Print this Article


ධර්ම විනය ගැන අවබෝධය නැති තැන ගුණධර්ම පිරිහෙනවා

ධර්ම විනය ගැන අවබෝධය නැති තැන ගුණධර්ම පිරිහෙනවා

මල් පහන් සුවඳ දුම් පූජාව, පිරිකර පූජාව, කඨින පූජාව ආදී වශයෙන් අප බොදු ජනතාව අතර නිතර භාවිත වන “පූජා” යන පදය පහදා දෙන්න

බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමටත් පෙර සිට පවතින ඉතාම පැරැණි වචනයක් පූජා. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ත්‍රිපිටකයේ පූජා යන පදය යෙදුණු තැන් කිහිපයක් ගැනයි. සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්ම පැවිදි ව “කිං කුසල ගවේසීව“ (කුසලය කුමක්ද) ආලාරකාලාම, උද්දකරාම තවුසන් වෙත ගොස් ඔවුන් ලබා ගෙන තිබුණු ඉහළ ම සමාපත්ති ඉතා ඉක්මනින් ලබාගත්තා.

ඒ අවස්ථාවේ එකී තවුසන් උන්වහන්සේ මහත් පූජාවෙන් පුදන ලදැයි “උලාරාය ච මං පූජාය පූජේසි” මජ්ක්‍ධිම නිකායේ “අරියපරියේසන සූත්‍රයේ සඳහන් වෙනවා. “පූජා” යන පදය දේශනා පාලියේ සඳහන් පැරැණිම තැන් වශයෙන් අරියපරියේසන සූත්‍රය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට (අනුපදිසේස) ආසන්න කාලයේ සිරුර පිළිබඳ ව කෙසේ පිළිපැදිය යුතු දැයි ආනන්ද හාමුදුරුවන් විමසූ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට දේශනා කළේ “අබ්‍යාවටාතුම්හේ ආනන්ද හෝථ තථාගතස්ස සරීර පූජාය” තථාගතයන් වහන්සේගේ ශරීර පූජාව පිණිස වෙහෙස නොවන ලෙසත්, නිවන් මාර්ගයට වෙහෙස වෙන ලෙසයි.

එහිදී තවදුරටත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුනා වූ ක්ෂත්‍රිය පණ්ඩිතයෝ ද, බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද, ගෘහපති පණ්ඩිතයෝ ද තථාගතයන් වහන්සේගේ “ශරීර පූජා පරිස්සන්ති” ශරීර පූජාව කරන්නේ ය යනුවෙන් දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා.

එසේ ම අංගුත්තර නිකායේ දුක නිපාතයේ ආමිස පූජා, ධම්ම පූජා වශයෙන් ද සඳහන් වෙනවා. මෙයින් ආමිස පූජාවට වඩා ධර්ම පූජාව උතුම් බව දේශනා කරනවා. මේ ආදී වශයෙන් ත්‍රිපිටකයේ තවත් තැන්වල ‘පූජා’ වචනය යෙදී තිබෙනවා. එහි අර්ථය ගරු කිරීම, ආචාර කිරීම, පූජාච පූජනීයානං යන තැන්වල පිදිය යුත්තන් පිදීම අර්ථ වශයෙන් ගත හැකි යී. “උදාන පාලියේ සක්කාර සූත්‍රයේ සක්කතෝ ගරු කතෝ, මානිතෝ පූජිතෝ අපචිතෝ ආදී වශයෙන් සඳහන් වෙනවා. වන්දනය, ගෞරවය, සත්කාරය, පරිත්‍යාගය ආදී ‘පූජා’ යන වචනයේ අදහසයි.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින අසීමිත භක්තිය, ගෞරවය ආදී හැඟීම් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකියි. එනිසා එවැනි හැඟීම් මල් පහන් පූජා කිරීමෙන් ප්‍රකාශ කිරීමත් බලාපොරොත්තු වෙනවා. පූජේමි බුද්ධං කුසුමේනනේන ආදී ගාථාවෙන් ජීවිතය පිළිබඳ යථාර්ථය කියවෙනවා. මල යම් සේ පර වේ ද අපේ ජීවිතයත් එසේ විනාශභාවය ට පත්වෙනවා. එනිසා භාවනාම ය ස්වරූපයකට අපේ සිත යොමු කරවනවා. බොහෝ විට ගිලන්පස පූජාව අධිවාසේ තුනෝ භන්තේ පානීයං පරිකප්පිතං ආදී ගාථාවල "පරිකප්පිත" යන වචනය විශේෂ පදයක්.

බුදුන් වහන්සේගේ අපමණ ගුණ, බුදුන් වහන්සේ පිළිබඳ දැනීම් අසීමිත ව, පරිකල්පනාත්මක ව සිහිපත් කරමින් තමයි ඒ පූජාව සිදු කරන්නේ. බුදුරජාණන් වහන්සේට මල් පහන් සුවඳ දුම් ආදී පූජාවන් ජීවමාන කාලයේ සිදු වූ බවට කිසිදු සාක්ෂියක් තුන් පිටකයේ නැහැ. පශ්චාත්කාලීන ව කලින් කී පරිදි ගෞරව පුදසත්කාරයන් සඳහා මේ පූජා විධි සකස් වෙන්නට ඇතැයි සිතීම වරදක් නොවෙයි. විශේෂයෙන් ම මේ සඳහා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන “තථාගතස්ස ථූපෝ කාතබිබෝ තත්ථ යෝ මාලංවා ගන්ධං වා චුණ්ණකං වා ආරෝපෙස්සන්තී වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්තී තේසං තං භවිස්සතී දීඝරත්තං නිකාය සුඛායාති” බලපා තිබෙනවා.

යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ පුදන්නාහු නම් හෝ ආදරයෙන් වදින්නාහු වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුන්ට බොහෝ කල් වැඩ පිණිස, සුව පිණිස වන්නේ යැයි මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.

ඔබ වහන්සේ ආමිස පූජා ධම්ම පූජා යනුවෙන් සඳහන් කළත් ප්‍රතිපත්ති පූජාව උතුම් පූජාවක් වශයෙන් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා නේද?

ඔව්. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජාව උතුම් ම ය යන්න ප්‍රචලිත සංකල්පයක්. හැබැයි බුද්ධ දේශනාවේ කිසිදු තැනක ප්‍රතිපත්ති පූජාවක් ගැන තොරතුරු සොයා ගැනීමට අපහසුයි. අංගුත්තර නිකායේ කලින් කී පරිදි ආමිස පූජා සහ ධම්ම පූජා සඳහන් වෙනවා. එයින් ධම්ම පූජා උතුම්. ප්‍රතිපත්ති කියන වචනය සංස්කෘත වචනයක්. එය සිංහලෙත් තියෙනවා. එම වචනයේ පාලි ස්වරූපය පටිපත්තිය. එනිසා පටිපත්ති පූජා යනුවෙන් ත්‍රිපිටකයේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. හැබැයි පටිපත්ති පූජා කියන වචනය වෙන වෙන ම සඳහන් වෙනවා. තවදුරටත් කියනවා නම් පටිපත්ති පූජා කියන වචන දෙක එක තැනක යෙදුන තැනක් ත්‍රිපිටකයේ නැහැ.

සුත්ත නිපාත අටුවාවේ පරමාය පූජාය පටිපත්ති පූජාය යනුවෙන් සඳහන් වෙනවා. එය පැහැදිලි කරන තැන කියවද්දී දැන් මේ සමාජයේ ප්‍රචලිත ප්‍රතිපත්ති පූජාව කියන අදහසක් එහි නැහැ. ප්‍රතිපත්ති පූජාවක් නොවෙයි. ප්‍රතිපත්තිය යනු ධර්මයට අනුගත පැවැත්මයි. එය පුරුදු කළ යුත්තක්. එනිසා ආමිස පූජා යනු කුමක් දැයි ධර්මානුකූල ව විමසිය යුතුයි. මෙහි ආමිස යනු චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය, සිවුරු ආහාර ආවාස, බේත්හේත් මේවා භික්ෂුවගේ මූලික අවශ්‍යතා. ඇඳුම් පැලඳුම්, ගෙවල් දොරවල්, ඉඳුම් හිටුම් සහ බේත් හේත් ගිහියාටත්, පැවිද්දාටත් පොදු මූලික අවශ්‍යතාවන්. ආමිස පූජා යනු මූලික අවශ්‍යතා පූජා කිරීමයි. ගිහියන්ට ඒවා පරිත්‍යාගයයි. ආමිස පූජා යනු කුමක්දැයි ධර්මානුකූල ව තේරුම්ගත් කල්හි මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකියාව තිබෙනවා.

බුදු දහම අන්තර්ධානය වීම සම්බන්ධ හේතු බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා ද?

ඔව්. සද්ධර්මය විනාශය පිණිස, අතුරුදහන්වීම පිණිස, හේතුවන දේශනා රාශියක් තුන්පිටකයේ ඇතුළත් වෙනවා. ඒ හා සම්බන්ධ ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි සූත්‍ර කිහිපයක් ගැන ඉඩ අවකාශ තියෙන පරිදි පෙන්නුම් කරන්නම්. සංයුක්ත නිකායේ (ද්විතීය භාගයේ - නිදාන වග්ගය) “ආණී සූත්‍රයේ” අනාගත කාලයේ භික්ෂූන් තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොව්තුරා අරුත් දක්වන සූත්‍ර, සූත්‍ර කොටස් තිබුණත්, ඒවා දේශනා කරද්දී ඇසීමට කැමති වන්නේ නැහැ. කන් යොමු කරන්නේ නැහැ. අවබෝධ කර ගැනීමට සිත් යොමු කරන්නේ නැහැ. ඒ ධර්මය ඉගෙන ගත යුතුයි, පාඩම් කරගත යුතුයි, සිතන්නේ නැහැ. නමුත් කවීන් විසින් කරන ලද නිපදවන ලද විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යාඤ්ජන ඇති බුදු දහමින් බැහැර ඒ ඒ ශ්‍රාවකයන් කියන ලද යම් යම් කොටස් අසන්නට කැමැති වෙනවා. කන් යොමු කරනවා. අවබෝධ කර ගැනීමට සිත් යොමු කරනවා. ඒත් ධර්ම ඉගෙන ගත යුතුයි. පාඩම් කළ යුතුයි. එනිසා බුදුදහම අතුරුදහන් වීමට මේ කාරණා හේතුවෙන බව සඳහන් වෙනවා.

රත්රන් නිසා රත්රන් විනාශ වන්නේ නැහැ. එහෙත් යම් කලෙක ලෝකයේ රත්රන් වගේ දෙයක් හටගෙන රත්රන් විනාශ වෙනවා. එසේ යම් කාලයක ධර්මය නොවෙයි. ධර්මය වගේ දෙයක් ලොව පහළ වන්නේ නම්, ධර්මය විනාශ වන බව, අතුරුදහන් වන බව සංයුක්ත නිකායේ ඉහත එම වර්ගයේ ම සඳහන් සද්ධම්මපතිරූපක සූත්‍රයේ අන්තර්ගත වෙනවා.

මේ ශාසනයේ ම හිස් පුරුෂයෝ ඉපදිලා සද්ධර්මය අතුරුදහන් කරනවා. (ඉධෙච තේ උප්පජ්ජන්ති මෝඝපුරිසා යේ ඉමං සද්ධම්මං අන්තරධාපෙන්ති) එනිසා ඒ හිස් මෝඝ පුරුෂයන් අනුව යමින් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවෝ බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවය නැති ව, යටහත් පහත් පැවැතුම් වාසය කරනවා. ධර්මය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි, ශික්ෂාව කෙරෙහි, සමාධිය කෙරෙහි, ගෞරවය නැති ව යටහත් පහත් පැවතුම් නැති ව ජීවත් වෙනවා. මේ නිසා සදහම් මග අතුරුදහන් වෙන බව, විනාශ වෙන බව එම සූත්‍රයේ ඇතුළත් වෙනවා.

එසේම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සුගතවිනය සූත්‍රය මේ අවස්ථාවේ දී සඳහන් කළ යුතුයි.

වරදවා තේරුම් ගත් සූත්‍ර, දහම් කොටස්, අක්ෂර, නාම, ආඛ්‍යාත, නිපාත, උපසර්ග වාක්‍ය යෙදුම් වැරැදි ලෙස පුහුණු කිරීම (දුග්ගහීතං සුත්තන්තං පරියා පුණන්ති දුන්නික්ඛිතේහි පදඛ්‍යඤ්ජනෙහි) සද්ධර්ම විනාශය, අතුරුදහන්වීම පිණිස පවතින පළමුවන කරුණ වශයෙන් එම සූත්‍රයේ සඳහන් වෙනවා. භික්ෂූන් ධර්ම විනයානුකූල අවවාද නොපිළිගැනීම් ආදිය ධර්මය අතුරුදහන්වීමේ දෙවන කරුණයි. තුන්වන කරුණ වශයෙන් බහුශ්‍රැත උගත් ආගච ඇති, ධර්මධර, විනයධර, මාතෘකාධර භික්ෂූන් සද්ධර්මය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර නොගැනීමෙන් සද්ධර්මයේ විනාශය, අතුරුදහන් වීම සිදුවන බව තවදුරටත් එහි සඳහන් වෙනවා. එම නිසා මේ සූත්‍ර සන්දර්භයන් මත පිහිටා අපේ වට පිටාව ගැන සිතන්න. එවිට වැටහේවි භික්ෂු භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස . ධර්ම විනය දැනුමෙන් හීන වෙන්න හීන වෙන්න ගුණ ධර්මවලින් පිරිහෙන බව. ගුණ ධර්මවලින් පිරිහෙන්න, පිරිහෙන්න ඔවුහු මිථ්‍යාවේ ගිලෙන හැටි.