Print this Article


සම්බුදු උපත සැපයකි

සම්බුදු උපත සැපයකි

බුදු කෙනකු ලොව පහළවීම දෙව්මිනිසුන් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක්ඛයෙන් මුදවා නිවන් මඟ පෙන්වීමකි. එහෙයින් බුදු කෙනකු ලොව පහළවීම සුවයකි. සැපයකි.

අප තථාගතයන් වහන්සේ ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රසංසා, සැප, දුක එක සේ විඳ දරා ගනිමින් ලෝකයාගේ හිතසුව පිණිස කටයුතු කළ සේක. ලෝකයා දුකින් මුදවා ලෞකික ලෝකෝත්තර දියුණුව පසක් කර දුන් සේක. ලෝකයාගේ හිතසුව පිණිස, මෙලොව, පරලොව, අභිවෘද්ධිය පිණිස දේශනා කළ දහම් කරුණු අතර ව්‍යග්ඝපජ්ජ සූත්‍රය තුළින් ලෞකික දියුණුව අපේක්ෂා කරන කෙනාට ඒ මඟ පෙන්වා දෙන ලදී. සිඟාලෝවාද සූත්‍රයෙන් යුතුකම් හා වගකීම් ඉටු කරන හැටි පෙන්වා දෙයි.

උතුම් මංගල කරුණු ඇතුළත් මංගල සූත්‍රයත්, චක්කවත්ති සීහනාද සූත්‍රයත් ජනතාවගේ යහපත පිණිස දේශනා කළහ. ලෝකෝත්තර දියුණුව පිණිස ප්‍රථම ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය මඟින් චතුරාර්ය සත්‍යය දේශනා කළ සේක. මහා සතිපට්ඨාන සූත්‍රයෙන් මනා සිහිය පිහිටුවා මානසික සුවය ඇතිකර ගැනීමත්, සම්මාදිට්ඨි සූත්‍රය මඟින් නිවන වූ පරම නිෂ්ඨාවත් දේශනා කොට වදාළහ. පුහුදුන් ලෝකයා සසරින් මුදවා ගන්නට උන්වහන්සේ ගත් උත්සාහය අද වැනි දිනක කෙසේ ඇගැයිය යුතු ද?

සෑම දෙනෙකු ම ධර්මානුකූල සිතුවිලි තුළ ම කටයුතු කිරීමෙන් තමන්ගේ ජීවිත මනාව හැඩගස්වා ගැනීමට හැකි වනු ඇත. මගෙන් තව කෙනකුට වරදක් සිදු නොවේවා යන උතුම් අදහස මුල් කර ගෙන ධර්මානුකූල ව ජීවත් වීමටත් “දුල්ලභංච මනුස්සත්තං” දුර්ලභ වූ මනුසත් බව තේරුම් ගෙන කටයුතු කිරීමටත් අධිටන් කර ගත යුතු ය.