Print this Article


පින් රුව දිලුනා . . .

පින් රුව දිලුනා . . .

නිහඬ සිතින් නිසල ව දෙනුවන්
දුර ඈත සඳයි දිලෙනා නිල්වන්
පින් කෙත පින් සිත් දැහැනෙන්
සසර පිනෙන් පින් වැඩු අම්මා
පින් කෙත ම ය සසරේ අපෙ අම්මා...

සිහින් හඬින් නිලුපුල් වදනින්
දෙසවන් මිහිරෙන් ඉහිරූ
බැඳුණු සෙනේහේ උණුහුම රහසේ
පුතු ළයෙ කඳුළැලි බිඳු රන්දා
ඒ කඳුළේ පින් රුව දිලුනා...

පුංචි දෙපා පොඩි සියුමැලි රන්වන්
නිසල ව නිල්වන් නිල් නදියේ
සිහින් හඬින් දෑඟිලි රන් පාටින්
සෙනෙහේ උණුහුම ම ය සෙව්වේ
ඒ කඳුළට උණුහුම ම ය දැනුණේ

භව ගමනේ දවනා ගිනි දැල්
සන්සුන් ගමනින් සිඳලූ සිත් මල්
සැම නැති වෙන බව පවසන පියුමන්
වැඳ සමුගන්නෙමි රුව ළඟ කඳුළින්...

මුව රැඳි හසරැලි සුවඳ පිරුණු මල්
මිරිඟුව වී යයි බිඳි බිඳි සිහිනෙන්
නිලඹර සුසිනිඳු පහන් සිළක් වී
නොරැඳෙන සිහිලැල් මුදු පවනින්
නිවන් සුවයෙ සැනසුමෙ සැනසේවා
පෝදා බබළන රන් පුන් සඳ විලසේ...

(2024.04.05 වන දින වියෝ වූ අම්මා ගැන පුතෙකුගෙනි)