Print this Article


ඉපැරැණි සිරිලකවෙසක් උත්සවය ආරම්භ වූ අයුරු

ඉපැරැණි සිරිලක වෙසක් උත්සවය ආරම්භ වූ අයුරු

ශ්‍රී ලංකාව වූ කලි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හරපද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී ය. එනම් බුද්ධ වර්ෂ 236 දී සිදු වු මහින්දාගමනයෙන් පසුව ය.

දාර්ශනික අගයක්

එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීන ව සමාජගත ව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, සද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කර ගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟ ම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීම යි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරා ම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන් ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය.

දේශාටන වාර්තා

මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන් ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

මහාවංස තොරතුරු

පුරාතන ශ්‍රී ලංකාවේ පැවති වෙසක් උත්සවයක් පිළිබඳ ප්‍රථම වාර්තාව මහාවංසයෙහි හමුවන්නේ දුටුගැමුණු (ක්‍රි.පූ. 101 - 77) රාජ්‍ය සමයේ දී ය. “මහා වේසාඛ පූජා ච චතුවීසති කාරයිං” යනාදී වශයෙන් දුටුගැමුණු රජු වෙසක් උත්සව විසි හතරක් පැවැත්වූ බව එහි කියැවෙයි. ඓතිහාසික ලිඛිත වාර්තා නොමැති වුව ද වෙසක් උත්සවය එයට පෙර ද පැවැත්වුණු බව විශ්වාස කළ හැකි ය. දේවානම්පියතිස්ස රජු වෙසක් උත්සවය සිදුකරන්නට ඇතැයි, පිළිගැනීම හේතු යුක්ති සහගත ය. ඒ අනුව පෙනෙන්නේ බෞද්ධ ලංකාවේ වීරයා වූ දුටුගැමුණු රජු වෙසක් උත්සවය යළි පිහිටුවා පෙරටත් වඩා විචිත්‍ර අන්දමින් පැවැත්වු බවයි.

දුටුගැමුණු රජුගෙන් පසු තවත් බොහෝ රජවරු වෙසක් උත්සවය අඛණ්ඩ ව පැවැත් වූ හ. භාතිය රජු (ක්‍රි.ව. 38 - 67) වෙසක් උත්සව විසි අටක් සිදු කළේ ය. බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත් වූ මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට ආහාරපානාදීය දීමේ සිරිත ද පැවතිණ. වසභ රජු ද (ක්‍රි.ව. 127 -171) ඔටුනු පලන් වර්ෂයේ පටන් ම පිළිවෙළින් වෙසක් උත්සව විසි හතරක් සිදු කළේ ය. වෝහාරතිස්ස රජු ද (ක්‍රි.ව. 269 - 291) වෙසක් උත්සවය සිදු කොට ලක්දිව සියලු භික්ෂූන් වහන්සේට තුන් සිවුරු පිදී ය. එමතු නොව ගෝඨාභය රජු ද (ක්‍රි.ව. 323 - 333) ජෙට්ඨතිස්ස රජු ද (ක්‍රි.ව. 611 - 617) දල්ල මොග්ගල්ලාන රජු ද (ක්‍රි.ව. 851 - 885) 2 වන සේන රජු ද රටවාසීන් හා එක්ව මහත් හරසරින් වෙසක් උත්සවය පැවැත්වූ බව සඳහන් ව තිබේ.

පූජාවලියේ වාර්තා

වෙසක් උත්සවය රාජානුග්‍රහය මත වර්ෂයක් පාසා ම අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම කෙරෙහි පූර්වෝක්ත රජවරුන් උත්සාහ ගෙන ඇත. මේ අනුව රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ද වෙසක් උත්සවය සඳහා වෙන් කෙරිණ. සෑම රජකෙනකු ගේ ම අනිවාර්ය රාජ්‍ය චාරිත්‍රයක් වූ මෙය පොලොන්නරු යුගය වන විට තව තවත් දියුණුවට පත් විය. දඹදෙණි යුගයේ පැවති ඉතා චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ පූජාවලිය තුළ මෙවන් වාර්තාවක් හමු වෙයි.

ඒ දවස් මේඝරාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදුමඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයා ගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන් ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාව ම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට

මෙම වෙසක් උත්සවය සිදු කරනුයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු ගේ (ක්‍රි.ව. 1250 - 1285) මූලිකත්වයෙනි. ඒ තුළින් වෙසක් උත්සවයක තිබිය යුතු සියලු ම අංග ප්‍රකාශ වෙයි. එබැවින් මෙය පුරාතනයේ පැවති වෙසක් උත්සවයක නියම ස්වරූපය යැයි, නියත වශයෙන් ම පැවසිය හැකි ය. මෙහි “බුදු මඟුලට බැස” යනුවෙන් සඳහන් ව ඇති බැවින් වෙසක් උත්සවය සඳහා “බුදු මඟුල” යන්න යොදා ඇති බැව් පැහැදිලි ය.

නීති මාලාවක්

මහනුවර යුගයේ මෙරට පැවති උත්සව හතරක් ගැන සඳහන් වන අතර, එහි පළමුවැන්න වෙසක් උලෙළ ලෙස දක්වා ඇත. තව ද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවති බව මහාවංසයෙන් තහවුරු වෙයි. වෙසක් උත්සවය ආරම්භ කළ යුත්තේ කෙසේ ද? ආරම්භ කරන්නේ කුමකින් ද? යන්න එම නීති මාලාවට අන්තර්ගත වී තිබෙන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය.

රාජ්‍ය වෙසක් උත්සවය

කෝට්ටේ යුගයෙහි කළ වෙසක් උත්සව ගැන කරුණු විරල ය. බුද්ධ පූජා පැවැත්වූ රජවරුන් රාශියක් ගැන සඳහන් වෙතත් ඒවා වෙසක් උත්සව දැ යි, නිර්ණය කිරීම අපහසු ය. කොළඹ යුගයේ දි ඉතා විචිත්‍ර අන්දමින් වෙසක් උත්සවය සිදු කෙරිණ. අද වන විට රාජ්‍ය වෙසක් උත්සවය ප්‍රමුඛ ව ලංකාවේ වෙසක් උත්සව ඉතා චිත්තාකර්ෂණීය අන්දමින් සිදු කෙරෙයි. වෙසක් පොහොය වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නො හැකි ය. නගරයේ නිවෙස්වල පටන් ඈත ගම්දනව්වල නිවෙස් දක්වා ම මෙම වෙනස එක සේ දැකිය හැකි ය.

විවිධ ජාතක කතාවස්තු හා වෙනත් බෞද්ධ තේමාවන් නිරූපණය කෙරෙන වෙසක් තොරණ ද ලංකාවේ සතර දිග් භාගයේ ම ප්‍රදර්ශනය කෙරෙයි. වෙසක් තොරණ හා පහන් කූඩු නිර්මාණයෙහි යම් තරගකාරි බවක් මෙකල පෙනෙන්නට තිබේ. විශාල පහන් කූඩු ඉදිකොට ඒ වටා එක් එක් ප්‍රමාණයේ පරිවාර පහන් කූඩු ද රැසකින් අලංකාරවත් කොට සිදු කෙරෙන නිර්මාණකරණය එයට උදාහරණයකි. එලෙස වඩාත් දැකිය හැකි වන්නේ පොදු මහජන ප්‍රදර්ශනය සඳහා නිර්මාණය කෙරෙන පහන් කූඩුවල ය. ඒවායෙහි එකිනෙක පරයා යන අන්දමේ නිර්මාණ කෞශල්‍යයන් සුලභ ව දැකිය හැකි වෙයි.

ඇතැම් නගරවල හා ආයතනවල වෙසක් පහන් කූඩු ප්‍රදර්ශන තරග පවත්වා ජයග්‍රාහකයින් තේරීමත්, මෙකල බහුල වශයෙන් සිදු වේ. තව ද වෙසක් සමය වෙනුවෙන් සිද්ධස්ථාන වැඳීම හා වෙසක් නිර්මාණ නැරඹීම සඳහා චාරිකා කරන සැදැහැවතුන් උදෙසා සංග්‍රහ කිරීම පිණිස යම් යම් පුද්ගලයින් සමිති වශයෙන් සංවිධානය වී රට පුරාම දන්සැල් පැවැත්වීම ද මෙකල බහුල වශයෙන් ම දැකිය හැකි දෙයකි.