අභිමානය උරුම
පිරුණු ජීවිතයකට යි
ඔබ වැඩියෙන් ම ආදරේ කාට ද?
කොසොල් රජතුමා දිනක් සවසක වීදි සංචාරයේ යෙදෙන අවස්ථාවක දී මහ මඟ දී දුටුවා මල්
කඩමින් සිටි බොහොම ලස්සන ගැහැනු ළමයෙක්. කොසොල් රජතුමාගේ සිතට අදහසක් ආවා. මේ වගේ
ලස්සන ගැහැනු ළමයෙක් මගේ අග මෙහෙසිය කර ගන්න ඇත්නම් කොපමණ හොඳ ද කියලා.
ඒ ගැහැනු ළමයා සිටි ප්‍රදේශය හොඳින් මතකයේ තබා ගෙන, වීදි සංචාරයෙන් පසු ආපසු රජ
මාලිගයට පැමිණියා. රජතුමා තමන්ගේ ඇමතිවරයෙක් කැඳවා අසවල් ප්‍රදේශයේ ගෙදරට ගිහින්,
එම නිවසෙහි මවුපියන්ට මා හමුවන්නට එන්න යැයි පවසන්න කියා පැවසුවා. පණිවුඩය ලද
මවුපියන්, දුප්පත් අප ගැන කවුරුන් හෝ රජතුමාට පැමිණිල්ලක් කරලා ද? නැතිනම් වෙනයම්
හෝ දෙයක් දැ යි තැති ගත්තා. බිය වුණා.
පසු දින එම මවුපියන් රජතුමා බැහැදකින්නට රජ මාළිගයට පැමිණියා. ඔවුන් පිළිගත් රජතුමා
“ඔබගේ තරුණ දියණිය මගේ අගමෙහෙසිය කර ගන්න කැමැති යැයි තම අදහස ඉදිරිපත් කළා.
දුප්පත් මවුපියන් රජතුමාගේ මේ ප්‍රකාශයෙන් පුදුමයට පත්වුණා. එය ඇත්තක් දැයි විශ්වාස
කිරීමට පවා අපහසු වුණා.
එසේ මල්ලිකා ව රජ මාලිගයට කැඳවා කොසොල් රජතුමාගේ අග මෙහෙසිය කර ගත්තා. කොසොල්
රජතුමා මල්ලිකා දේවියට හරිම ආදරයෙන් සැලකුවා. දිනක් කොසොල් රජතුමා මල්ලිකා දේවිය
සමඟ සුහද පිළිසඳරේ යෙදී සිටි අවස්ථාවක දී මෙසේ විමසුවා.
“මල්ලිකා, ඔබ ලෝකයේ වැඩියෙන් ම ආදරේ කාට ද? රජතුමාට අවශ්‍ය ව තිබුණේ “මම මේ ලෝකයේ
වැඩියෙන් ම ආදරේ ඔබතුමාට යැයි කියා මල්ලිකාවන්ගෙන් කියවා ගන්නයි. එහෙත් බලාපොරොත්තු
නොවූ ලෙස ඇය පිළිතුරු දුන්නී, “මුළු ලෝකෙන් ම මම වැඩියෙන් ම ආදරේ මට ම යි.”
යනුවෙනුයි. ඒ වගේ ම මල්ලිකා දේවිය පවසනවා “මා විතරක් නොවෙයි රජතුමනි, ඔබත් වැඩියෙන්
ම ආදරේ ඔබතුමාට තමයි කියා.
මේ ආකාරයෙන් මල්ලිකා දේවියගෙන් පිළිතුරු ලැබූ රජතුමාගේ හිතත්, මුහුණත් නරක් වුණා.
දුප්පත් ගෙදරක ජීවත් වු මල්ලිකා ව මම මගේ අග මෙහෙසිය කර ගත්තා. නමුත් ඇය මට ආදරෙයි
කියා කියන්නේ නැහැ. රජතුමා බලාපොරොත්තු වූ පිළිතුර ලැබුණේ නැහැ.
මල්ලිකා දේවියගේ වදන් යටි සිතේ තැන්පත් ව තිබූ කොසොල් රජතුමා, දිනක් බුදුරජාණන්
වහන්සේ මුණගැසෙන්න ගොස්, දේවිය පැවසු දේ බුදුරජාණන් වහන්සේට පවසා සිටියා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මල්ලිකාවගේ ඒ පිළිතුර නිවැරැදියි බවයි.
හොඳින් විමසා බලමු. අප සෑම කෙනෙක් ම ඇත්ත කතා කරනවා නම් තමන් වැඩියෙන් ම ආදරේ තමන්ට
ම යි. එයයි සත්‍යය. ඔබට මෙසේ පැවසුවොත්, තමන් පෙනී සිටි සමූහ ඡායාරූපයක් ඔබගේ අතට
ලැබුණ විට, ඔබගේ ඇස ක්ෂණයෙන් ම දුවන්නේ තමන්ගේ රුව සොයා නේද? ඒ ඇයි? තමන්, තමන්ට
ආදරය කරන නිසයි. ඔබ, ඔබට ආදරය කරනවා නම්, එසේ ආදරය කරද්දී, ඔබ නොදැනුවත් ව ඔබට
සතුරුකම් කරන බව ද අමතක කරන්න එපා.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී දේශනා කොට වදාරනවා. අපි ජීවිතයට ආදරේ නම් ඒ
ජීවිතය ආරක්ෂා කර ගන්නට අවශ්‍ය බව. රැක ගන්නට අවශ්‍ය බව. තමන්ට තමන් පි‍්‍රය නම්,
ආදරේ නම් එය ආරක්ෂා කර ගන්න අවශ්‍යයයි. රැක ගන්න අවශ්‍යය යි.
අපි ලැබු මේ මනුෂ්‍ය ජීවිතයේ අවස්ථා තුනක් තියෙනවා. ඒ ළමා විය, තරුණ විය හා මහලු
විය. මේ අවස්ථා තුන ම මැනවින් ආරක්ෂා කර ගන්නට අවශ්‍යයි.
තමන් ආදරේ තමන්ට ම නම් අපේ ළමා විය ආදරයෙන් රැක ගනිමින් ආරක්ෂා කර ගන්නට ඕනෑ. කුඩා
වියේ දී තම දරුවන්ට මවුපියන් මේ කරුණු අවබෝධ කර දිය යුතු වනවා. පුතේ, දුවේ තමාට
ආදරය කරන්න . ඇයි අපි එහෙම ඉගැන්විය යුත්තේ. ඒ ළමා විය හොඳින් හැඩගස්වන්නටයි.
හොඳින් මහන්සි ව ඉගෙන ගන්න. චර්යා රටාවන් සකසා ගන්න. ළමා විය අඳුරු වුණොත් මුළු
ජීවිත කාලය ම අඳුරු වේවි.
කාලය කියන දේ රන් හා සමානයි. ඒ වගේ ම ගෙවී ගිය කාලය අලි ඇතුන් ලවාවත් නැවත අද්දවා
ගන්න බැහැ. කවදා හරි දිනක ළමා වියෙන් හරියාකාර ව වැඩ ගන්නේ නම්, තමන්ගේ ළමා වියට
තමන් ආදරය කළා වෙනවා. “මම කවදා හරි දිනක මේ වගේ මහා පඬිවරයෙක්, මේ වගේ වටිනා
පුද්ගලයෙක් වෙනවා’යි නිතර ම සිතන්නට ඕනෑ. ඒ වගේ ම තමන් හොඳ ළමයෙක් වෙන්නටත් ඕනෑ.
හොඳ ළමයෙක් කියන්නේ තමන් තමන්ට ආදරේ බවයි. එසේ හොඳ ළමයෙක් වූ විට ගුරුවරු,
මවුපියන්, යහළු මිත්‍රයන් වගේ ම මුළු ලෝකය ම ඔබට ආදරේ වෙනවා.
මල් වගේ පුංචි දරුවන් විනාශයට යන හැටි වත්මන් සමාජයෙන් දකින්න ලැබෙනවා. සමහර පාසල්
දරුවන් නොයෙකුත් නොමනා ක්‍රියාවන්ට පෙළඹී ළමා විය තමා අතින් ම විනාශ කර ගන්නවා.
සමහර ළමයින් අයහපත් වැඩිහිටියන්, සල්ලාලයන් හෝ නොමනා පුද්ගලයන් අතින් විනාශ වෙනවා.
මෙන්න මේ නිසා මවුපියන් තමන්ගේ කුඩා දරුවන් පරිස්සම් කර ගන්නට අවශ්‍යයි. ආදරයෙන්
රැක බලා ගන්න අවශ්‍යයි. ඒ වගේ ම දරුවන්ටත් ළමා වියේ වටිනාකම, ඉගෙන ගැනීමේ වටිනාකම
කියා දිය යුතු වනවා. ඒ වගේම තමන් තමන්ට ආදරය කළ යුතු බව නිතර වටහා දෙන්නට ඕනෑ.
ජීවිතයක දෙවැනි යාමය තරුණ කාලයයි. තරුණ කාලය නම් ජීවිතයේ හොඳ ම කාලයයි. සුන්දර ම
අවදියයි. වසන්ත කාලයයි. තරුණ කාලය ජීවිතයට දෙවරක් එන්නේ නැහැ. එසේ නම් ඒ තරුණ
ජීවිතයට කොපමණ ඇලුම් කරන්නට, ඕනෑ ද?
ඔබ තමන්ගේ තරුණකමට, ජීවිතයට ආදරය කරනවා නේද? එහෙම ආදරය කරන නිසා නේද තමන්ගේ මුහුණ,
හිසකෙස්, ශරීරය ලස්සනට තබා ගන්න උත්සාහ කරන්නේ. විවිධ කොණ්ඩා මෝස්තර නොයෙක් ආකාරයට
සකස් කරන්නේ, මුහුණේ නොයෙකුත් ආලේපන කරන්නේ, තමන්ගේ තරුණකම ලස්සන කර ගන්නයි. ඇඳුම්
පැළඳුම් වුණත් එහෙමයි. මේ වෙනුවෙන් මොනතරම් උපකරණ සංඛ්‍යාවක් අප වට කර ගෙන තිබෙනවා
ද? ඇයි ඒ? තමන් තමන්ට ආදරය කරන නිසයි.
ඒ වගේ ම වර්තමානයේ තරුණ ජීවිත කොතරම් විනාශ වෙලා යනවා ද? වටිනා තරුණ ජීවිතයට තමන්
ආදරය කරනවා නම් කවදාවත් එහෙම කර ගන්නේ නැහැ. තමන් තමන් ව රැක ගන්න ඕනෑ. ආරක්ෂා කර
ගන්න ඕනෑ.
තරුණ වියට එළඹෙත් ම ආවේග, ආශාවන් මුහුකුරා යනවා. එසේ වූ විට තමන්ට තමන් පාලනය කර
ගන්න බැරි වෙනවා. තමන් පාලනය කර ගන්න තමන්ට බැරි නම්, තමන් නොදැනුවත් ව ම තරුණකම
නැති වෙලා, විනාශ වෙලා යන්න පුළුවන්. ඒ නිසා තරුණ ඔබ සිතන්න අවශ්‍යයි, මගේ ජීවිතය
මා රැක ගත යුතුයි කියා. ආරක්ෂා කර ගත යුතුයි කියා. පාලනය කර ගත යුතුයි කියා. මගේ
දෙපයින් ම මම නැඟිටින්න ඕනෑ. මගේ උත්සාහයෙන් ම නැඟිටින්න ඕනෑ. විශිෂ්ට මනුෂ්‍යයෙක්
වෙන්න ඕනෑ. හරියට මල් ගහකට පොහොර වතුර දමා පරිස්සමට, බලා ගන්නවා වගේ තමන්ගේ ජීවිතය
ශක්තිමත් කර ගන්න ඕනෑ.
මහා මංගල සූත්‍රයේ දි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දියුණු වන මනුෂ්‍යයකු තුළ
තිබිය යුතු දේ අතර බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් විය යුතු බවයි. හිස් මිනිසෙක්
වෙන්න එපා. හිස් වු තරුණ ජීවිතයක් ලෝකයා පිළිගන්නේ නැහැ. පිරුණ තරුණ ජීවිතය
තමන්ටත්, තමාගේ මවුපියන්ට, ගුරුවරුන්ට ලෝකයාට ආඩම්බරයක්, ඒ වගේ ම තමන්ට තමන්ගේ
ජීවිතය ආඩම්බරයක්.
තරුණ දරුවන් නරක යහළුවන් ඇසුරු කර, මත්වතුර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව නිරපරාදේ තම
තරුණ ජීවිත නාස්ති කර ගන්නා අවස්ථා මොනතරම් ද? තමන්, තමන්ට ආදරය කරනවා නම් කිසිම
කෙනෙක් මත්පැනට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඇයි? හැම මොහොතක ම තමා තමාට
ආදරෙයි. හැම දෙයක් ම කරන්නේ තමාගේ යහපතට, තමාගේ අයහපතට වැඩ කර ගන්නවා නම් ඒකෙන්
කියැවෙන්නේ තමා තමාට ආදරය කරන්නේ නැහැ කියලයි. මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයකුගේ
විරූපී ස්වරූපය, හැසිරීම දුටුවා ම අපට හිතෙනවා නේ ද? මේ මනුෂ්‍යයා නම් තමන්ට ආදරයක්
නැති මනුෂ්‍යයෙක් කියා.
තමා තමාට ආදරේ නම් කොහොම ද? තමන් තමන් ව ම විනාශ කර ගන්නේ.
ඔබ යම් රැකියාවක යෙදෙන්නේ නම් එයින් ලැබෙන වැටුප එහෙමත් නැතිනම් හරි හම්බ කරන දේ
නැති නාස්ති කරන්න එපා. ඒවා රැක ගන්න ඕනෑ.
නරක මිතුරන් ඇසුරු කරන්න එපා. ලැබෙනවාට වඩා විය පැහැදම් කරන්න එපා. ණය වෙන්න එපා.
අපට මේ සමාජයෙන් ම දකින්නට ලැබෙනවා නේද? ධනය , බලය ඇති ඇත්තන්ගේ දූ දරුවන් විනාශ
වෙලා තියෙන ආකාරය. බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද හාමුදුරුවන් වහන්සේ සමඟ
ජේතවනාරාමයෙන් පිටතට වැඩියා. ජේතවනාරාමය ඉදිරිපිට සිටිනවා කිලිටි ඇඳගත් යුවළක්.
බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් වහන්සේගෙන් විමසනවා, ආනන්ද, අර දෙදෙනා හඳුනනවා ද?
“ආනන්ද, මහධන සිටාණන්ගේ එකම පුතා හා ලේලියයි. විශාල ධනයකට උරුමකම් කියූ සිටාණ
කෙනෙක්. තම පියාගේ ධනය නිසා පුතා ඉගෙන ගන්න වුවමනාවක් දැක්වූයේ නැහැ. සිටාණන්ගේ
මරණින් මතු නරක හිත මිතුරන් නිසා මුළු බූදලය ම විනාශ කර ගත්තා. බේබදුකමයි,
සල්ලාලකමයි, ජීවිතයට ළං වුණා. සියල්ල විනාශ වී අවසානයේ දී දෙදෙනා ජේතවනාරාමයේ දොරකඩ
හිඟමන් යදින්නට වුණා . තරුණ ජීවිතය විනාශයි. මුළු ජීවිතය ම විනාශයි.
තමන්, තමන්ට ආදරේ නම් තරුණවිය රැක ගන්න. ඒ රැකවරණය ළමා වියේ දී කර ගන්න බැරි වුණා.
තරුණ වියේදීත් කර ගන්න බැරි වුණා. අවසානයේ දී මහලු කාලයේදීවත් තේරුම් අරගෙන ජීවිතයේ
ඉතිරි ටික කාලය පරිස්සම් කර ගන්න ඕනෑ යැයි කියා ජීවිතය ආරක්ෂා කර ගන්න .අපට මෙලොව
පමණක් නොවෙයි පරලොවකුත් තිබෙනවා.
තමන් තමන්ට ආදරය කරනවා නම් මහලු කාලයේදීත් කොපමණ දෙයක් කළ හැකි ද? කුඹුරක් තිබෙනවා
නම් ඇයි වපුරන්නේ නැත්තේ. වැපුරුවා නම් පමණයි අස්වැන්න ලැබෙන්නේ. ජීවිතය ජය ගන්න.
මෙලොවත් ජය ගෙන" පරලොවත් ජය ගන්න අධිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් තමන් තමන්ට ආදරය කළ
යුතු වනවා. තමන්ට ආදරය කරන මනුෂ්‍යයාට හොඳට කර්මය, කර්මඵල වැටහෙනවා. කර්මය සහ
කර්මඵලය, පින් පව් දෙක ජීවිතය පිටුපස එනවා. බලන්න, ඔබ දැක ඇති අංගවිකල, විරූපී,
මන්ද මානසික අය. ඒ අය පෙර සසරේ දී තමන්ට ආදරය කර නැහැ. එහෙම ආදරය කළා නම් එහෙම
වෙන්න බැහැ. තිරිසන් සත්වයන් ව, පේ‍්‍රතයන් ව, ඉපදුණු අයත් ඒ වගෙයි. ඒ අයත් තමන්ට
ආදරය කර නැහැ. ඒ නිසා හොඳට කර්මය තේරුම් කර ගන්න.
ඇයි පවට බිය විය යුතු වන්නේ. පව් කළොත් එහි විපාකය තමන්ටයි. පින් කළොත් එහි
ආනිසංසයත් තමන්ටයි. වෙන කවරකුට හෝ නොවෙයි.
ඒ නිසා කෝසල මල්ලිකා තමාට ආදරේ කී බව සත්‍ය බව බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට
දේශනා කළා
ඔබත් එය හොඳින් තේරුම් ගන්න. තමන්ට, තමන් ආදරය කරන්න. ජීවිතයේ අවස්ථා තුන ම රැක
ගන්න. සිතත්, කයත්, වචනයත් රැක ගන්න. ජීවිතයේ බොහෝ පින්කම් කරන්න. සිල්වත්, ගුණවත්
මනුෂ්‍යයෙක් වෙන්න. එවිට ඔබට පුළුවන් ඔබට ආදරය කරන්න. එවිට ඔබේ මෙලොව ජීවිතය ද,
පරලොව ජීවිතය ද, සුවදායක වේවි.
දීපා පෙරේරා |