Print this Article


කර්මය විපාක දෙන හැටි නිවැරැදි ව දකින්න

කර්මය විපාක දෙන හැටි නිවැරැදි ව දකින්න

පොදු ව්‍යවහාරයේ දී බොහෝ විට කර්ම විපාක පිළිබඳ කතා කරන්නේ, කායික ව හෝ මානසික ව හෝ දුක් විඳින අවස්ථාවල පමණි. බොහෝ දුක්විඳින අයකු දැක “කර්ම විපාකයක් විඳිනවා” යැයි පවසන්නේ ඒ නිසා ය. නමුත් කායික ව හෝ මානසික ව හෝ සැප විඳින අවස්ථාවල එය කර්ම විපාකයක් ලෙස සැලකීම ඉතා අඩු ය.

එනමුත් පින්කම්වල විපාක වශයෙන් දෙව් ලොව උපත ලබා සැප විඳින බව බොහෝ දෙනා විසින් පිළිගනී. මිනිස් ලොව සැප විඳීම කර්මයන්ගේ විපාක වශයෙන් සිදුවන බව බොහෝවිට අමතක කොට ඇත. මේ නිසා කර්ම හා කර්ම විපාක පිළිබඳ පුළුල් ව සිතා බැලීමට අප පුරුදු විය යුතු ය. කර්ම විපාක පිළිබඳ සඳහන් වන බොහෝ කතාවල දුක් විපාක පිළිබඳ පමණක් සඳහන් වන්නේ කර්ම විපාක පිළිබඳ මෙම වැරැදි අදහස නිසා විය හැකි ය.

බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ සිටි එක්තරා ශ්‍රමණ පිරිසක අදහස වූයේ මෙලොව වශයෙන් යම් දුකක් හෝ සැපක් විඳී නම් ඒ සියල්ල ම පෙර කරන ලද කර්මයක විපාක වශයෙන් විඳින බවයි. එනිසා ම ඔවුන් විවිධ තපස් ක්‍රමවලින් පැරැණි කර්ම “තවමින්” අලුතින් කර්ම රැස් නොකර දුකින් මිදීමට උත්සාහ කළහ. ඔවුන් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු එහි ඇති වරද පෙන්වා වදාළහ.

යමෙක් මෙලොව වශයෙන් කරන හොඳ හෝ නරක හෝ ක්‍රියා පෙර කර්ම නිසා සිදු නොවේ. නමුත් ඒ ඒ හොඳ නරක ක්‍රියාවලින් විපාක විඳිය යුතු කර්ම රැස් වේ. කර්මයක් හා එයින් ලැබෙන විපාකය, සෑමවිට ම එකිනෙක හා ගළපා තේරුම්ගත නොහැකි ය. උදාහරණයක් ලෙස ධම්ම පදයෙහි සඳහන් වන “අභිවාදන සීලිස්ස” යන ගාථාව විමසා බලන්න. නිතර වැඩිහිටි, පිදිය යුතු උතුමන්ට ගෞරවයෙන් වන්දනා කරන කෙනාට, ආයුෂ, වර්ණ, සැප, බල යන කරුණු සතර විපාක වශයෙන් මෙලොව හා පරලොව වශයෙන් ලැබෙන බව එහි සඳහන් වේ.

කර්මය හා විපාකය පිළිබඳ ඉතා වැදගත් කරුණක් “පඨම සඤ්චේතනික” සූත්‍රයෙහි (අං.නි. 6) සඳහන් වේ. දැන දැන කරන ලද, රැස් කරන ලද කර්මයන් විපාක නොදී අවසන් වන බව මම නො කියමි. යනුවෙන් එම සූත්‍රයේ දැක්වේ. එසේම එම විපාක දීම ද මෙලොව දී ම හෝ, ඊළඟ ජීවිතයේ දී හෝ, සසර මතු කෙදිනක හෝ සිදුවන බව දේශනා කොට ඇත. එනම් කර්මයක් කෙදිනක හෝ විපාක දීම සිදුවිය යුතු ම ය. එමෙන්ම දැන දැන කරන ලද කර්මයන්ගේ විපාක නොවිඳ දුක් කෙළවර කිරීමක් සිදුනොවන බව සඳහන් වීම විශේෂයෙන් සලකා බැලිය යුතු ය.

සූත්‍රයෙහි, දැන දැන කරන ලද කර්ම වශයෙන් සඳහන් වන බැවින් නොදැන සිදුවන කර්මයක් තිබේ ද යන සැකය ඇතිවිය හැකි ය. නමුත් නිබ්බේධික සූත්‍රයෙහි චේතනාව ම කර්මය වශයෙන් දේශනා කොට ඇති බැවින් නොදැන සිදුවන කර්ම නැති බව පැහැදිලි වේ. චේතනාව ම කර්මය වන්නේ නම්, දැන දැන කරන ලද කර්ම විපාක නොවිඳ, අවසන් නොවන්නේ නම්, දුක් කෙළවර කිරීමක් හෝ කර්මයන්ගේ අවසානයක් කෙසේ සිදුවේද? යන ගැටලුව ඕනෑම අයකුට ඇතිවිය හැකි ය. මේ පිළිබඳ ඉතා වැදගත් විස්තරයක් කරජකාය” සූත්‍රයෙහි( අං.නි.6) සහ “ලෝණඵල” සූත්‍රයෙහි (අං.නි.1) සඳහන් වේ.

කරජකාය සූත්‍රයෙහි සඳහන් වන පරිදි, යම් ආර්ය ශ්‍රාවකයෙක්, මෛත්‍රියෙන් ඇති කර ගත් සමාධිය වන මෙත්තා චේතෝ විමුක්තිය ඉතා හොඳින් පුරුදු කොට (සුභාවිතං) එයට පැමිණ වාසය කරයි. ඔහු එම විපුල වූ, මහද්ගත වූ අප්‍රමාණ මෙත් සිත සියලු දිශාවලට පතුරුවා ගෙන වාසය කරයි. එවිට ඔහු මෙසේ දැන ගනී.

“මෙයට පෙර මගේ සිත භාවනා වශයෙන් නොවඩන ලද පටු සිතක් විය. දැන් මගේ සිත ඉතා හොඳින් වඩන ලද අප්‍රමාණ සිතක් වෙයි. පෙර නොවඩන ලද සිතකින් කරන ලද යම් කර්ම වේ නම්, දැන් මේ අප්‍රමාණ වශයෙන් වඩන ලද සිත තුළ එම කර්ම නොපිහිටයි. මේ අයුරින් යම් ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා ඉතා හොඳින් මෛත්‍රිය පුරුදු කරන්නේ නම්, ඔහුගේ කය මරණින් පසු රැගෙන නොයයි. පුහුණු කරන ලද සිත ම පුද්ගලයාගේ මතු ජීවිතය තීරණය කරයි.

එසේම ඔහු මෙසේ දැන ගනී. “පෙර මා විසින් නොවැඩූ සිතක් ඇති කයෙන් කරන ලද යම් කර්ම වේ නම්, ඒ සියල්ල මෙහිදීම වේදනා විඳිය යුතු ය. එය මාගේ සිත අනුව පරලොව යන්නක් නොවේ. මේ අයුරින් මෙත් සිත පුරුදු කරන කෙනා මෙහිදී ම අර්හත්වය නොලබයි නම් අනාගාමී ඵලය ලැබීම පිණිස හේතු වේ.

මෛත්‍රී චේතෝ විමුක්තිය පුරුදු කළ අයෙක් එම ධ්‍යානය නොපිරිහී කලුරිය කළහොත් කල්පයක් ආයුෂ ඇති බ්‍රහ්මකායික බඹලොව උපත ලබන බව සූත්‍ර දේශනාවල සඳහන් වේ. නමුත් කරජකාය සූත්‍රයෙහි සඳහන් වන පරිදි මෙත්තාචේතෝ විමුක්තිය අර්හත්වය හෝ අනාගාමී ඵලය පිණිස හේතු වේ. එබැවින් මෙම මෙත්තාචේතෝ විමුක්තිය විපස්සනා පාදක කොට වඩන ලද බව පැහැදිලි වේ.

කුක්කුරවතිය සූත්‍රයෙහි කර්ම සතරක් විස්තර වේ. කළුවිපාක ඇති කළු කර්ම, මෙම කර්මයන්ගේ විපාක වශයෙන් නිරය ආදී දුගතියෙහි උපදී. සුදු විපාක ඇති සුදු කර්ම, මෙම කර්මයන්ගේ විපාක වශයෙන් සුභකිණ්හ ආදී බඹලොව උපදී. කළු සුදු විපාක ඇති කළු සුදු මිශ්‍ර කර්මවල විපාක වශයෙන් සැපදුක් සහිත මිනිස් ලොව හා දෙව් ලොව උපදී. එමෙන් ම කිසිදු අයුරකින් විපාකයක් නැති කර්මය ක්ෂය කරන කර්මයක් වේ.

එක්තරා භික්ෂුවකට තවත් භික්ෂුවක් සියලු ආශ්‍රව ක්ෂය කොට අරිහත්වයට පත් වූ බව අසන්නට ලැබේ. එසේ නම් මට කුමක් නිසා අරිහත්වය ලබන්නට නොහැකි ද යන කැමැත්තෙන් එයට උත්සාහ කරන භික්ෂුව ද ආශ්‍රව ක්ෂය කොට අරිහත්වයට පත්වේ. මෙසේ තණ්හාව (කැමැත්ත) ඇසුරු කොට තණ්හාවෙන් නිදහස් වන බව “භික්ඛුණී” සූත්‍රයෙහි (අං.නි. .2 )ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කොට ඇත. චේතනාව කර්මය වන බැවින් එම චේතනාවන්ගේ (සංස්කාර) අනිත්‍ය බව අවබෝධ කිරීම පිණිස සිහිය පැවැත්වීම කර්ම ක්ෂය වන විපස්සනාවයි.

ඒ ඒ පුද්ගලයා සිත දියුණු කර ඇති ආකාරය අනුව විපාකදීම එකිනෙක වෙනස් වේ. මේ පිළිබඳ ඉතා විසිතුරු උපමාවක් ඇසුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

යම් පුද්ගලයෙක් ඉතා සුළු වූ පාප කර්මයක් නිසා නිරයෙහි උපත ලබන අතර, තවත් අයෙක් ඒ හා සමාන සුළු පාප කර්මයක් මෙලොව දී ම ගෙවා දමන අතර කිසිදු අයුරකින් පරලොව විපාකදීමට නොයේ. මෙම වෙනස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ අයුරිනි.

මෙලොව යම්කිසි පුද්ගලයෙක් සීලය හොඳින් ආරක්ෂා නොකරයි නම්, සිත දියුණු කිරීම වශයෙන් භාවනාවක නොයෙදේ නම්, නුවණ දියුණු කර ගැනීම සඳහා ක්‍රියා නො කරයි නම් ඔහු නොවැඩූ සිතක් ඇති අයෙකි. එවැනි අයකු කරන ලද ඉතා සුළු පාප කර්මය පවා නිරය ආදී දුගතියෙහි උපතට හේතු වේ.

එසේම යම් පුද්ගලයෙක් හොඳින් සීලය දියුණු කර ඇති නම්, හොඳින් භාවනා පුහුණුවක යෙදී සිත දියුණු කර ඇති නම්, ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා උනන්දුවෙන් කටයුතු කරයි නම් ඔහු ඉතා හොඳින් දියුණු කළ සිතක් ඇති අයෙකි. එවැනි අයකු කරන ලද සුළු පාප කර්මය පවා මෙලොව දී ම ඉතා සුළු වශයෙන් විපාක දෙන අතර, පරලොව සඳහා නොයේ.

උපමාවකින් මෙම කරුණ පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ, කුඩා වතුර වීදුරුවකට ලුණු කැටයක් දැමූවිට එහි ජලය ලුණු රස වන බවත්, එම ප්‍රමාණයේ ම ලුණු කැටයක් විශාල ජලාශයකට දැමූ විට එහි ජලය ලුණු රස නොවන බවත් පෙන්වා දෙයි. මේ අයුරින් සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කළ සිතක් ඇති පුද්ගලයාට කර්ම විපාකදීමේ දී ඉතා සුළු වශයෙන් එම විපාක ලබා දෙන බව මෙම සූත්‍ර දේශනාවෙන් ඉතා හොඳින් පැහැදිලි වේ.

ඉහත සඳහන් සියලු කරුණු ඉතා සැලකිල්ලෙන් විමසා බලන විට කර්මයන්ගේ ඇති බියකරු බවත්, එමෙන්ම එයින් මිදිය හැකි එකම මඟ ධර්මයේ පිළිසරණ බවත් හොඳින් හෙළි වේ. විශේෂයෙන් සීල, සමාධි ගුණ වැඩීමේ වටිනාකමත්, කර්මය ක්ෂය කරන විපස්සනාවෙහි ඇති වටිනාකමත් තේරුම් ගත යුතු ය.