Print this Article


ප්‍රඥා ඇසින් ලෝකය දකින්න

ප්‍රඥා ඇසින් ලෝකය දකින්න

කෙනකුට ප්‍රඥා ඇස පහළ කර ගැනීමෙන් මුළු විශ්වය ම දැකීමට පුළුවන්කමක් ඇත. එය ලොව්තුරා බුදුහිමි සිදු කළහ. එතුළින් බුදු හිමි විශ්වය හා සත්වයා පිළිබඳ විනිවිද දුටහ. ප්‍රඥා ඇස දියුණු කර ගත් බුද්ධශ්‍රාවක පිරිස් ද ලෝකය පිළිබඳ විනිවිද දුටු ආකාරය එම චරිත කතා තුළින් පැහැදිලි වේ. බුදුරදුන් ප්‍රඥා ඇස තුළින් “අෂ්ට විද්‍යා” පසක් කර ගත් ආකාරය ඉතා පැහැදිලි ය

මිනිසුන්ගේ ඉන්ද්‍රියයන්වලට ගැටෙන, දැනෙන, හැඟෙන, ආරම්මණවලට ගෝචර වන සීමාවක් ඇත. එතැනින් එහා දැකීමට හෝ දැන ගැනීමට තරම් පුහුදුන් සත්වයා ප්‍රඥාවන්ත නොවේ.

අද නවීන ලෝකය තුළ කැමරා භාවිතය සිදුවේ.

එය අද බොහෝ දුරට සොරු ඇල්ලීමට හා දූෂණ භීෂණ වළක්වා ගැනීමට විවිධ තැන්වල භාවිත වන තාක්ෂණ උපකරණයකි. නමුදු එතුළින් වුව ද දැකිය හැක්කේ එයට ගෝචර වන සීමාව පමණි. එය ඇත්තෙන් ම ආයතනයකට, කාර්යාලයකට මිනිසුන් බහුල ව ගැවසෙන ස්ථානයකට තරමක් දුරට හෝ භෞතික වස්තූන් හා ජීවිත රැක ගැනීම උදෙසා උපකාරී වේ.

මනස නොදියුණු මිනිසුන්ට කැමරාව තරමක් දුරට හෝ ප්‍රයෝජනවත් වේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන පංච ඉන්ද්‍රියන්වලට නිතර ගැටෙන්නේ යම්කිසි සීමාවක් තුළ පවතින දේ පමණි. එය සිදු වන්නේ තමන්ගේ කැමැත්ත පරිදි නොවේ.

සොරමුලක් ජීවත්වන තැනකට නිරන්තරයෙන් කැමරාව අවශ්‍ය වේ. තමන්ගේ ධන සම්පත් රැක ගැනීම උදෙසා එය උපකාරී වේ. නමුදු හොරුන්ගෙත් හොරු කම්බ හොරුන්ට එම කැමරාව එතරම් බලගතු දෙයක් නොවේ. ඔවුන් කැමරාවටත් හොරා හොරකම් කිරීම හා විවිධ දූෂණ භීෂණ වගේ ම අකටයුතුකම් ද සිදු කරනු ඇත. ඔවුන් හොරකම් කරන අතර ආයතනයක හෝ කාර්යාලයක ප්‍රධානියාගේ මනසත් වෙනස් කරනු ඇත. ඔවුන් හොරකම් කරමින් එහි චෝදනාව නැති කර ගැනීම උදෙසා කරන ලොකු ම වරද නම් වරදක් නැති අයට නැති චෝදනා ගොනු කොට කේලාම් වශයෙන් කීම ය.

කේලාම් කීමේ අනිසි ප්‍රතිඵල පිළිබඳ බුදුරදුන් දේශනා කොට ඇත. අනුන් මුළා කරන අදහසින් ඇති දෙය නැත යැයි ද, නැති දෙය ඇත යැයි ද, වූ දෙය නොවූයේ යැයි ද කීම කේලම් කීමයි. එය සිදුවන ආකාරය අංග සතරකින් දේශනා කළහ.

කියන කරුණ බොරුවක් වීම, අනුන් රවටන අදහස, ඇඟවීමේ උත්සාහය, අනෙකා කී දෙය තේරුම් ගැනීම ය.

කේලාම් අහන්නා ප්‍රඥාවන්තයෙක් නොවේ නම්, කියන ඕනෑම දෙයක් පිළිගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට ද පෙළඹෙනු ඇත. නමුදු එහි විපාකය විඳීමට සිදුවන්නේ කේලාම් කියන අයට පමණක් නොව කේලම් අසා ඒවාට තීරණ ගන්නා උදවියටත් සමඟ ය. ඒවාගේ විපාක දැන ගැනීම අද සමාජයේ කේලම් තුළින් පුද්ගල මනස දූෂණය කරන කාටත් වැදගත් වනවාට කිසිදු සැකයක් නැත.

නින්දාවට භාජනයවීම, අන්‍යයන් විසින් අවිශ්වාස කිරීම, දඬුවම් ලැබීම, මරණින් මතු නරකයෙහි ඉපිද අනේකවාරයක් දුක් විඳීම, ප්‍රේත ආත්මවල ඉපදීම, මිනිස් ලොව ඉපදුණහොත් නින්දා ලැබීම, තිරිසන් ආත්මවල ඉපදීම, මෝඩයකු වීම, දුප්පත් වීම, ගොළුවකු වීම, කට ගඳ ගැසීම, අශෝභන දත් ඇත්තෙක් වීම, මුඛ රෝගවලින් පෙළීම, අවලස්සන රූපයක් ඇතිව ඉපදීම, අවිශ්වාස කරන්නකු වීම හා අමිහිරි කටහඬ ඇත්තකු වීම. යනාදී නොයෙක් දුක්වලට මුහුණදීමට සිදුවනු ඇත.

සොරුනට ඊළඟ ආත්ම ගැන බියක් නැත. ඔවුහු පව් පින් විශ්වාස නොකරති. නමුදු ජීවිතයේ කාලයක් ශ්‍රේෂ්ඨත්වයෙන් තම චරිතය රැකගෙන ආ මිනිසකුට එය බලපානු ඇත. කාලයක් පවත්වා ගෙන ආ ශ්‍රේෂ්ඨ චරිත සොරු නිසා රාග, දෝෂ, මෝහ ආදී අකුසල් සිතුවිලි තුළින් දූෂණය කර ගැනීම අනුවණ ක්‍රියාවකි. මුළු ජීවිතය ම කනපිට හැරවීමට සොරුන්ට සුළු මොහොතකින් පුළුවන. එතුළින් සිදුවන්නේ උත්තමයන්ගේ ජීවිතවලට හානි කර පව් පුරවා ගැනීම නොවේ ද?

කෙනකුට ප්‍රඥා ඇස පහළ කර ගැනීමෙන් මුළු විශ්වය ම දැකීමට පුළුවන්කමක් ඇත. එය ලොව්තුරා බුදුහිමි සිදු කළහ. එතුළින් බුදු හිමි විශ්වය හා සත්වයා පිළිබඳ විනිවිද දුටහ. ප්‍රඥා ඇස දියුණු කර ගත් බුද්ධශ්‍රාවක පිරිස් ද ලෝකය පිළිබඳ විනිවිද දුටු ආකාරය එම චරිත කතා තුළින් පැහැදිලි වේ. බුදුරදුන් ප්‍රඥා ඇස තුළින් “අෂ්ට විද්‍යා” පසක් කර ගත් ආකාරය ඉතා පැහැදිලි ය. එනම්, විදර්ශනා ඥානය, මනෝමය සෘද්ධි ඥානය, සෘද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රෝත ඥානය, පරචිත්ත විජානන ඥානය, පූර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්‍ය චක්ෂුර්භි ඥානය හා ආශ්‍රවක්ෂයකර ඥානය යි.

මෙම අෂ්ට විද්‍යාවලින් තුනක් විශේෂ ඥාන වශයෙන් “ත්‍රි විද්‍යා” නමින් දක්වා ඇත. එනම් පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත, ආශ්‍රවක්ෂය යන ඥාන තුන “ත්‍රිවිද්‍යා” යනුවෙන් වෙන් කොට ඇත. මෙම ඥාන ශක්තීන් බුදුහිමි තුළ පිරිපුන් ව තිබුණි. පෙර, පසු ආත්ම බැලීමේ ශක්තිය පුබ්බේනිවාසානුස්සති ඥානයයි. ආත්ම පන්සිය පනස් හතරක් ආපස්සට බැලූ ආකාරය පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුළින් අනාවරණය වේ.

පරචිත්ත විජානන ඥානය තුළින් අනුන්ගේ සිත් දැන ගැනීමේ ශක්තිය ඇත. බුදුහිමි ධර්මය දේශනා කිරීමේ දී අන් අයගේ සිත්වල ස්වභාවය අනුව එය සිදු කළහ. පේෂකාර දියණිය, රට්ඨපාල කුමරු, තෝදෙය්‍ය වැනි අයට ඔවුනගේ සිතුවිලි අනුව ම ධර්මය දේශනා කොට සතර මාර්ග හා ඵලවල පිහිට වූ ආකාරය ඉතා පැහැදිලි වේ.

දම්සක් පැවතුම් සූත්‍රය තුළ කොණ්ඩඤ්ඤ තාපසයා ධර්මය අවබෝධ කර ගත් බැවින් “චක්ඛුං උදපාදි” “ඤාණං උදපාදි” “ආලෝකෝ උදපාදි” වශයෙන් දේශනා කළහ. මෝහය නමැති අන්ධකාරය පහව ගොස් ප්‍රඥාව නැමති ආලෝකය පහළ වීම එහි ස්වභාවයයි.

ඊට පසු ලෝකය හා සත්වයා පිළිබඳ විනිවිද දැකීමට තරම් දියුණු ම කැමරාවක් බඳු තියුණු ම ඇස තමන්ට ලැබෙනු ඇත. එනම් ප්‍රඥා ඇසයි. එම ඇස බුදුරදුන් ලබා ගෙන තුන්ලෝකය ම පිළිබඳ විනිවිද දුටහ. එබැවින් යම් තරමකින් හෝ පුහුදුන් අපත් එම දියුණු ම කැමරාව වූ ප්‍රඥා ඇස ලැබීමට නිරන්තරයෙන් උත්සාහවත් විය යුතු ය. එය ලැබීම තුළින් සියලු ඉන්ද්‍රිය ගෝචර විඤ්ඤාණ ධාතුන් සමූල ඝාතනය කොට ලොව ඇති උතුම් ම සැපත වූ නිවන් සුවය ලැබීමට පුළුවන්කමක් ඇත.