Print this Article


හොඳ දේ අගයමු

හොඳ දේ අගයමු

ආදරණීය දුවේ, පුතේ,

ඔන්න දුවේ පුතේ ඒ කාලෙ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියල රජ කෙනෙකුගේ කාලයේ, අපේ බෝසතාණෝ වඳුරෙක් ව ඉපදුණා. ලොකු උනාට පස්සෙ වඳුරු රැළක නායකයෙක් වුණා. මේ අය ජීවත් වූ වනාන්තරයේ ලස්සන ගංගාවක් ගලාගෙන ගියා. ඒ ගඟ ළඟ විශාල අඹ ගසක් තිබුණා. ගෙඩි මී පැණි වගේ රසයිලු.

ඉතා කරුණාවන්ත අපේ බෝසත් නායකයා ඉතා ආදරෙන්, පරිස්සමෙන් තම අසූදාහක පිරිවර රැගෙන ගිහිං මේ ගහේ අඹ කන්න සැලැස්වූවා. මේ අතර දවසක් මේ අඹ ගෙඩියක් ගඟට වැටිල ගහගෙන ගිහින් මාළු දැලක රැඳිලා. මාළු අල්ලන අය දැකල රජතුමාට ගිහින් දුන්නා. රජතුමා පිරිස යවල මේ අඹගෙඩිය මොන ගහේද කියල සොයා ගත්ත. අඹගෙඩිය ඒ තරමට ම රසයි.

අඹ ගහ යටට ගිය රජතුමා ඇති තරම් අඹ අනුභව කළා. වඳුරන් දැකල වඳුරු මස් කන්නත් හිතුණා. දුනුවායන්ට රජු අණ කළා. වඳුරන්ට මේ බව තේරිල ගොඩාක් බය වුණා.

බෝසත්තුමා වහාම ඉදිරිපත් වුණා. බයවෙන්න එපා. මම ඔයාලාට කිසි කරදරයක් වෙන්න දෙන්නෙ නෑ” කියල මුලින් ම එයාලගෙ බය නැති කළා. ඊට පස්සෙ බැලුව ආරක්ෂා සහිතව ඒ ගඟෙන් එහා පැත්තට පනින්නෙ කොහොමද කියල. වඳුරු නායකතුමා ගඟෙන් එහා පැත්තට පැනලා වැළක් හොයා ගත්තා. ගඟෙන් එගොඩ ගසක එක කොණක් ගැට ගැසුවා. වැලේ අනෙක් කොන තමන්ගේ ඉණේ බැඳගත්තා.

ඊට පස්සේ දරුවනේ නායක වඳුරුතුමා විදුලියක් වගේ වේගෙන් එහා පැත්තට පැන්න. වැල්පට ටිකක් දිග මදි. බොහොම අපහසුවෙන් යාන්තමට අඹ අත්තක් අල්ලා ගත්ත.

ඉතිරි කොටසට බෝසත් තුමා දිගා වුණා. තම සගයන්ට කීවා ඉක්මන් කරල තමන්ගේ සිරුර උඩින් ගිහින් වැල දිගේ ගඟෙන් එහා පැත්තට යන්න කියල. හැමෝම බෝසත්තුමාට වැඳලා ගගෙන් එහා පැත්තට පැන ගත්තා.

ඔන්න දරුවනේ, ඔයාලා අහල තියෙනව නේද දේවදත්ත හාමුදුරුවෝ ගැන. ඒ බවයේ ඒ වඳුරු රැළේ ඉපදිලා හිටියා. ඒ වඳුරා හිතුව මේක තමා හොඳ ම වෙලාව නායක වදුරුතුමා විනාශ කරන්න. අඹ ගහේ උස ම අත්තකට නැගල ඉතා වේගයෙන් ඇඟට පැන්නා. දරුවනේ, මේ වන විට නායක වඳුරු තුමා බොහොම වෙහෙසට පත්වෙලා හිටියේ. අසූදාහක් පමණ වඳුරන් ඇඟ දිගේ යනකං අඹ අත්ත අල්ලාගෙන ඉදලා. ඉතින් අර වඳුරා ඇඟට පැන්නම බෝසතුන්ගෙ හදවත බිඳී ගියා. ඉතා වේදනාවට පත් වුණා.

මේ අතරේ රජතුමා මේ සියල්ල බලාගෙන හිටියා. මෙම පිරිස වෙනුවෙන් මෙපමණ කැප කිරීමක් කළ මොහු මරන්න හොඳ නෑ. කියල හිතල පිරිස යොදවා බෝසතුන් පරිස්සමින් ගසෙන් ගෙන රාජ පුරුෂයන් ලවා තෙල් ගල්වා සනීප කළා.

රජතුමා ඇහුවා ඇයි ඔයතරම් කැපකිරීමක් කළේ කියලා. එවිට බෝසත්තුමා

“මම ඔවුන්ගේ නායකයායි. ඒ නිසා මා, ඔවුන් ව රැක ගන්න ඕනෑ. ඔබ ද රජකු ලෙස රටවැසියාට යහපත ම සලසන්න” කියලා අනුශාසනා කරමින් ම මිය ගියා.

රජු ඇමතිවරු යොදවා මිය ගිය බෝසත් වඳුරාට බොහෝ ගරු බුහුමන් කළා. මගෙ ආදරණීය දරුවො මේ කතාවෙන් ගත්ත ආදර්ශ මොනවාද?

තමන්ගෙ කෙනෙකුට කරදරයක් වුනා ම ඉක්මනින් උදව් කිරීම, ඒ සඳහා අවශ්‍ය නුවණ යොදා කටයුතු කිරීම (මෙහෙයවීම)

කවුරු කළත් හොඳ දේ අගය කිරීම, තමා වටා ඉන්න අයගෙ සිත් ශක්තිමත් කිරීම, වෛර කරන අයටත් වෙනසක් නැතිව උදව් කිරීමයි. එහෙත් අපට වෛර හෝ නරක කරනව වගේ වැටහුණොත් ඒ අයගෙන් දුරස්වීමටත් අපි නුවණැති වෙන්න ඕනෑ. අපේ ජීවිතවලට කාටවත් විනාශ කරන්න නොදෙන්නටත් වග බලා ගන්න ඕනෑ.

රජෙක් වුණත් යහගුණ දැකල සතුටු වෙන්නත්, අගය කරන්නත් එය තමන්ට ආදර්ශයක් කර ගන්නත් ඕන.

වැඳිය යුත්තන් වැඳීම, පිදිය යුත්තන් පිදීම සහ ගරු කළ යුත්තන්ට ගරු කිරීම

කියන ආදර්ශ රැසක් මේ කතාවෙන් ගන්න පුළුවන් නේද දරුවනේ.