Print this Article


බුදු සමයේ විග්‍රහ වන යෞවනය

බුදු සමයේ විග්‍රහ වන යෞවනය

"තරුණ කාලයේ බඹසරව ජීවත්නොවී ධනය රැස් නොකොට වයසට ගිය පසු දිය සිදුණ මසුන් නැති විල් තෙරක තැවෙන මහලු කොස්වාලිහිණියෙක් මෙන් පසුතැවෙන්නට සිදුවන බවයි. තවදුරටත් උන්වහන්සේ මේ ආකාරයට දේශනා කර තිබෙනවා. බඹසරව ජීවත් නොවී, ධනය රැස් නොකොට, මහලු වියට පත් වූ විට දුන්නෙන් විද බිම වැටුණු ඊතලයක් මෙන් තමන් පෙර කළ කී දේ සිහි කරමින් සුසුම් හෙළමින් ජීවත්වීමට සිදුවෙනවා"

බුදු දහමෙහි යෞවනත්වයට හිමි වන්නේ උසස් තැනක්. “යෞවනා” කියන්නේ සංස්කෘත භාෂාවේ භාව තද්ධිතයට අයත් පදයකි. එය යෞවනත්වය කියා සිංහල භාෂාවට ගෙන තිබෙනවා. මෙයට පාලියෙන් කියන්නේ “යොබ්බන” කියායි. එහිදී එය විග්‍රහ කරන්නේ “යුවස්සභවො” යනුවෙන් “තරුණ බව“ නැත්නම් තරුණකම යන්න එහි අර්ථයයි.

යෞවනත්වය හැඳින්වීමට තවදුරටත් ව්‍යාකරණමය විග්‍රහයක් අවශ්‍ය නැත. කෙසේ වෙතත් මනුෂ්‍ය ජීවිතයේ උසස් තත්ත්වයක් ළඟා කර ගැනීමෙහි ලා සංධිස්ථානය තරුණ කාලයයි. යොවුන් සමයයි.

දහමෙහි ප්‍රථම වයස වශයෙන් සඳහන් කරන්නේ තරුණ කාලයයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ සමචිත්ත වග්ගයේ ඒ බව මේ ආකාරයෙන් සඳහන් වෙලා තිබෙනවා.

යුවා සුසුකාලතෙසා
භ දොන යොබිබනෙන

සමන්නාගතො පඨමෙන වයසා” තරුණකම ඇති, මනාව කළු වූ කෙස් ඇති සොඳුරු යොවුන් විය ප්‍රථම වයසයි යන්න එහි තේරුමයි.

ප්‍රථම වයස කියන එකේ සරල අදහස වන්නේ අවුරුදු සියයක් හෝ ඊට අඩු ආයුෂ ඇති ජීවිතයක මුල් අවුරුදු තිස්තුනයි. යොවුන් වියේ දී පුද්ගලයාට කායික ශක්තිය, මානසික ශක්තිය වගේ ම විඳ දරා ගැනීමේ හැකියාව වැඩියි. ඔහුට වෙහෙස මහන්සි වී ක්‍රියාශීලී ව වැඩ කළ හැකියි. වැඩ කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ එය මේ ආකාරයෙන් අපට පෙන්වා දී තිබෙනවා.

අචරිත්වා බ්‍රහ්මචරියං
අලද්ධා යොබ්බනේ ධනං
ජිණ්ණ කොඤ්චාච ඣායන්ති
ඛීණමච්ජේව පල්ලලේ”

තරුණ කාලයේ බඹසර ව ජීවත් නොවී ධනය රැස් නොකොට" වයසට ගිය පසු දිය සිදුණ මසුන් නැති විල් තෙරක තැවෙන මහලු කොස්වාලිහිණියෙක් මෙන් පසුතැවෙන්නට සිදු වන බවයි.

තවදුරටත් උන්වහන්සේ මේ ආකාරයට දේශනා කර තිබෙනවා. බඹසර ව ජීවත් නොවී, ධනය රැස් නොකොට, මහලු වියට පත් වූ විට දුන්නෙන් විද බිම වැටුණු ඊතලයක් මෙන් තමන් පෙර කළ කී දේ සිහි කරමින් සුසුම් හෙළමින් ජීවත්වීමට සිදුවෙනවා.

තවදුරටත් සඳහන් කරනවා නම් යෞවනත්වය පිළිබඳ විග්‍රහකිරීමේ දී ඒ හා බැඳී පවතින ප්‍රේමය ද මඟහැර ගිය නොහැකියි. බුදු දහමෙහි ප්‍රේමය කියන මනෝභාවය විග්‍රහ කරන්නේ ලෝභය කියන අකුසල මූලය පදනම් කොට ගෙනයි. වෙනත් විදිහකට කියනවා නම් ප්‍රේමයේ මුල ලෝභයයි. ලෝභය කියන්නේ අරමුණුවල ඇලෙන ස්වභාවයයි. අලුත් මස් වැදැල්ලක් නැවුම් භාජනයේ ඇලෙනවා වගේ සිත අරමුණුවල ඇලෙනවා. චතුරාර්ය සත්‍යයේ සමුදය නමින් වදාළේ මේ ලෝභයයි. රාගය, ආශාව, ඇල්ම, ආදරය, ලෙන්ගතුකම, ආලය, බැඳීම, අනුරාගය, ස්නේහය, තණ්හාව, කාමය නමැති වචනවලින් හඳුන්වන්නේ ද ප්‍රේමයයි. මේ අයුරින් ප්‍රේමය කියන මනෝභාවය පුද්ගලයා තුළ විවිධ ස්වරූපයෙන් පැන නඟිනවා.

මවුපියන් දරුවන් කෙරෙහි දක්වන ආදරය, තරුණ තරුණියන් අතර අන්‍යොන්‍ය වශයෙන් ඇතිවන ප්‍රේමය ආදී වශයෙන් ප්‍රේමයෙහි යම් යම් මට්ටම් තිබෙනවා.

රූමත්, දුප්පත් ස්ත්‍රියක් දකින පොහොසත් පුද්ගලයකුට කරුණාව පදනම් කොටගෙන ම වෙනත් විදිහකට පහළ වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ලස්සන රූපයකින් සහ මිහිරි කටහඬකින් යුතු තරුණ භික්ෂුවක් දකින යම් කාන්තාවකට එම භික්ෂුව කෙරෙහි පැහැදීමේ ස්වරූපයෙන් නැතිනම් ශ්‍රද්ධාවේ ස්වරූපයෙන් රාගයක්, ප්‍රේමයක් උපදින්න ඉඩ තිබෙනවා. මේ ආකාරයට ප්‍රේමය කියන මනෝභාවය, ශ්‍රද්ධාව, කරුණාව, සහ මෛත්‍රිය ආදී ස්වරූපවලින් සිත තුළ හටගන්න ඉඩ තිබෙනවා. මේ බව පෙළ දහමෙහි සඳහන් ව තිබෙනවා.

පේමතො ජායතී සොකො
පේමතො ජායතී භයං
පේමතො විප්ප මුත්තස්ස
නත්ථි සොකො කුතො භයං

ප්‍රේමයෙන් සෝකය හටගන්නවා. ප්‍රේමයෙන් භය හටගන්නවා. ඒ නිසා ප්‍රේමය නැති කෙනාට ශෝකයත්, බයත් කොහෙන් හටගත්න ද? ප්‍රේමය කියන මනෝභාවය පිළිබඳ ව ධම්ම පදයේ සඳහන් වන්නේ මේ අයුරිනි.

ප්‍රේමය නිසා බය හෝ ශෝකය හෝ හට ගන්නවා කියලා බුදු සමයේ පෙන්වා දුන්නත් මේ සමාජයේ පැවැත්මට අනිවාර්යයෙන් ම ආදරය නැත්නම් ප්‍රේමය අවශ්‍ය වෙනවා. කෙනකුට ළමා වියේ දී මවුපියන්ගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් ආදරය උණුසුම හිමි වෙනවා.

නමුත් තරුණ වයසට පත්වුණාම තමන්ගේ කාන්සිය, පාළුව, හුදකලාව ආදී තරුණ සිතට එන මනෝභාවයන් මකා ගැනීමට තරුණයෙක් නම් තරුණියකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. මෙය ස්වභාවයෙන් සිදුවන දෙයක්. මේ දේවල්වලින් ඈත් වෙලා තරුණ තරුණියන්ට ඉන්න අපහසුයි. බුදු සමයට අනුව තරුණ තරුණියන් ප්‍රේම කරන එක කිසිම වරදක් නැහැ.

නමුත් ඔවුන් තමන්ගේ සීමාවන් හඳුනාගත යුතුයි. බඹසර රැකිය යුතුයි. අද සමාජයේ නාට්‍යයක් ගත්තත්, චිත්‍රපට කලාව ගත්තත් මේ සියල්ල සැකසී තිබෙන්නේ මිනිසුන්ගේ හදවත්වල නිදන්ගත ව තිබෙන කාමය, රාගය, ද්වේෂය අවුස්සන විදිහට. තරුණ පිරිස්වල ආවේගශීලීත්වයට පොහොර දාන ආකාරයට. මේ හේතූන් නිසා නූතන සමාජයේ තරුණ තරුණියන් හැම අතින් ම දුර්වල වෙලා, ඔවුන්ට ඉවසීමක් නැහැ. මේ මොහොත ගැනවත් හිතන්නේ නැහැ. අනාගතය ගැන සැලසුමක් නැහැ.

විශේෂයෙන් ම බුදු දහම පිළිබඳ නිවැරැදි අවබෝධයක් නැහැ. ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණදෙන්නට බැහැ. ඒවායින් පැන යාමට උත්සාහ කරනවා. මේ දුර්වලතා නිසා ම ප්‍රේමය කියන මනෝභාවය හමුවේ අද තරුණ තරුණියන්ගේ අදක්ෂතාව කැපී පෙනෙනවා. අදක්ෂතාව එක්තරා ආකාරයකට අකුසලයකට හේතු වෙනවා. වර්තමාන සමාජයේ විශ්වවිද්‍යාලවල, උසස් අධ්‍යාපන ආයතනවල, රැකියා ස්ථානවල ගාන්ධර්ව ස්වරූපයෙන් ප්‍රේම අන්දර ආරම්භ වෙනවා. තමන්ගේ අදක්ෂතාව නිසා නිත්‍යනුකූල විවාහ ජීවිත විනාශ කර ගන්නවා. විවාහ වීමට පෙර ජීවිත විනාශ කර ගන්නවා. එනිසා පංචශීලයේ තෙවන සිල්පදය සුරක්ෂිත කිරීමෙන් සදාචාර සම්පන්න ජීවිතයකට මඟ සලකුණු විවර වෙයි.