Print this Article


මේ ජීවිතයේ දී ම මාර්ගඵල අවබෝධය ලබමු

මේ ජීවිතයේ දී ම මාර්ගඵල අවබෝධය ලබමු

ශීලය යනු හික්මීමයි. සිත සංවරයට පත් කිරීමයි. එවැනි සීලයක පිහිටා කටයුතු කිරීමෙන් සිත ප්‍රමෝදයට පත්වෙයි. චිත්තප්‍රමෝදය ප්‍රීතිය උපද්දවයි.

සිතේ උපදින්නා වූ නිරාමිස ප්‍රීතිය පස්සද්ධිය පිණිස හේතු වෙයි. මෙසේ සිත, කය සංසි¼දීම සමාධියට හේතු වන අතර, චිත්ත සමාධිය ලෝකය පිළිබඳ ව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට හේතු වෙයි. එනම්, යථාභූත ඥාන දර්ශනය පිණිස හේතු වේ.

මෙසේ සංවර වන තැනැත්තාගේ සන්තානගත ව ඇතිවන්නා වූ චිත්ත සමාධිය, විදර්ශනා ඥාන සඳහා නිවැරැදි ආකාරයට යොමු නොවුවහොත් එම යෝගී තැනැත්තා චිත්ත සමාධියෙහි සුවය විඳීමින් තාවකාලික සැනසීමට පත් වීම හැරෙන්නට සත්‍යය අවබෝධය නොකරයි. එමෙන් ම කෙටි කාලයක දී එම සමාධිය පිරිහී නැවත පහත් මානසික තත්ත්වයකට වැටීමට ද පුළුවන. එය සංසාරික ජීවිතයේ ඉතා දුර්ලභ වූ ක්ෂණ සම්පත්තියක් මඟහැරී යාමකි.

මේ සියලු ම දුර්ලභ කාරණා පහළ වී ඇති වර්තමානයෙහි චිත්ත සමාධියක් භුක්ති විඳින පින්වන්ත පිරිස් එම සමාධිය විදර්ශනා ඥානයන්ට ගෝචර වන්නේ ද යන්න සොයා බැලීම කළ යුතු ම වේ.

සමථයෙන් හෝ විදර්ශනාවෙන් හෝ ජනිත වූ චිත්ත සමාධියක් හේතුවී විදර්ශනා ඥාන නියම අන්දමින් පහළ වීමට නම් එම සමාධිය පහත ලක්ෂණවලින් යුක්ත විය යුතු ය.

* අතීතය ලුහුබැඳීමෙන් සිත වික්ෂිප්ත බවට පත් නොවී තිබිය යුතුයි.

* අනාගත පැතුම්වලින් සිත කම්පාවට පත් නොවී තිබිය යුතුයි.

* කුසීතකම අනුව ගොස් සිත හැකුළුණු බවට පත් නොවී තිබිය යුතුයි.

* උද්ධච්චය අනුව ගොස් සිත ඉතා දැඩි ව ගත් බවට පත් නොවී තිබිය යුතුයි.

* රාගය අනුව ගොස් සිත වෙසෙසින් නැමුණු බවට පත් නොවී තිබිය යුතුයි.

* ව්‍යාපාදය අනුව ගොස් සිත නතු නොවූ බවට පත් නොවී තිබිය යුතුයි.

සද්ධා - පඤ්ඤා ඉන්ද්‍රිය යුගලයත්, වීරිය සමාධි ඉන්ද්‍රිය යුගලයත්, එකිනෙක නො - ඉක්මවා සම ව පැවතීම. එම ඉන්ද්‍රිය යුගලයන් සමඟ සති ඉන්ද්‍රිය එකම කෘත්‍යකට යොමු වී පැවතීම හා සුදුසු වන පමණින් වීර්යය පැවතීම.

ආසේවනයෙන් නැවත නැවත වැඩීමෙන්) ශක්තිමත් බවට පත්වීම.

විදර්ශනා ඥාන නියම අන්දමින් පහළ වන්නේ, මේ අංගවලින් සම්පුර්ණ වූ සමාධියකින් යුක්ත වූ සිතකයි.

අතීතය ලුහුබැඳීමෙන්...

අපගේ සිත නිබඳ ව සොයා යන්නේ අතීතයේ ලැබුවා වූ යම් සැප වේදනාවක් තිබේ ද, එම සැප වේදනා නැවත ලබා ගැනීමටත්, අතීතයේ වින්දා වූ යම් දුක් වේදනාවක් තිබේ ද, එම දුක් වේදනාවන් නැවත ලැබීම නවතාලීමටත් උපක්‍රමයි. තණ්හා දෘෂ්ටි මාන්නයෙන් යුක්ත ව මුළාවට පත් වී සෑම කල්හි ම වැරැදි උපක්‍රම භාවිත කරමින්, පංචකාම සම්පත්තිය තුළ ම විසඳුම් උපක්‍රම සොයන සිත නිබඳව ම වික්ෂිප්ත භාවයට පත් වෙයි. තමන්ගේ විදර්ශනාව යම් පමණකින් හෝ මේ වන විට සාර්ථක වී තිබේ නම්, පංචකාම සම්පත්තිය තුළින් නොව නෙක්ඛම්ම නිශ්චිත සෝමනස්සයන් සොයා යන ස්වභාවයකට සිත පත්වී තිබිය යුතුයි. එසේ නම් තවමත් අතීත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමුවේ වික්ෂිප්ත නොවිය යුතු ය. වික්ෂිප්ත වන්නේ නම්, දැනට පවත්නා ඔබේ සමාධියේ යම් අඩුපාඩු ඇති බව සලකා ඉක්මනින් තවදුරටත් විදර්ශනා වඩමින්, ගුරු ඇසුරෙහි යෙදෙමින් සිත අතීතය හමුවේ වික්ෂිප්ත නොවන තත්වයට පත්කර ගත යුතු ය. එසේ නොවන්නේ නම් විදර්ශනා ඥානයන් පහළවීමට ඇති අවකාශ ඉතා අඩු වන බව සැලකිය යුතු ය’

අනාගත පැතුම්වල සිරවුණොත්

ඉහත ආකාරයට ම සැනසීම සඳහා උපක්‍රම සොයන සිත, අනාගතයේ දී එම සැප වේදනා නොලැබේවි යැයි හෝ එසේ නොමැති නම් දුක් වේදනා ලැබේවි යැයි හෝ යන බිය හමුවේ කම්පාවට පත්වෙයි. නිත්‍ය දුක්ඛ, අනාත්ම ලක්ෂණයන් නිවැරැදි ආකාරයට මෙනෙහි කිරීමෙන්, මරණානුස්සති ආදී චතුරාරක්ඛ භාවනා වැඩීමෙන් මෙම තත්ත්වයන් සමනය කර ගත හැකි ව තිබේ. එසේ මෙම තත්ත්වයන්ගෙන් සිත මුදවා නොගතහොත් විදර්ශනා ඥාන ඇතිවීමට ඇති අවස්ථා මඟහැරී යනු ඇත.

අලස වෙන්න එපා

කුසීතාරම්භවත්ථූ සූත්‍රයට අනුව කුසීතවස්තු අටකි. (කම්මැලිකමට මුල්වන කරුණු අටකි)

* තමාට ඉදිරියෙන් බොහෝ වැඩ ඇතැයි සිතමින් එසේ බොහෝ වැඩ කරන විට මහන්සිය උපදින නිසා දැන් මම මදක් විවේක ගත යුතු යැයි සිතා සැතපෙයි. වීර්ය නො කරයි.

* වැඩක් කළ පසු තමා බොහෝ වැඩ කිරීමෙන් කය විඩාබර වූ බව සිතමින් සැතපෙයි.

* ගමනක් යාමට ඇති විට ඒ ගැන සිතා පූර්ව සූදානමක් ලෙස වැතිර ගැනීම.

* ගමනක් ගිය පසු එහි විඩාව සැමරීමට විවේක ගැනීම.

* නිසි ආහාර නො ලද කල කුසීත වෙයි.

* පිරිපුන් අහර ලද විට ද කුසීත වෙයි.

* කුඩා ආබාධයක් උපන් කල කුසීත වෙයි.

* ලෙඩක් තිබී සුව වූ පසු කුසීත වෙයි.

මෙම කුසීත වස්තූන් හේතුවෙන් උපදනා කුසීතකම කුසලච්ඡන්දය සමග යෙදීමෙන් එම කුසලච්ඡන්දය සැඟව යයි. අතිලීන ඡන්ද යැයි කියනු ලබන තත්ත්වයට පත්වෙයි.

සිතේ දැඩි බව වැඩි නම් ...

මනසේ සැලෙන බව, වික්ෂිප්ත බව උද්දච්චයයි. මෙය සෑම අකුසලයක් සමඟ ම ඇතිවන චෛතසික ධර්මයකි. මෙසේ උද්ධච්චයට යන සිතේ දැඩි වන බැවින් විදර්ශනා ඥාන උපදවීමට කර්මන්‍ය නොවේ. ශීලාදී ගුණ ධර්ම රැකීමෙන් , තමන්ට යෝග්‍ය සමථ භාවනාවක් තවදුරටත් ප්‍රගුණ කිරීමෙන් මෙම තත්ත්වය දුරු කර ගත හැක. එපමණක් නොවෙයි. සමාධියට පක්ෂ වන වස්තු විසද කිරියතා ආදී..කරුණු සලකා බලා චිත්ත ඒකාග්‍රතාව කර ගත යුතු ය.

රාගයෙහි ඇලීම

ධර්මයෙහි පැහැදිලි කර ඇත්තේ රාගය ගින්නක් වැනි බවයි. ගින්න හොඳ නරක සියල්ල දවයි. දැවීමේ නිමාවක් නොමැත. රාගය ද එපරිදි ය. විදර්ශනා හෝ සමථ භාවනාවක් පුහුණු වෙමින් ඒකත්වයකට පත්වෙමින් තිබෙන සිතකට විදර්ශනා ඥාන වැඩෙන්නට හැකියාව තිබියදී, රාගය නමැති දරුණු ගින්නෙන් මොහොතකට හෝ දැවීම, අවබෝධ ඥානය ලැබීම අධික ප්‍රමාදයකට පත්වීමට ප්‍රබල හේතුවක් වෙයි. එම නිසාවෙන් රාගය දුරු කර ගැනීමට

1. විපරීත සංඥාවන් දුරු කර ගත යුතු ය.

2. සමාජය දෙස යහපත් ආකල්ප ඇති කර ගත යුතුයි.

3. රාගය හා බැඳුණු අරමුණු දුරු කළ යුතුයි.

4. කාමරාගයට ප්‍රතිවිරුද්ධ සිතිවිලි (අසුභ සහගත සිතිවිලි)උපදවා ගත යුතුයි.

5. සිත සන්සුන් කර ගැනීමට ක්‍රියා කළ යුතුයි.

ව්‍යාපාදයත් එපා

ව්‍යාපාදය යනු සිත ඉතා තදින් නතු කර ගන්නා ධර්මතාවකි. ව්‍යාපාදය සිතට නැගෙන්නට ඉඩ නොතබා මෛත්‍රීය වර්ධනය කර ගැනීම, කර්මය මෙනෙහි කිරීම,ආඝාත පටිවිනය සූත්‍ර ආදී සූත්‍රයන්ට අනුකූල ව චින්තනය සකස් කර ගැනීම. ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම, වැනි උපක්‍රම භාවිත කරමින් තදංග හා විෂ්කම්භන වශයෙන් ව්‍යාපාදය දුරු කර ගැනීමෙන් විදර්ශනා ඥානයන් පහළ වීමට අවශ්‍ය අනුලෝම ශාන්තිය උදාකර ගත හැක. මේ පිළිබඳ ඉතා සැලකිලිමත් වීම නිර්වාණ ශාන්තිය උදාකර ගැනීමට බලාපොරොත්තු වන යෝගාවචරයින් සිදු කළ යුතු ම වේ.

වීර්යය හා සමාධිය සම ව යෙදීම

සද්ධින්ද්‍රිය බලවත් ව ඉතිරි ඉන්ද්‍රියයන් දුර්වල වුවහොත් භාවනා සිතට අනුබල දීම ය, සිත තැන්පත් කරවීම ය, අරමුණේ ස්වභාව ලක්ෂණය හා සාමාන්‍ය ලක්ෂණය දැන ගැනීම ය යන කෘත්‍යයන් අනික් ඉන්ද්‍රියයන්ගෙන් සිදු නො වන්නේ ය. ශ්‍රද්ධාව අධික ව විදර්ශනා අරමුණෙහි සිත යොදවා ගත නො හැකි වනූ ඇත. එපමණක් නොව ශ්‍රද්ධාව බලවත් ව ප්‍රඥාව අඩු පුද්ගලයා නො පැහැදිය යුතු තැන පැහැදීම ඇත්තෙක් වෙයි. හෙතෙම ගුණ දැන පහදින්නෙක් නොවනු ඇත.

ප්‍රඥාව බලවත් ව, ශ්‍රද්ධාව අඩු පුද්ගලයා කෛරාටිකයෙක් වෙයි. විරියින්ද්‍රිය ය බලවත් වුවහොත් සිත නොසන්සුන් වී සද්ධින්දිය ආදියට අයත් කටයුතු සිදුකළ නොහැකි වනු ඇත.

එසේ ම සමාධිය බලවත් ව වීර්යය අඩු පුද්ගලයා කුසීතකමට බර වන බැවින් කුසීත බව ඔහු යටපත් කරයි. සමාධිය වීර්යය හා සම ව යෙදුණු කල්හි කුසීත බවෙහි ඇද නො වැටෙන්නේ ය. විර්යය හා සමාධිය සම ව යෙදෙන කල්හි උද්ධච්චයෙහි නො වැටෙන්නේ ය. ඒ නිසා ඒ දෙක සම ව තබා ගත යුතු ය.

නැවත නැවත වැඩීමෙන් ශක්තිමත් වීම

යම් ධර්ම නිමිත්තකට අනුව භාවනා කිරීම, බහුල ව මෙනෙහි කිරීම, මොනවට නිශ්චය කිරීම කිරීම, පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට අවබෝධ කර ගැනීම, ආසේවනය තුළින් සිද්ධ වෙයි. එබැවින් තමන් උගත් ධර්මය නැවත නැවත මෙනෙහි කර ප්‍රබල කර ගත යුතු ය .

මේ ආකාරයට තමන් ලැබූ උතුම් සමාධිය ආරක්ෂා කර ගනිමින් විදස්සනා ඥාන සඳහා යොදා ගනිමින් මේ ජීවිතයේ දී ම උතුම් මාර්ග ඵල අවබෝධය උපදවාගත යුතු ව ඇත.