Print this Article


සම්බුද්ධ චරිතයෙහි උතුම් ආදර්ශ ජීවිතයේ උදාරත්වයට යි

සම්බුද්ධ චරිතයෙහි උතුම් ආදර්ශ ජීවිතයේ උදාරත්වයට යි

ගුරුවරයාගේ චර්යාව තුළ පුද්ගල ජීවිතවල දිසානතිය තීරණය වන ආකාරය බෞද්ධ සාහිත්‍ය තුළින් මනාව ගත හැකි ව තිබේ. ගුරුවරයකු විසින් ලබා දුන් වැරැදි ආදර්ශයක් සේ ම අයහපත් යොමු කිරීමක් නිසා “අහිංසක” නම් වූ ශිෂ්‍යයා “අංගුලිමාල” නම් වී මනුෂ්‍ය ඝාතකයකු වූ පුවත බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් ඉතා අමිහිරි සිදුවීමකි.

භාග්‍යවතුන් වහන්සේ “අත්තාන මේව පඨමං පතිරූපේ නිවේසයේ අතඤ්ඤ මනුසාස්‍යෙය”

යනුවෙන් අනුශාසකයා නොහොත් මඟ පෙන්වන්නා හෙවත් ගුරුවරයා ආදර්ශවත් පුද්ගලයකු විය යුතු බව පෙන්වා දී ඇත.

බුද්ධ චරිතය පමණක් නොව කල්පාන්තරව බෝධිසත්ව චරිතයෙහි චර්යාවන් ද බුද්ධාංකුර ව ගෙවා ලූ ආකාරය ඉතා ආදර්ශවත් ය.

“බෝධිසත්ව” යන හැඳීන්වීමට අනුගත අයුරින් ඒ ඒ ආත්මභාවයන්හි දී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ විවිධ භාවිතයන් ජාතක පොත් වහන්සේ තුළින් එළි දක්වා ඇති ආකාරය අතිශය චමත්කාරජනක වේ.

සිදුහත් බෝසතාණන් වහන්සේ සංසාරගත ව දුක් විඳීන සත්වයන් මුදවා ගැනීමේ උතුම් ක්‍රියාවලියට ගවේෂණාත්මක ව ඉදිරිපත් වූයේ ඉමහත් කරුණාවෙනි. එම උතුම් ප්‍රාර්ථනය මස්තක ප්‍රාප්ත කර ගැනීම සඳහා ඇති කර ගත් අධිෂ්ඨානශීලී උත්සාහය මෙන් ම නොපසුබට වීර්යය මානව ඉතිහාසයෙහි අසමාන වූ පුද්ගල චරියාවකි. ජීවිතයේ කිසියම් ඉලක්කයක් වෙත ළඟාවීමට අපේක්ෂා කරන පුද්ගලයකුට මෙම ආදර්ශය දෙලොව ජීවිතය ජය ගැනීම සඳහා මහෝපකාරී වනු ඇත.

රාජ කුමාරයකු ව, නොවිඳීය යුතු දුෂ්කරතාවලට මුහුණ දෙමින්, පරමාර්ථය ජය ගැනීමේ ක්‍රියා මාර්ගය තත්කාලීන උභය අන්තය ම අත්හදා බලමින් සිදුකළ සාවුරුදු දුෂ්කර ක්‍රියා සමය සුවිශේෂී මනුෂ්‍යයකුගේ බලාපොරොත්තු සහගත ව්‍යායාමයකි. සත්‍යගවේශී ව තත්කාලීන විවිධ ආචාර්යවරුන් වෙතින් ගත හැකි වූ සියලු ඉගෙනීම් සම්පූර්ණ කොට ඔවුන් අත්හැරයාම ද අනාදර්ශයකින් සිදු කරන ලද්දක් නොවේ. එසේ ම තත්කාලීන අන්තද්වය ම ප්‍රතික්ෂේප කරමින් සත්‍ය සාධනය සඳහා මැදුම් පිළිවෙතට පිවිස එය අනුගමනය කිරීම තුළින් ද ලබා දෙන ආදර්ශය වන්නේ නොබිය ව තීරණ ගැනීමේ හැකියාවයි.

සිද්ධාර්ථ ගෞතම බෝධි සත්වයන් වහන්සේ බෝ මැඩ දී ලබන විජයග්‍රහණය තුළින් ද ඉමහත් ආදර්ශ රාශියක් සපයා ඇත. තම ප්‍රාර්ථනා අකාමකා දමන සතුරු බලවේග සඳහා මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානශීලි බව ප්‍රකට වන්නේ චතුරංග සමන්නාගත වීර්යයෙනි. පාපී මරහුගේ විවිධ උපක්‍රම ජය ගැනීම සඳහා සිත සවිමත් කර ගැනීම මානව ඉතිහාසයේ මනුෂ්‍යයකු මුහුණ දුන් භයානක ත්‍රාසජනක අවස්ථාව ලෙස හැඳීන්වීමේ වරදක් නැත.

අසමසම සම්බුදු බව ලැබීමේ ඉමහත් සතුට උදානත්වයෙන් ප්‍රකාශ කොට සත් සතිය ගතකිරීමේ උතුම් අවස්ථාවන්ගෙන් ද උතුම් ආදර්ශ රාශියක් ලෝක සත්ත්වයන් වෙත ලබා දෙන ලදහ. සමාධි සුවයෙන් විජය ශ්‍රී ජය ශ්‍රී බෝධීන් වහන්සේ සමීපයෙහි සතියක් වැඩසිටිමින් මහත් පරිශ්‍රමයකින් චතුරා සංඛ්‍ය කප් සුවහසක් මුළුල්ලෙහි දරන ලද උත්සාහයෙහි සතුට ඉතා නිහඬ ව මෙනෙහි කිරීමෙන් ද ලබා දෙන ආදර්ශය වන්නේ ලබන ලද ජයග්‍රහණය භුක්ති විඳීමේ දී තිබිය යුතු ශික්ෂණය පිළිබඳ වූ ඉගැන්වීම ය.

දෙවැනි සතියේ දී සිදුකෙරෙන අනිමිෂ ලෝචන පූජාවෙන් ද කළගුණ සැලකීම පිළිබඳ ආදර්ශය ලබා දෙයි. පසුකාලීන ව උන්වහන්සේ “කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභෝ ලෝකස්මිං”

යනාදී වශයෙන් දේශිත විවිධ දේශනාවලින් තමන් වහන්සේ, සිත් පිත් නැති තමන්ට සෙවණ දුන් ගසකට පවා ගෞරව කරමින් සිදුකරන ලද ආදර්ශය නැවත නැවතත් අවධානයට ලක් කොට තිබේ.

චතුරාර්ය සත්‍යය ධර්මය ප්‍රථමයෙන් ම දේශනා කිරීමට කල්පනා කිරීමේ දී තමන් වහන්සේගේ පූර්වාචාර්යයන් වහන්සේ පිළිබඳ සොයා බැලීමත්, ඉන් අනතුරු ව තමන් වහන්සේ සමඟ එක්ව කටයුතු කළ පස්වග තවුසන් සොයා ගොස් ඔවුන් ප්‍රධාන කොට ගෙන දම්සක් පැවතුම් දේශනාව සිදුකිරීම තුළින් ද ලබා දෙන ආදර්ශය වන්නේ ගුරු ගෞරවය, මිත්‍රධර්මයෙහි අගය, කෘතවේදීත්වය පිළිබඳ ආදර්ශයන් ය.

පිය රජතුමා ඇතුළු යශෝධරාදී සමීප ඥාතීන්ට අනුග්‍රහ දැක්වීමත්, ශාක්‍ය කෝලිය ඥාතිවරුන් අතර ගැටුම නිරාකරණය සඳහා යුද බිමට වැඩමවීමත්, කිඹුල්වතින් හමන සුළඟ ද සුවදායක බව පැසීමත් තම උපන් බිම පිළිබඳ අභිමානීය ආදර්ශයන් සේ සැලකිය හැකි ය.

සීමිත පිරිසක් මනාව කළමනාකරණ කොට ලැබිය හැකි අසීමිත ප්‍රයෝජ්‍ය පිළිබඳ , සැරියුත් මුගලන් ආදී විශේෂිත භික්‍ෂු පිරිසක් කේන්ද්‍ර කොට ගෙන අග්‍ර තනතුරු පිරිනැමීම ද, පුද්ගල සේවාවන් අගය කරමින් වඩාත් දිරිගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳ ආදර්ශයන් ය.

තමන් වහන්සේට එරෙහි ව විවිධ මතවාද පතුරුවන ලද අන්‍ය ලබ්ධිකයන්ගේ ආරාමයන්ට ද වැඩමවමින්, ඔවුන් සමග සාකච්ඡා කරමින් තම සුහදතාව පළ කිරීම මෙන් ම උපාලි ගෘහපති ආදී අන්‍ය ලබ්ධිකයන් තමන් පිළිගන්නා දහම අත්හැරීමට පෙර නැවත සිතා බලන ලෙස දේශනා කිරීමත් සහනශීලී ආගමික ක්‍රියාවලියක් සඳහා ලබා දී ඇති උතුම් ආදර්ශයකි.

දීඝනිකායට අයත් සෝණ දණ්ඩ සූත්‍රයේ දී “සෝණදණ්ඩ” නම් වූ අන්‍ය ලබ්ධික ත්‍රිවේද පාරප්‍රාප්ත වූ වෘද්ධ වූ බ්‍රාහ්මණතුමා, භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ තමාගේ ප්‍රසාදය ඇතිවීමට පමණක් නොව උන්වහන්සේගේ උතුම් ධර්මය පිළිගැනීමට හේතු වූ ආදර්ශවත් කරුණු කීපයක් පිළිබඳ ව ප්‍රකාශ කොට තිබේ. එම උදාර ගුණ සියල්ල සාමාන්‍ය පුද්ගලයකුට ඇති කර ගත නොහැකි වුවත් ඕනෑම ජීවිතයක උදාරත්වය සඳහා හේතුවන සිදුහත් චර්යාවන් හයක් පිළිබඳ සඳහන් වන්නේ මෙසේ ය.

“ගෝතමො ඛො ඒහි සාගතවාදී හෝති” තමන් වහන්සේ වෙත පැමිණෙන අය ඉතා සුහද ව පිළිගනී.

“සඛිලො හොති” පැමිණෙන්නා සමඟ කනට සුවයක් වන සේ කතා කරයි.

“සම්මොදකෝ හොති” ඉතා සතුටු සාමීචි ව පිළිසඳරේ යෙදෙති.

“අබ්භාකුටිකො හොති” තරහ සිතින් බැම හකුළුවා නොබලති.

“උත්තාන මුඛො හොති” ප්‍රියමනාප ය.

“පුබ්බභාසි හොති” තමන් වහන්සේ ම පළමුවෙන් කතා කරති.

තථාගතයන් වහන්සේගේ අරහං ආදී අප්‍රමාණ වූ ගුණයන් පිළිබඳ බොහෝ දෙනා අසා ඇතත්, පංචවිධ වූ මෙම ගුණ සමූහය පිළිබඳ ඇත්තේ අප්‍රකට බවකි. මෙම උතුම් ගුණ සාමාන්‍ය ජීවිතයේ දී භාවිත කළ හැකි උතුම් ගුණ සමුදායකි.

බුද්ධ චරිතයෙහි උතුම් ආදර්ශ අනුගමනය කරමින් මේ උතුම් ධර්මාවබෝධය ලබා සසරින් එතෙර වීමට උත්සාහවත් වන්න.