Print this Article


ධම්මපදය කියන්නේ ජීවිතයේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තිබෙන තැනක්

ධම්මපදය කියන්නේ ජීවිතයේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තිබෙන තැනක්

දෙස් විදෙස් නායකත්ව පුහුණුකරුවකු ලෙස කීර්තිධර දීපාල් සූරියආරච්චි කෘතහස්ත ලේඛකයෙකි. බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය ලෙසින් සම්භාවනාවට පාත්‍ර වූ “ධම්මපදය” ඔහු විසින් ගී බසින් පෙළගස්වනු ලැබ ඉතා ආස්වාදනීය ලෙස “ළමා අපට ධම්මපදය” අගනා ධර්ම පුස්තකයක් ලෙස අපේ ළමා පරපුරට තිළිණ කොට තිබේ. මෙහි අලංකාර සිතුවම් නිර්මාණයෙන් දායක වී තිබෙන්නේ ලෝක පූජිත ළමා ගත් කතුවරියක වන සිබිල් වෙත්තසිංහයෝ ය. මේ ලිපිය ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි

සරල සුගම බස්වහරින් ළමයාට අමතමින් ජීවිතයේ පාඩම ධම්මපදය තුළින් ලබාදීමේ වටිනාකම හඳුනාගත්තේ කොහොමද?

මගේ පළමු වැටුපෙන් මම ගත්ත පොත තමයි ධම්මපදය. ඒ 1980 දී පමණ. මට හරි ආශාවක් තිබුණා මේ ධම්මපදයේ ගාථා සියල්ල කටපාඩම් කරගන්න ඕනෑ කියලා. ජීවිතයේ හැම කාලයට ම ප්‍රයෝජන ගත හැකි දහම් උපදෙස්වලින් මේ පොත පිරී තිබෙනවා. බොහෝ අවස්ථාවල මට තේරුණා සමහර ගාථාවල තේරුම ළමයින්ට අවබෝධ වෙන්නේ නෑ කියලා. උදාහරණ ලෙස අපි අනුන්ගේ වැරැදි කුල්ලෙන් පොළලා විසුරුවනවා වගේ කීවට දැන් ඉන්න බොහෝ ළමයි කුල්ල දැකලත් නෑ. දහයියා දැකලත් නෑ. පොළනවා දැකලත් නෑ.

පාසලේ දී උගන්වනවාට වඩා සජීවී බවක් ධම්මපදය තුළ මා දැක්කා. ඒ සජීවී බව ළමයින් අතරට ගෙන එන්නටයි. “ළමා අපට ධම්මපදය” වඩාත් ප්‍රයෝජනවත් ගාථා කිහිපයක එකතුවක් ලෙස සංග්‍රහ වන්නේ.

සෑම ශිෂ්ටාචාරයක ම අනාගතය රැඳී තිබෙන්නේ ළමයි හැදෙන්නේ කොහොමද කියන එක මත. කෙනකුගේ චරිතය හැඩගැසෙන්නේ ම ළමා කාලයේ දී. ළමයා හැදීගෙන එන කාලෙ දැක්කේ මොනවාද? අත්වින්දේ මොනවාද? ඒ ළමයා ලොකු වෙනකොට එය අපට දැක ගන්නට පුළුවන්. අපි මොනවද ළමයින්ට දෙන්නේ ඒ දෙය තුළ අපේ අනාගතය ගලපාගන්න පුළුවන්.

හොඳම උදාහරණයක් කියන්නම්. දෙවන ලෝක යුද්ධය කාලේ හිටපු ජර්මන් ජාතික මිත්‍රයෙක් සමඟ මම ජර්මනියේ සංචාරයකට එක්වුණා. ඒ වන විට ඔහුට වයස අවුරුදු හැත්තෑ අටක් පමණ ඇති. එදා ඔහු ඒ ගමනට ආහාර රැගෙන ආවේ ඔහු ඉස්කෝලෙ යන කාලෙ කෑම ගෙන ගිය ටින් එකේ. ඔහු අලුත් දේට වියදම් කළේ නෑ. හරිම අරපිරිමැස්මයි. ඒ දෙවන ලෝක යුද්දෙ කාලෙ ඔහු ලැබු ආභාෂය. ළමයා අත්දකින සමාජ, ආර්ථික, සංස්කෘතික පරිසරය කුමක්ද? ඒ අය ලොකු වෙනකොටත් ඒ හැසිරීම් දකින්න පුළුවන්. ඒ නිසා අපි වැඩිහිටියන් හැටියට කල්පනා කරන්න ඕනෑ අපි වත් කරන පොහොරවලින් තමයි මේ ළමයි කියන ගස් හැදෙන්නේ. එතකොට තීරණය කරන්න ඕනෑ අපි ළමයින්ට දෙන්නේ පොහොර ද? වස ද? කියලා.

ළමයාගේ ලෝකය ආලෝකවත් කරන්නට ධම්මපදයේ උපයෝගිතාව කෙබඳු ද?

අපේ කැප්පෙටිපොල වීරයාට මරණ දණ්ඩනය දෙන මොහොතේ එතුමා තමන්ගේ ඉණේ රඳවාගෙන තිබුණු තල්පතක පිටපත් කළ ධම්පදය අරගෙන ‘මනො පුබ්බංගමා ධම්ම...’ කියන ගාථාව කියෙව්වා. ඉන්පසුවයි ඔහු මරණයට මුහුණ දුන්නේ. එවන් අභීත වීරවරයකුගේ පොෟරුෂය වර්ධනය කරන්නට ධම්මපදය මොන තරම් බලපාන්නට ඇතිද? හිතන්න. ඒ පණිවිඩය අපි අදටත් අරගෙන නෑනේ. අපි අද කොතැන ද ඉන්නේ. කොහේ හෝ තැනක අපට එය අතහැරී තිබෙනවා.

ධම්මපදය කියන්නේ ජීවිතයේ හැම ප්‍රශ්නයකට ම උත්තරයක් තිබෙන තැනක්. මේ තියෙන්නේ අහගෙන ඉඳලා රහත්බව ලැබූ ගාථා. ධම්මපදය අපෙන් දුරස්වීමට ප්‍රධාන ම හේතුව එය මිනිසුන් අතරට ගෙන යන ආකාරයයි. ඒ කියන්නේ විභාගයකට ලකුණු දීම සඳහා ධම්ම පදය පාඩම් කරන්න කීවා ම විභාගය ඉවර වුණා ම අමතක වෙනවා.

බොහෝ අය හිතන්නේ ධම්මපදය වැඩිහිටියන්ට කියලයි. එය ළමයින් අතරට ගෙන යාමේ සුවිශේෂී ක්‍රමයක් තිබෙනවා ද?

ධම්මපදයේ එන ‘අසාරෙ සාරමතිනො’ ගාථාව උදාහරණයට ගමු. එහි ගැඹුරු ම තේරුම ගත්තොත් සාර, අසාර යන්නෙන් කියැවෙන්නේ සසරට බැඳීම හා සසරෙන් මිදීමනේ. එහෙත් මූලික ම අවධිය ගත්තොත් එතැන දී අපට එය මෙසේ තේරුම් ගන්න පුළුවන්. ජීවිතයට වටිනාම දේ කාලය නේ. මේ කාලය මොනවට ද භාවිත කරන්න ඕනෑ කියන කතන්දරය ළමයාට දුන්නොත් කවදාහරි දවසක ඔහුට අර ගැඹුරු ප්‍රශ්නයට උත්තර හොයා ගන්න පුළුවන් වෙනවා.

එතකොට දුව හෝ පුතා හෝ අහනවා වේලාව වියදම් කරන්න ඕනෑ මොනවාට ද කියලා. ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරෙන් වැදගත් දේ තෝරන්නට ළමයාට ඉගැන්නුවොත්, ඔහු වැදගත් දේ තෝරා ගන්නට හුරු වෙනවා. ඒ හුරුව කවදා හරි දවසක ඔහුට වැදගත් ම දෙයට මීට වඩා ගැඹුරු තේරුමක් දෙන්න පුළුවන් තැනකට එනවා.

ඒ වගේම “අත්තානං උපමං කත්වා - න හා නෙය්‍යයන ඝාතයේ” කියන ගාථාව හරිම ප්‍රබලයි. ඔයා කැමැති ද? ඔයා කැමැති නම් අනෙක් කෙනාත් කැමැතියි. ඔයා අකැමැති දේ අනික් කෙනාට කරන්න එපා. ඒ වගේ සරල තැන ඉඳන් ගැඹුරු තැන්වලට යන්න පුළුවන්.

මේ විදිහේ සාකච්ඡාවලින් ධම්මපදය ළමයින් අතරට ගෙන ගියොත් ඒ ආදර්ශයෙන් තමයි ඔවුන් උස්මහත් වන්නේ. ඒ ජීවිත ආලෝකවත් වන්නේ.

අද ළමයින් සහ මවුපියන් අතර දුරස්ථ බවක් පෙනෙන්නට තිබෙනවා. සමහර ළමයින් අකීකරු බවට, අනුන්ගේ දුකක දී, කරදරයක දී අසංවේදී බවට සමාජයෙන් චෝදනා නැඟෙනවා. මේ තත්ත්වය තුළ අනාගතය අවධානම් නේද?

අද ළමයින්ගේ අවධානය රඳවා ගැනීමේ කාලය අඩුවීම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මොකද ඒ අවධානය වැඩිහිටියන්ගෙන් ඩැහැ ගැනීමට තිබෙන දේවල් වැඩියි. ඉස්සර අපට සින්දු මතක තිබුණේ ඇයි. ඒ කාලෙ අපට අහන්න තිබුණේ ගුවන්විදුලිය පමණයි. හැම තැන ම සින්දු ඇහුනේ නෑ. අද විවිධ නාලිකාවලින් අනන්තවත් සින්දු ඇහෙනවා. එතකොට ඒවා මතකයේ රැඳෙන්නේ නෑ. අනික ජනපි‍්‍රයවෙලා ටික දවසකින් ගිලිහිලා යනවා.

ඊළඟට යුට්යුබ්, මුහුණු පොත බලන්න පුරුදු වුණාට පස්සේ හැම මොහොතක ම අලුත් දෙයකට හිත ඉල්ලනවා. දැන් සොයා ගෙන තිබෙන ආකාරයට මේවා බැලුවාට පස්සේ ඩ්‍රොපමින් කියන හෝමෝනය ක්‍රියාත්මක වෙනවා. එතකොට යම් තෘප්තියක්, සතුටක් ලැබෙනවා. ඒ සතුට නැවත නැවත ලබන්න හිතෙනවා. ඒ වගේ තත්ත්වයකයි අද ළමයි හැදෙන්නේ.

ඉස්සර අපිට තිබුණ දේ මොනවාද? කිරි අම්මා, කිරි අත්ත බලන්න යනවා. නැන්ද, මාමගේ ගෙදර යනවා. හුළං පෙත්තක් කරකවනවා .පොල්පිති හරකෙක් හදාගෙන සෙල්ලම් කරනවා. ඒ හරකා පොල්පිත්තෙන් හැදුවත් ඇත්තම සතකුට වගේ අපි වතුර දුන්නා. කෑම දුන්නා. උදේට හවසට තැනින් තැන ගැට ගැසුවා.

දැන් ළමයින්ට තිබෙන අභියෝගය තමයි ඒ අයගේ නිර්මාණ හැදෙන්නේ වෙනම තලයක. ඇතැම් විට අපේ කාලෙට වඩා ඒ අය නිර්මාණාත්මකයි. ඒ ළමයාගේ අවධානය ගන්න මවුපියෝ, ගුරුවරු නිර්මාණාත්මක වෙන්න ඕනෑ. මම ළමා අපට ධම්මපදය කෘතියේ දී “යො සහස්සං සහස්සෙන” කියන ගාථාවට දුන්නේ මෙවැනි පැහැදිලි කිරීමක්.

නොයෙක් නොයෙක් ඉසව්වලින්
දිනන එක හොඳයි
ඒත් කුමට බැරි නම් තම
තුන් දොර හික්මවා ගන්න

මේ ගැන කතා කරන්නට පෙර අපට පුළුවන් ළමයින්ගෙන් මෙවැනි ප්‍රශ්නයක් අහන්නට. විවිධ තරගවලින්, ක්‍රීඩාවලින්, විවිධ හැකියාවන්ගෙන් ජනපි‍්‍රය වූ අය ඉන්නවා. ඒත් ඒ සමහර අය තමන්ගේ හැසිරීම් පාලනය කර ගන්න බැරි ව විශාල ලජ්ජාවීම්වලට, ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ අය කවුද කියලා. සමහර විට අපට වඩා ළමයින් ඒ අයගේ නම්ගම් දන්නවා. අන්න එතැනින් තමයි ගාථාවට එන්න පුළුවන්. මම මේ කෘතිය ඉදිරිපත් කරන්නේ මවුපියන්ට, ගුරුවරුන්ට දන්න දෙයින් නොදන්නා දෙයට යන්න. සරල තැනින් සංකීර්ණ බවට යන්න.

මවුපියන්ට, වැඩිහිටියන්ට ගරු කිරීම සමාජයේ ශක්තිමත් පැවැත්මට හේතු වනවා. ඒ වගේ ම එය සම්බුදු දහම තුළ නිරන්තරයෙන් ඇගයෙන ගුණ ධර්මයක්. ගරු කළ යුතු අයට ගරු කරන දරුවෙක් හදා ගන්නේ කොහොමද?

අද ළමයි ඉස්සරට වඩා දැනුම්වත්. ඒ අය ළඟ තොරතුරු තියෙනවා. ඒ වගේ ම සංවේදියි. සංවේදියි කියන්නේ ඒ අය දේවල් ඉවෙන් වගේ දැන ගන්නවා. එතකොට මවුපියෝ, ගුරුවරු, වැඩිහිටියෝ ඔය කියන තරම් ම හොඳ නැතිනම් ඒ අයගෙන් ගෞරවය ලබා ගන්න බැරි වෙනවා.

ඒ වගේ ම මවුපියන් කරන කියන දේ ළමයින්ට එපා කීවා ම දරුවො ඒක පිළිගන්නේ නෑ. ඒ අය ප්‍රශ්න කරනවා. අම්මා තාත්තා කරනවා නම් ඇයි මට එපා කියන්නේ කියන තැන අද බොහෝ ළමයි ඉන්නේ. අපේ කාලයේ තිබුණු ආකෘතිය උඩ අපට ප්‍රශ්න කරන්න ම ඉඩ නැහැනේ.

ඒ වගේම දැන් ළමයි අපේ කාලෙට වඩා බොහෝ දේ දකිනවා. මම දැකලා තියෙන විදිහට ඒ ළමයින්ට තේරුණොත් තමන්ගෙ අම්මා, තාත්තා, මගේ ගුරුතුමා ඇත්තට ම හොඳ කෙනෙක් කියලා ඒ ළමයි පුදුම විදිහට ආදරේ වෙනවා. ගෞරව කරනවා.

ඇතැම් පිරිස් ළමයින්ට චෝදනා කරනවා දැන් කාලෙ ළමයින්ට කිසිම හැදියාවක් නෑ. සංවරකමක්, ඉවසීමක් නෑ කියල. ඒ අය අතර ඔබ තුමා ඉන්නේ මොන පැත්තේ ද?

දැන් ළමයි මුහුණ දෙන අභියෝග ටික අපේ වයසේ අයට ඒ කාලෙ තිබුණේ නෑනේ. ඒ කාලේ එහෙම තිබුණා නම් අපිත් ඉන්නෙ අද ළමයා ඉන්න තැන ම තමයි. මම හිතන්නේ ඒක හරිම පටු අදහසක්. ළමයින්ට මොකුත් කියන්න බෑ. මොකද ළමයි පරිහරණය කරන සියලුම දේ වැඩිහිටියන් විසින් නිර්මාණය කළ ලෝකයේ තියෙන දේවල් නේ. එතකොට ඒ ළමයි වැරැදියි කියලා අපට කියන්න බෑ. කළ යුතු හොඳ ම දේ ළමයි හැදෙන වැඩෙන පරිසරය යහපත් ව නිර්මාණය කිරීමයි. ඒ වගකීම තියෙන්නේ වැඩිහිටියන්ටයි.