Print this Article


පිරිහෙන දොරටු මඟහරින මඟ

පිරිහෙන දොරටු මඟහරින මඟ

යහපත් වූ අන්තර්පුද්ගල සබඳතා ඇසුරෙන් ජන ජීවිතය පෝෂණය කරවීම බුදු දහමේ එක් මූලික පරමාර්ථයකි. එහි දී මෙලොව ජීවිතය සාර්ථක කොට ඒ ඔස්සේ ම පරලොව ජීවිතයේ

ද සුභ සිද්ධිය උදාකරවීමට හේතුවන ඉගැන්වීම් රැසක් බුදු දහම තුළ විස්තර කෙරෙයි.

බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කල එක්තරා දෙවියෙක් පැමිණ බුදු රදුන්ට වැඳ එකත්පස්ව සිට මෙසේ සැළ කර සිටියහ.

පරාභවන්තං පුරිසං - මයං පුච්ඡාම ගෝතමං

භගවන්තං පුට්ඨුමාගම්ම - කිං පරාභවතෝ මුඛං

ගෞතමයන් වහන්ස, අපි පිරිහෙන පුද්ගලයා පිළිබඳ ව විමසමින් සිටිමු. ඒ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිසීමට පැමිණියෙමු. පිරිහෙන්නා ගේ පිරිහීමට දොරටු කවරේ ද ?

මෙහි දී පුද්ගලයා ගේ පිරිහීමේ දොරටු හඳුන්වා දෙමින් බුදු රජාණන් වහන්සේ දේශනා කළේ ..පරාභව සූත්‍රය.. යි. එය ඛුද්දක නිපාතයෙහි සුත්ත නිපාතයෙහි උරග වග්ගයට ඇතුළත් වෙයි. මෙහි පුද්ගලයකු පිරිහෙන තැනට ඇද දමන ප්‍රධාන කරුණු දොළහක් සඳහන් වෙයි. ඒ එකින් එක අනුපිළිවෙලින් මෙසේ ය.

දියුණුවන්නා සේ ම පිරිහෙන්නා ද පහසුවෙන් හැඳීනගත හැකි ය. දියුණුවන්නා ධර්මයට කැමති ය. පිරිහෙන්නා ධර්මයට ද්වේෂ කරයි. එය පිරිහීමේ පළමු දොරටුව යි.

පිරිහෙන්නා අසත් පුරුෂයන් ප්‍රිය කරයි. සත් පුරුෂයන් ප්‍රිය නො කරයි. අසත් පුරුෂයන් ගේ මිථ්‍යා ඉගැන්වීම් ප්‍රිය කරයි. එය පිරිහීමේ දෙවන දොරටුව යි.

යම් පුද්ගලයෙක් නිතර ම නිදනසුලුබවින් යුතු වෙත් ද, පිරිස් මැද ගැවසෙමින් කතාවෙන් ම දවස ගෙවත් ද, උත්සාහයෙන් තොර වෙත් ද, අලසකමින් යුක්ත වෙත් ද, කිපෙනසුලු කෙනෙක් යැයි ප්‍රකට ව සිටිත් ද පිරිහීමේ තෙවන දොරටුව එය යි.

යම් පුද්ගලයෙක් හැකියාව තිබිය දී තරුණ විය ගෙවී ගොස් මහලුවියට පත් වූ මව හෝ පියා පෝෂණය නො කරත් ද එය සිවු වැනි පිරිහීමේ දොරටුව යි.

යම් පුද්ගලයෙක් බමුණකු හෝ ශ්‍රමණයන් වහන්සේ නමක හෝ වෙනත් කිසියම් යදියෙකු හෝ බොරුවෙන් රවටත් ද එය පිරිහීමේ පස් වැනි දොරටුව යි.

පිරිහීමේ සය වැනි කරුණ නම් බොහෝ රන් රුවන් ඇති රස මුසු බොජුන් ඇති මහා ධනවත් පුද්ගලයෙකු තමා පමණක් තනි ව මිහිරි බොජුන් අනුභව කිරීම යි.

යමෙක් ජාතියෙන්, ධනයෙන්, කුලයෙන් මානයට පත් වූයේ සිය නෑයන් හෙළා දකිත් ද එය පිරිහීමේ සත් වැනි දොරටුව යි.

පිරිහීමේ අට වන දොරටුව නම් යම් පුද්ගලයකු ස්ත්‍රීන්ට ලොල් වී, සුරාවට ලොල් වී සූදුවට ලොල් වී ලැබුණු ලැබුණු ධනය වනසා දැමීමයි.

යමෙක් ස්වකීය භාර්යාවගෙන් තෘප්තිමත් නොවී පර අඹුවන් වෙත යත් ද එය පිරිහීමේ නව වැනි දොරටුව යි.

පිරිහීමේ දස වැන්න නම් යොවුන් විය ඉක්මවා ගිය පුද්ගලයෙක් තරුණ යුවතියක් ආවාහ කොට ගැනීමයි. ඔහු ඇය පිළිබඳ වෙනත් තරුණයන් ඇල්ම බැල්ම හෙළා ය යන ඊර්ෂ්‍යාවෙන් නින්ද පවා නිසි ලෙස නොලබා කල්ගත කිරීම යි. වයසින් පිරිහෙන ඔහුට මෙය තවත් පිරිහීමට කරුණකි.

පර ස්ත්‍රීන්, පර පුරුෂයන්, සුරාව හා සූදු ආදියට ලොල් වූ ඒ සඳහා ධනය විසුරුවා හරින යම් ස්ත්‍රියක හෝ පුරුෂයෙකු නිවසක හෝ කිසියම් ආයතනයක අධිපති තනතුරෙහි තබයි නම් එය පිරිහීමේ එකළොස් වන දොරටුව යි.

පිරිහීමේ දොළොස් වන දොරටුව නම් භව භෝග සම්පත් අල්ප වූ එහෙත් මහත් තෘෂ්ණාවක් ඇති යම් පුද්ගලයෙක් රාජකීය පවුලක උපදිත් ද, ඔහු රජකම පතයි ද, එම නරක ගතිය යි.

මෙම පිරිහීමේ දොරටු පිළිබඳ මනාව දැන හැඳීනගෙන මේවායින් වැලකී සිටීම පුද්ගල ජීවිතයේ දියුණුව සඳහා ම හේතු වෙයි. එය මෙලොව පමණක් නොව පරලොව සුගතිය සඳහාත් හේතු වෙයි.