවස විකුණලා දීලා තවත් භික්ෂුවක් නිදහස් කර ගත්තා. තව දෙනමක් ඉන්නවා. එයින් තව භික්ෂුවක් නිදහස් කර ගන්න තමන්ගේ ගවමහීෂාදීන් වගේම සේවකයන් ද විකුණා දැමුවා. දැන් නිදහස් කර ගන්න ඉන්නේ අවසාන කෙනායි. කරන්න දෙයක් දැන් ඇත්තේ නෑ. මේ පින්වත් ධනවතා කළේ තමන්ගේ යහළු ධනවත් යහළුවෙක් ළගට ගිහින් කිව්වා. ‘මම ඔබේ දාසයෙක් වෙන්නම්. මට රත්රන් මෙතරම් ප්‍රමාණයක් ඕන‘කියලා රත්රන් ඉල්ලා ගත්තා. ඒවත් රජතුමාට දීලා ඒ භික්ෂුවත් නිදහස් කර ගෙන අසීමිත සතුටක් අනුභව කරමින් හිටියා. රජතුමාට මේ ධනවතා ගැන පුදුමයි. පුදුමයෙනුත් පුදුමයි.

‘මේ පුරුෂයා තමන් දාස බවටත් පත්වෙලා මේ භික්ෂූන් වහන්සේ බේරා ගත්තේ උන්වහන්සේගේ ප්‍රමාණ කළ නොහැකි ගුණයක් නිසා තමයි මෙහෙම කරන්න ඇත්තේ‘යි

කල්පනා කරලා රාජපුරුෂයන් ලවා ධනවතා මාලිගයට ගෙන්වලා

‘මගේ ජීවිත කාලයට මෙහෙම දෙයක් වෙනවා දැකලා නෑ. ඔබ දාසයෙක් බවට පත් වෙලා. අන් අය මරණයෙන් බේරා ගත්තා. එයට මොකක්හරි විශේෂත්වයක් තියෙනවද?‘යි ඇහුවා. ධනවතා කියනවා

‘රජතුමනි, ඒ පිරිස තුන් ලෝකය ම සනසා වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ. කයින්, වචනයෙන්, නෙවෙයි සිතින්වත් වැරැද්දක් කරන්නේ නැති අය. මම අපගේ රටේ රජතුමාවයි ගලවා ගත්තේ. ඔබ මේ අපරාධය කළා නම් ආත්ම දහස් ගණනක් අපා දුක් විඳිනවා. උන්වහන්සේ සිල් පුරන්න පුරන්න ඒ පින් මටත් අනුමෝදන් වෙනවා. මගේ සසර ගමන හැමදා ම සුවපත් වෙනවා. ඒ නිසයි මම මේ දේ කළේ’යි කිව්වා.

රජතුමා තමන් කළ අනුවණ ක්‍රියාව ගැන පසුතැවුණා. ධනවතාට තිබුණාටත් වඩා ධනය දුන්නා. ගම්වර පවරා දුන්නා. ධනවතාත් ලැබුණ ධනයෙන් හා තනතුරුවලින් අන් අයට පිහිට වෙමින් දන් දුන්නා, රජතුමා භික්ෂූන් වහන්සේ වැඩම කරවාගෙන ධර්මය ශ්‍රවණය කරමින් සැදැහැති බෞද්ධයකු බවට පත් වුණා‘යි කතා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.

බලන්න පින්වතුනි, මේ පින්වත් පුරුෂයා තමන් හම්බකරගත් ධනය වියදම් කළා. දුප්පත් වුණා. ඒ විතරක් නොවෙයි දාසයෙක් බවට පත් වුණා. මේ හැම දෙයක් ම කළේ සංඝයා වහන්සේගේ අනන්ත ගුණය සිහිපත් කර ගෙන.

ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාගතයට දායාද කරන, සිල්පුරන මහා සංඝයා රැක ගැනීම මෙලොව හා පරලොව යන දොලොව ම සැප ලැබීමට හේතුවන කටයුත්තක් බව මේ කතා ව අපට කියා දෙනවා.