Print this Article


සංඝසෝභන ගුණ සුපූජිත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණෝ

සංඝසෝභන ගුණ සුපූජිත

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමිපාණෝ

තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසලමුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාට සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි යන දම්පතීන්ට දාව වර්ෂ 1944 ක්වූ මැයි මස 30 වැනි දින අප මහානායක මාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූහ.

වර්ෂ 1957ක් වූ ජූනි මස 10 වැනි දින අතිගෞරවාර්හ පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ද ආචාර්‍යත්වයෙන් මල්වතු මහාවිහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී තිබ්බටුවාවේ සුමංගල යන නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

පැවිදිවීමෙන් අනතුරුව මල්වතු මහා විහාරයීය ශ්‍රී සංඝරාජ මහ පිරිවෙණට ඇතුළත් ව අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහනාහිමි, අතිගරු විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මහනාහිමි, රාජකීය පණ්ඩිත ගරුතර පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි මල්වතු මහා විහාරාධිවාසී රාජකීය පණ්ඩිත ගරුතර රත්නින්දේ අනෝමදස්සි නාහිමි ඇතුළු ප්‍රවීණ ඇදුරු මඩුල්ලක් යටතේ ස්වකීය අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළහ.

අනතුරුව ව්‍යවහාර වර්ෂ 1964 ක්වූ ජූනි මස 10 වැනි දින ඓතිහාසික මල්වතු මහා විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී වාහලනාග නාමයෙන් අධිශීල ශීක්ෂා සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

උන්වහන්සේ විසින් සිදුකරන ලද හා සිදුකරනු ලබන උදාරතර ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ අතිශය චිත්තප්‍රසාදයට පත් අතිගරු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහා නාහිමියෝ වර්ෂ 1968 දී තිබ්බටුවාවේ සුමංගල හිමියන් මල්වතු මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ සාමාජික ධූරයකට පත් කොට වදාළහ.

කිසිදිනෙක තනතුරු තුළින් තමන් බබුළුවා ගැනීමට උත්සාහ නොකළ උන්වහන්සේ වෙත විවිධ තනතුරු නිරායාසෙයෙන් ම ගලා එන්නට විය.

අතිගරු රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්සි මහනාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ සවිසිවන ශ්‍රීමත් මහානායක පදවියට ගරුතර කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් වර්ෂ 2004 ක්වූ ජූනි මස 20 වන දින උන්වහන්සේ තේරී පත්වූහ.

තම දිවි මගෙහි අසූ විය සපුරන අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේට තව තවත් උදාරතර ලෝක ශාසනික සේවාවක් සිදු කිරීමට උතුම් වූ ත්‍රිවිධ රත්නයෙහි බලමහිමයෙන් අසිරිමත් දළදා සමිඳු ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී, සුවය හා දීර්ඝායුෂ ලැබේවා'යි ප්‍රාර්ථනා කරමු.