Print this Article


අකීකරු බව සැහැසිකමකි

අකීකරු බව සැහැසිකමකි

පරෙ ච න විජානන්ති - මය මෙත්ථ යමාමසෙ
යෙ ච තත්ව විජානන්ති - ත තො සම්මන්ත මෙධගා

“මේ කලහයෙහි දී අපි නැසෙමු යි” මා අවවාද කළත් කලහාකාරීන් (එය) නොදකිති. යම් කෙනෙක් එය දකිත් නම් එයින් කලහ සංසිඳේ. අනුවණයෝ මරණය කෙළවර කොට ඇති කෝලාහල කරති. අවවාද පිළිගන්නා නුවණැත්තෝ එය දැන කලහයෝ සංසිඳවා ගනිති.

මෙධගා යනු කලහයෝ ය. කෝලාහලකරුවෝ “අපි මරහු සමීපයට යමු’යි නොදනිති. නුවණැති කෙනෙක් එහි වෙත් නම්, මෙය දැන නුවණින් මෙනෙහි කොට කලහයන්ගේ සංසිදීම පිණිස පිළිපැද කලහයෝ සංසිඳවා ගනිති.

කෝපාග්නි වූ බැල්මෙන් ඇරඹෙන අරගලය “පුෂ් - පුෂ්’ යන හඬ මුඛය තුළ නඟමින් අනතුරු ව අමිහිරි වචන හුවමාරුවෙන් අත, පය දඬු, මුගුරු, මන්නා, කැති, කඩු අතට ගෙන කලහයට යති. වත්මන පිස්තෝල, තුවක්කු, බෝම්බ දක්වා මෙය වැඩි දියුණු වී ඔවුනොවුන් පටන් ගන්නා කෝලාහලය මරණය දක්වා ගෙන යති. එහෙත් නුවණැත්තා ආදීනව දැක එය සංසිඳවා ගනී.

වර්තමාන කතාව :– ඝෝෂිත සිටාණන් එදා කොසඹෑ නුවර ඉදිකළ ඝෝෂිතාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක. නව වැනි වස් විසීම සිදු වූයේ ද මෙම විහාරයේ දී ම ය. (ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද මෙම ස්ථානය හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගන්ධ කුටිය ද සලකුණු කොට වන්දනාකරුවන්ට වැඳ පුදා ගැනීමට ඉඩ සලසා ඇත)

බුදුරජාණන් වහන්සේ ජීවමානව ම වැඩ සිටි දවස්හි දිනක් මෙම විහාරයේ වැඩ සිටි විනයධර හා ධර්මකථික (සූත්‍ර + අභිධර්මධර) ස්ථවිරයන් වහන්සේ දෙනමක් අතර කතාබහක් ඇති විය. ධර්ම කථික ස්ථවිරයන් වහන්සේ වැසිකිළියට වැඩියෝ, සිරුර කිස නිම කොට, අතපය සෝදා බඳුනේ දිය ඉතිරි කොට නික්ම ආහ. මෙය සුළු වරදක් බව සම්මත වූවකි.

ඉන් ටිකකට පසු විනයධර ස්ථවිරයන් වහන්සේ එහි වැඩියෝ බඳුනෙහි තිබූ ඉතිරි දිය දැක ධර්ම කථික ස්ථවිරයන්ගෙන් ඒ ගැන ඇසූහ.

“ඔව් ! ඇවැත්නි! යි පිළිතුරු දින. කිම ඇවැත්නි, එයින් ඇවැත් සිදුවන බව නොදනිහු දැ? යි ඇසීය. “නොදනිමි” යි කීය. “ඇවැත්නි, මෙහි ඇවැත් (සුළු වරදක්) වේ යැයි විනයධර ස්ථවිර කීහ.

එසේ නම් මම එයට පිළියම් කරමි යි ධර්මකථික ස්ථවිර කීය. “ඔබ වහන්සේ එය නොදැන, සිහි මඳකමින් කළා නම් ඇවැත් නැතැයි විනයධර ස්ථවිර නැවැත කී විට ධර්මකථික ස්ථවිර තෙමේ ඒ ඇවැතෙහි ඇවැත් නැතැයි සිතා ගත්තේ ය.

විනයධර ස්ථවිරයන්, ධර්මකථික ස්ථවිරයන්ට එසේ කියා පසුව තම අතවැස්සන්ට “අර අපගේ ධර්මකථිකයා ඇවැතට පැමිණ ද, ඒ ඇවැත නොදනී’ යි කීය. එවිට ඒ අතවැසි භික්ෂූහු ධර්මකථික තෙරුන්ගේ අතවැස්සන්ට ඔබ වහන්සේගේ ගුරුවරයා ඇවැතට පැමිණ ද ඇවැත නොදනී’යි නිග්‍රහ කළහ. ඔවුහු සිය ගුරුන් වෙත ගොස් එය දැන්වූහ. එවිට ධර්මකථික ස්ථවිරයන් වහන්සේ “මේ විනයධරයා මුලදි ඇවැත් නැතැයි කියා දැන් ඇවැත් යැයි කියයි. මොහු බොරු කියන්නෙකැයි සිය අතවැස්සන් ඉදිරියේ කීයේ ය. එවිට ඔවුහු විනයධර ස්ථවිරයන්ගේ අතවැස්සන් ළඟට ගොස් “ඔබ වහන්සේගේ ගුරුවරයා බොරු කියන්නෙකැ’යි නිග්‍රහ කළහ. මෙයින් දෙපස අතර කෝලහලයක් හට ගත්තේ ය.

මේ අරගලය ඉදිරියට ගියේ විනයධර ස්ථවිරයන් විසින් ධර්මකථික ස්ථවිරයන්ට උක්ඛේපනීය කර්මය වැරැදි කළ භික්ෂුවක් ඒ වැරැද්දට පිළියම් කර ගන්නා තුරු සංඝයා විසින් බැහැර කිරීමේ විනය කර්මයක්) කළේ ය. මෙතැන් සිට ඔවුන්ගේ ප්‍රත්‍යය දායකයෝ ද, උපස්ථායකයෝ ද, භික්ෂූහු ද, දෙවියන් බඹුන් ඇතුළු සියලු පෘථග්ජනයෝ ද දෙපසට බිඳුණා හ. මෙසේ දියුණු ව ගිය මේ අරගලය එක් භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙතට ගොස් දන්වා සිටියහ. ඒ ඇසු බුදුරජාණන් වහන්සේ “සමගි වවු’යි දෙවරක් ම ඔවුන්ට දන්වා වදාළ සේක. එහෙත් ඔවුහු සමගි නොවූහ. එවිට ඔවුන් වෙත වැඩම කොට විනය කර්මය පැනවීමෙහි වරද ද, ඇවැත් නො දෙසීමෙහි වරද ද වදාරා දෙපසට ම එක් සීමායෙහි වෙන වෙන ම පොහොය කිරීමට ද, දාන ශාලායෙහි හිඳිනා විට අසුනක් හැර අසුනක් හිඳීමට ද නියම කොට වැඩි සේක. එහෙත් දබරය නොසංසිඳුණු බව අසා නැවැතත් වැඩම කොට මහණෙනි, කෝලාහලය දරුණු ය. නපුරු ය. කෝලාහල නොකරවු’යි ද, කලහ. විවාදයෝ මෙලොව පරලොව දෙකේ දියුණුව නසන්නෝ යැයි දේශනා කරමින් ලටුකික හා වට්ටක ආදි ජාතකයන් ද වදාළ සේක. එහෙත් ඔවුහු එය ද නොපිළිගත්හ.

එවිට තථාගතයන් වහන්සේ කලහය සංසිඳවීමට වන වෙහෙස දුටු අන්‍යතර භික්ෂු නමක් “ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සාහී වාසය කරන සේක්වා” යි කීයේ ය. මෙවිට ද තථාගත බුදුරජාණන් වහන්සේ “දීඝිති කෝසල ජාතකය” දක්වමින් මහණෙනි, යනුවෙන් ආමන්ත්‍රණය කොට දඬුගත්, අවිගත්, රජවරුන්ගේ පවා ඉවසීමත්, කීකරුකමත්, දුරදිග බැලීමත් මෙසේ නම් මාගේ සසුන් පිළිවෙතෙහි හැසිරෙන ඔබලා ඉවසන්නෝත් (සුළු කරුණකට මතභේද නොවිය යුතු ය) උනුන් කෙරෙහි ඇලුනෝත් වන්නහු නම් (කලක් ඇසුරු කළේ හොඳ නිසා ය) සුළු කාරණයකට ඒ ඇසුරු විනාශ නො කර ගන්න කොතරම් වටනේදැයි අවවාද කොටත් සමඟි කරන්නට නොහැකි වූ සේක.

එහිදී

“දැන් මම මොවුන් හා එක්ව වසන්නේ මා කියන්න නොපිළිගනිත්. මම මොවුන්ගෙන් වෙන් ව තනි ව වෙසෙමි’යි සිතා කොසඹෑ නුවරෙහි පිඬු සිඟා ගොස් භික්ෂූන් ගැන නොබලා පාත්‍ර සිවුරු ගෙන බාලකාලොණක නම් විහාරයට වැඩි සේක. එහි විසූ භග ස්ථවිරයන් වහන්සේට තනි ව හැසිරීමේ (ඒකචාරික වත) අගයන දේශනා කොට පාචීනවංසව වනයෙහි වැඩ සිටි අනුරුද්ධ. කිම්බිල, නන්දිය යන ස්ථවිරයන් වහන්සේට සමගියෙහි අනුසස් ද වදාළහ. (ම.නි. 1 චූළගොසිංග සුත්‍රය බලන්න.)

මෙම හමුවෙහි දී බුදුරජාණන් වහන්සේ අනුරුද්ධයෙනි. තෙපි සමගි ව වසන්නෙහි දැ යි ඇසු සේක්. “වහන්ස, අපි සිරුරෙන් වෙන්වී මුත් සිතින් එකකු වනැ’ යි කීහ. අනතුරුව බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍යක වනයට වැඩි සේක. දසවෙනි වස් කාලයෙහි පාරිලෙය්‍යක ඇත් රජුගේ උපස්ථාන ලැබ පාරිලෙය්‍යක වනයෙහි වස් විසූ අයුරු ප්‍රසිද්ධ කතා ය.

කොසඹෑ නුවර වැසියෝ ඝෝෂිතාරාමයට යන්නේ බුදුරජාණන් වහන්සේ නොදැක කරුණු විමසන්නේ එහි වැසි භික්ෂූන් වහන්සේගෙන් සියලු කරුණු දැන ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ මහණ ව සමගි වන්නට කියද්දීත් සමඟි නොවි කර ඇත්තේ මහා වරදකි. ඔබ නිසා අපට බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්නට, වැඳුම් පිදුම් කරන්නට, දහමක් අසා දැන ගන්නට නොහැකි වූහ. එනිසා “අපි මින් ඉදිරියට ඔබ වහන්සේ වෙනුවෙන් කිසිවෙක් නොකරන්නෙමු ය” යී කීයා ආදර සංග්‍රහ සියල්ල නවතාලූහ.

එයින් ආහාර පානාදිය නොලැබීමෙන් ක්ලාන්ත ව ගියාහු ටික දිනයකින් ම ඔවුනොවුන් වරද පිළිගෙන සමගි වූ මුත් වස් කාලය හෙයින් බුදුරජාණන් වහන්සේ හමුව වැඳ සමාව ගැනීමට නොහැකි වීමෙන් ඉමහත් දුකට පත්වූහ.

මේ අතර, බුදුරජාණන් වහන්සේ වනගත ව සිටින බවට අනේපිඬු විශාඛා ආදි මහ උවසු උවැසියන්ට හා ජන ප්‍රධානීන්ට ආරංචි වී ආනන්ද හිමියන් ප්‍රමුඛ පන්සියයක් මහණ පිරිස් එහි පිටත්කර යැවූහ.

එහිදි මේ සියලු මහ පිරිස් ද ඇතුගෙන් උපස්ථාන ලැබ පසුව බුදුරජාණන් වහන්සේ එ පිරිස් සමඟ සැවැත් නුවර දෙවුරමට වැඩි සේක. කොසඹෑ නුවර කලහකාරි භික්ෂුන් ද එහි එන බව කොසොල් රජුට ආරංචි වී ඒ ඒම වැළැක්වීමට පියවර ගත් විට ඔවුන් කළ වරද පිළිගෙන මා කමා කර ගන්නට පැමිණෙන හෙයින් ඒමට ඉඩ දෙන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අනේපිඬු සිටු ද දුශ්ශීලයන්ට මගේ විහාරයට ඇතුළුවීමට ඉඩ නො දෙමි’යි කීවේ තථාගතයන් වහන්සේ එය ද වළක්වාලූ සේක. පසුව විහාරයට ඔවුහු පැමිණිමුත් එහි රැස්වූවන්ගේ නිග්‍රහයට ලක් ව ලජ්ජාවෙන් හිස් පවා ඔසවන්නට නොහැකිව ම බුදුරජාණන් වහන්සේ වැඳ කමා කරවා ගත්හ. එහිදී කෝසම්බි ජාතකය ද වදාරා “මාගේ වචනය නොපිළිගැනීමෙන් ඔබ කළේ මහ සැහැසිකමකැයි ද දේශනා කරමින් ඉහත ගාථාවෙන් දහම් දෙසූ සේක. සම්ප්‍රාප්ත ව සිටි බොහෝ භික්ෂූන් වහන්සේ උතුම් සෝතාපත්ති ඵලයන්හි පිහිටියෝ ය.