Print this Article


ලෝකය ආලෝක කළ ප්‍රඥාවේ මහා ප්‍රදීපය

ලෝකය ආලෝක කළ ප්‍රඥාවේ මහා ප්‍රදීපය

ආගමෙන් හා දර්ශනයෙන් පොදුවේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුවට මාර්ගය දර්ශනයෙහි ඇතුළත් බව සසඳා බැලීමෙන් නිගමනය කළ හැකි ය.

එහෙත් ඒ දෙකෙන් ම දැක්වෙන්නේ ලෝකය හා සත්ත්වයා පිළිබඳ විවරණයයි. බුදුසමය ආගමක් හෝ දර්ශනයක් හෝ නොව ක්‍රියාමාර්ගයක් යැයි කියන්නෝ ද වෙති. මෙහිදී කිව යුත්තේ බුදුසමය ආගමක් යයි ද, දර්ශනයක් යයි ද, මාර්ගයක් යයි ද යන නිගමන සියල්ල ම සත්‍ය බවයි.

සංසාර විමුක්තිය බලාපොරොත්තු වන්නා විසින් ගමන් කළ යුතු නියම මාර්ගය බුදුරජාණන් වහන්සේ සොයා ගත්හ. උන්වහන්සේ එයට පා තබා, සෙස්සන්ටත් එය අනුගමනය කිරීමට ඉගැන්වූ සේක.

“තුම්හෙ හි කිච්චං ආතප්පං
අක්ඛාතාරෝ තථාගතා”

ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දඹදිව දර්ශනවාද, මතවාද, පරිණත ව පැවති අවස්ථාවක ය. ශරීරයට නානා ප්‍රකාර වද හිංසා දීමෙන් සංසාර විමුක්තිය ලැබිය හැකි යැයි එකල දඹදිව පහළව සිටි ඇතැම් ආගමික ශාස්තෘවරු දෙසූහ. එය අත්තකිලමථානු යෝගය නම් විය.

එහෙත් ඇතැම්හු ඒ අදහසට විරුද්ධ ව සංසාර විමුක්තිය ලබා ගැනීමට නම් කළ යුත්තේ ශරීරයට හැකිතාක් සැප දීම යැයි තර්ක කළහ. එය කාමසුඛල්ලිකානුයෝගය නම් විය. යමෙක් මළ පසු එය දිරා පොළොවට පස් වෙනවා මිස එය නැවත නූපදින්නාක් මෙන් මරණින් පසු පුලුස්සා දමනු ලබන ශරීරය නැවත නූපදී යයි තවත් කෙනෙක් පැවසූහ.

මෙසේ එකල දඹදිව පැවති සකල දාර්ශනික මතවලට ම වෙනස් වූ මතයක් බුදුරජාණන් වහන්සේ ලොවට ප්‍රකාශ කළ සේක.

යමක් සදහට ම එක සේ නොපවතී ද? වෙනස් වෙයි ද? එය අනිත්‍යය. අනිත්‍ය වූ විට එය දුකකි. ලොව වෙනස් වන සුලු ය. එම ලෝකයේ වසන ලෝකයාට ම අයත් සත්ත්වයා ද වෙනස් වෙයි. පංචස්කන්ධය ලෝකයකි. එය දැරීම දුකකි. එම නිසා සැප ලැබීමට නම් පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ පැවැත්ම නැති කළ යුතු ය. පංචස්ඛන්ධ සංඛ්‍යාත ලෝකයේ පැවැත්මට තෘෂ්ණාව හේතු වන බව ද, ස්කන්ධ පරම්පරාව හෙවත් සංසාරය නැති කිරීමට නම් තෘෂ්ණාව විනාශ කළ යුතු බව ද බුදුරජාණන් වහන්සේ ඉගැන්වූහ.

ලෝකය හා සත්වයා පිළිබඳ පරම සත්‍ය අවබෝධ කර ගන්නා ලද්දේ බුදුරජාණන් වහන්සේ විසින් ය. සෙසු ශාස්තෘවරුන්ගේ මනසට එය ගෝචර නොවීය. බුද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ එහි ඇති ලෝකෝත්තර තත්ත්වය නිසා යැයි සර් රාධා ක්‍රිෂ්ණාතුමා පැවසී ය.

දුක් සහිත සසරින් මිදී නිවන් පසක් කර ගනු කැමැත්තහු විසින් හීන වූ, නොසරුප් වූ, කාමසුඛල්ලිකානු යෝගයෙනුත්, හීන වූ, දීන වූ, ළාමක වූ, අත්ථකිලමථානුයෝගයෙනුත් ඈත් ව මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙහි දී ම දේශනා කළ සේක.

1. සම්මා දිට්ඨි 2. සම්මා සංකප්ප 3.සම්මා වාචා 4. සම්මා කම්මන්ත 5. සම්මා වායාම 6.සම්මා ආජීව 7. සම්මා සති 8. සම්මා සමාධි යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

ඈත අතීතයේ සිට ම උසස් චින්තකයන් හා ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරු ද පහළ වූයේ ඉන්දියාවෙහි ය. එහි එයට අවශ්‍ය දේශගුනය හා පරිසරය පවත්නා බැවිනි. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ උපත සිදුවූයේ ද උතුරු ඉන්දියාවෙහි වර්තමාන නේපාල රටට අයත් කපිලවස්තු නගරයේ ලුම්බිණි නම් සල් උයනෙහි දී ය.

මෙම ශ්‍රේෂ්ඨ සිද්ධිය වූයේ වෙසක් මස පුර පසළොස්වක පොහොය දිනයෙහි ය. එකල ශාක්‍ය ජනපදය පාලනය කළ සුද්ධෝදන මහ රජතුමා හා මහාමායා දේවිය සිදුහත් කුමරුන්ගේ මවුපියෝ වූහ. සිදුහත් කුමරු උපන් දින නැකත් හා ග්‍රහචාරය පරීක්ෂා කළ බමුණෝ එ කුමරු ගිහි ව සිටියහොත් සක්විති රජ වෙතැයි ද, පැවිදි වූවොත් ලොව්තුරු බුදු බව ලැබෙතැයි ද පැවසූහ.

කුමරු උපන් සතියකින් මහාමායා බිසව කළුරිය කළා ය. ස්වකීය පුත් කුමරු බුදුවීමට වඩා සක්විති රජකු වීම මැනවයි කල්පනා කළ සුදොවුන් රජතුමා ලෝකයේ දුක අවබෝධ වන අරමුණු හා සාමාන්‍ය ලෝක තත්ත්වය දැක ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට කුමරුට ඉඩ නොතැබී ය. එතුමාගේ පී‍්‍රතිය වැඩිදියුණුූ කරවනු වස් ඍතු තුනට සුදුසු මාලිගා තුනක් රම්‍ය, සුරම්‍ය, සුභ නමින් තැනවීය.

සොළොස් වියට පත් සිදුහත් කුමරු යශෝධරා නම් රූමත් ශාක්‍ය කුමරියක සමඟ විවාහ විය. මනුලොව පැවති උසස් ම ලෞකික සැප සම්පත්වලින් එතුමාට කිසිදු අඩුවක් නොවීය. එහෙත් සිදුහත් කුමරු තමාගේ ඇස් හමුවට පැමිණි සෑම දෙයක් ගැන තදින් පරීක්ෂා කරන්න පටන් ගත්තේ ය. කොතෙක් සුවපහසු වින්දත් තමන් කරා ද ජරා, ව්‍යාධි, මරණ පැමිණෙන බව කුමරුගේ සහජ නුවණට අවබෝධ විය.

දිනක් රජ මාලිගයෙන් බැහැර උයනට යන්නේ මහලු මිනිසකු හමු විය. තවත් වරෙක රෝගී මිනිසකු හා මළ සිරුරක් ද දිටීය. මීට පළමුව තමන් විසින් නොදක්නා ලද විරූ මෙම සතර පෙර නිමිති දැකීමෙන් සංසාර තත්ත්වය අවබෝධ විය. ඒවායෙන් මිදී ශාන්ත සුවය ලැබීමට නම් පැවිදි විය යුතු බව පැවිදි රුව දැකීමෙන් අවබෝධ විය.

යශෝධරාව, රාහුල නම් පුත්කුමරු බිහිකළ දිනයේ විසිනව වියෙහි සිටි සිදුහත් කුමරු සත්‍යය සොයා ගිහිගෙය අත්හැර පැවිදි විය. පැවිදි වූ පසු එකල ප්‍රසිද්ධ ව සිටි සියලු ම තවුසන් වෙත ගොස් ඔවුන්ගේ දර්ශන ඉගෙන ගත්තේ ය.

වියළි දරකඩකින් මිස අමු දරකඩකින් ගිනි දැල්විය නොහැක්කා සේ කාම රාගාදී කෙලෙස් දමනය නොකොට නිවන් මඟ අවබෝධ කර ගත නොහැකි යැයි වටහාගත් සිදුහත් කුමරු ආහාරපානාදිය නොගෙන ඉතා දැඩි උපවාසයක යෙදුණේ ය. මේ දුෂ්කර ක්‍රියාවෙන් ශරීරය කෙතරම් දුරට දුර්වල වී ද යත් මරණයෙහි දොරටුව කරා ළං වූවා සේ වැටහිණ.

දිනක් වසවත් මාර තෙමේ පැවිදිව දුෂ්කරක්‍රියා කරන සිදුහත් තවුසාණන් වෙත පැමිණ බැරි දේට උත්සාහ කොට අකාලයේ නො මැරී පෙරළා රජ මැඳුරට ගොස් කම්සුව වළඳන ලෙස කීවේ ය.

මට ශ්‍රද්ධාව, වීර්යය හා ප්‍රඥාව තිබේ. එසේ ඇති කල්හිම ජීවත් වීම පිළිබඳ කවර කතා ද? මේ සුළඟ ගංගාවල සැඩ දියවැල් පවා වියළවයි. මහත් වීර්යය කරණ කොට මාගේ ලෙය නොවියළවයි ද, ලේ සිඳෙත්ම සෙම් පිත්ද සිඳෙයි. මස් වියළෙත් ම සිත වඩ වඩා පැහැදිලි වෙයි. සතිය ප්‍රඥාව හා සමාධිය ද දියුණු වෙයි. සියලු උවදුරු (මාර සේනා) අමු මැටි බඳුනක් කළුගලකින් ගසා බිඳ දමන්නා සේ නුවණින් සුනු විසුණු කොට ඉදිරියට ගමන් කරන්නෙමි.

මෙම ප්‍රවෘත්තියෙන් සිදුහත් තවුසන් වෙත කෙතරම් උසස් චෛතසික බලයක් පැවතියේ ද යන්න වැටහේ. ටික කලකින් සිදුහත් තවුස් තෙම දරුණු උපවාසය අත්හැර මැදුම් පිළිවෙතෙහි ගමන් කරන්නට පටන් ගත්හ. මෙසේ උට්ඨාන වීර්යයෙන් යුක්ත ව සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කොට අන්තිමට සිතින් අවිද්‍යාව තුරන් කර ආලෝකය පහළ කර ගත්තේ ය. සිදුහත් තවුස් තෙම සම්‍යක් සම්බුද්ධත්වයට පැමිණ පන්සාළිස් වසරක් ලොවට හිතවැඩ පිණිස දහම් දෙසූහ. අසූ වියෙහි දී ලෝකය ආලෝක කළ ප්‍රඥා නමැති මහා ප්‍රදීපය අනිත්‍යතා නමැති සැඩ සුළඟින් වෙසක් පුරපසළොස්වක පුර හඳ පායා එන නිමේෂයේ දී නිවී ගියේ ය.