දුක්ඛිත සසර මඟ
නවතන එකම මඟ
බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම ලොවට සැනසීමකි. සැපතකි. තථාගත බුදුරජාණන් වහන්සේ
ලෝ සතුන් වෙත මහා කරුණාවෙන් දේශනා කොට වදාරණ ලද ධර්මය ශ්‍රවණය කොට අවබෝධ කොට ගෙන
සසර දුක නිවා නිවන් සුවයෙන් සදාකල් සැනසුම ලද හැකි ය.
අප මහ බෝසතාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට වදාළහ. ඒ අවබෝධය බුදුරජාණන්
වහන්සේ ලෝක සත්වයා වෙත දේශනා කොට වදාළහ. ඒ වගේ ම උන්වහන්සේ සසර කතරින් එතෙර ව සසර
කතරේ අතරමං ව ජීවත්වන ලෝක සත්වයාට හරි මඟ පෙන්වා සසර කතරින් එතෙර වීමට මග පෙන්වා
වදාළ සේක. උන්වහන්සේ කෙලෙසුන්ගෙන් මිදී කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත් ඇති සත්වයන්ගේ
කෙලෙස් සෝදා හරින්නට සදහම් දෙසූහ. නිවන් අවබෝධයෙන් නිවී සැනසී සෙසු ලෝකයාට ද
සැනසීමට මඟ පෙන්වා වදාළ සේක. බුදුරජාණන් වහන්සේ මේ සැනසිලිදායක මඟ ලොව සනසා දේශනා
කොට වදාළ උතුම් ශ්‍රී සද් ධර්මය තුළින් නිවන් පසක් කර ගන්නට නම් පුද්ගලයා සීල,
සමාධි, ප්‍රඥා ගුණ වැඩිය යුතු වේ.
නිවන පසක් කර ගැනීම සඳහා පළමුව සිල්වත් විය යුතු වේ.
සීලයෙන් තොර ප්‍රඥාවක් හෝ ප්‍රඥාවෙන් තොර සීලයක් නොමැත. සිල්වත්වීම යනු පුහුදුන්
පුද්ගලයා දුස්සීල බවින් ඉවත්වීමයි. ඒ සඳහා ගනු ලබන උත්සාහයයි. එමඟින් ආත්ම ශික්ෂණය
ඇති කර ගත හැකිවෙයි. සියලු දේට සිත ප්‍රධාන වේ. එහෙත් සිතන දේ ක්‍රියාත්මක කරවන්නේ
කයින් හා වචනයෙනි. ශීලයෙන් කය හා වචනය හික්මවීම සිදුවේ. සිතට ගලා එන අදහස් පාලනය
කිරිම අපහසු ය. කයත්, වචනයත් ක්‍රියාත්මක වනතුරු සිතක පහළ වන අදහස් ක්‍රියාත්මක
නොවේ. කය හා වචනය දෙක සිතෙහි නියෝග පිළි නොපදින තත්ත්වයට පත් කර ගත හැකි වන්නේ
සීලයෙනි. සීලයෙහි ආරම්භක පියවර පංච සීලයයි. පෘතග්ජන පුද්ගලයා පංච සීලයෙහි දැක්වෙන
වැරැදි පහට බැඳෙයි. එහෙත් පන්සිල් ආරම්භ කරන පුද්ගලයාගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට
පත්වේ. එවන් පුද්ගලයන්ගෙන් පිරුණු ලෝකය සැනසිලිදායක වේ. පංචසීලය, බ්‍රහ්මචරිය සීලය,
අට්ඨාංගික සීලය, නවාංග සීලය, ගහට්ඨ දස සීල වශයෙන් ගිහියා විසින් රැකිය යුතු සීලය
පස් වැදෑරුම් වේ. සීලය රැකීම තුළින් තමන් ද සංවර වේ. සමාජය ද ආරක්ෂා වේ. සාමකාමී
සමාජයක් ගොඩනැඟෙන්නේ මිනිසා සීලයෙන් පිරිසුදු වූ තරමට ය.
සිතෙහි ඇතිවන තැන්පත් බව සමාධියයි. රූපාදි අරමුණු ඔස්සේ දිවෙන සිත කුසල් අරමුණක
පිහිටුවා සිතේ එකඟ බව ඇති කර ගැනීම සමාධියයි. සිත සමාධිගත කර ගැනීමට සතර සම්‍යග්
ප්‍රධාන වීර්ය වැඩිය යුතු වෙයි.
තමන් ළඟ ඇති හොඳ ගති දියුණු කර ගැනීමත්, තමන් ළඟ නැති හොඳ ගති ඇතිකර ගැනීමට උත්සාහ
දැරීමත්, මෙතෙක් නොකළ වැරැදි නොකිරීමට උත්සාහ දැරීමත් කළ වැරැදි කිසි දිනෙක
නොකිරීමට උත්සාහ දැරීමත් මෙම වීර්යයි. මේ උත්සාහය තුළින් සිතෙහි සමාධිය ඇතිවේ.
කුසල් සිතක ඇති වන එකඟ බව සීලයයි. කාමාරාගාදි කෙලෙස් සිත් ඇත්තන්ගෙන් පිරි ලෝකය
තුළින් මිනිස්කම පලායමින් තිබේ. ඈත්වෙමින් තිබේ. ඒ වෙනුවට තිරිසන් ගුණ ළඟා වෙන
අයුරු පැහැදිලි වේ. සමාධි සිතක් පහළ කර ගැනීමෙන් ඇතිවන සැනසීම ම යි, මේ ලෝකය මිනිස්
වාසයට සුදුසු ක්ෂේම භූමියක් කරන්නේ. සිතෙහි ඇතිකර ගනු ලබන සමාධිය එදිනෙදා ජීවිතය
සාර්ථක කර ගනු සඳහා ද බෙහෙවින් උපකාර වන්නකි. විසිර ගිය සිතක් ඇති අයකුට ජීවිතය
සාර්ථක කර ගත හැකි නොවේ. පැරැණි බෞද්ධ සමාජය බොහෝ දුරට සකස් වී තිබුණේ මිනිස් සිත
සන්සුන් කිරීමට උපයෝගී වන කරුණුවලිනි. එදා පැවැති සංසුන් මනසක් ඇති කරවන පරිසරයක්
වර්තමාන මේ පරිසරයේ දකින්නට අසීරු ය.
ඇසට හමුවන රූපයත්, කනට ඇසෙන ශබ්දයත්, දිවට ලැබෙන රසයත්, නාසයට දැනෙන සුවඳත්, ශරීරයට
ලැබෙන ස්පර්ශයත් කාමුක හැඟීම් පුබුදුවන සුළු ය. වර්තමාන සමාජය මිනිස් සිත් වසා
ස්වභාවික ව පවත්නා පහත් හැඟීම් ප්‍රයෝජනයට ගෙන මුදල් සෙවීම ප්‍රධාන පරමාර්ථය වී ඇත.
අද තරුණ සමාජයේ මනස ව්‍යාකූල බවට පත්ව ඇත්තේ මේ නිසා ය. වටිනා ජීවිත අකාලයේ ඉතා
අවාසනාවන්ත ලෙස බිඳ වැටෙන්නේ මේ නිසා ය. තැන්පත් මනසක් ඇතිව ජීවිතයේ සියලු
ප්‍රශ්නවලට සාර්ථක විසඳුමක් ලබාගත හැක්කේ සිතෙහි මනා සමාධියක් ඇති කර ගත් පමණටයි.
මේ නිසා සිතේ සමාධිය ලෞකික, ලෝකෝත්තර සම්පත් ලබාදීමට උපකාරී වේ.
ඇත්ත දැකීම
යම් අරමුණක තත්ත්වය ඇති සැටියෙන් දක්නා විදර්ශනා ඥානය ප්‍රඥාවයි. සඤ්ඤා, විඤ්ඤාණ,
පඤ්ඤා යනුවෙන් දැනීමේ කොටස් තුනක් වේ. පඤ්ඤා යනු හැඳිනීමයි. එය සාමාන්‍ය දැනීමක්
පමණි. තේරුම් ගැනීම විඤ්ඤාණයයි. යමක් විනිවිද දැකීම පඤ්ඤාවයි. බුදු දහමේ ඉගැන්වෙන
ප්‍රඥාව ශ්‍රැතමය ඥානයෙන් පටන්ගෙන සර්වඤාතා ඥානයෙන් අවසන් වේ.
නුවණින් තොරව ක්‍රියා කරන්නා හරියට කැලේ ඇවිදින අන්ධ ඇතකු හා සමාන වේ. ඒ වගේම
ප්‍රඥාව දියුණු කර ගැනීමට හේතුවන කරුණු හතරක් වේ. එනම් සත්පුරුෂ සේවනය, බණ ඇසීම,
නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුකූල ප්‍රතිපදාවයි.
ප්‍රඥාව දියුණු කර ගැනීමේ දී ප්‍රශ්න ඇසීම බෙහෙවින් ඉවහල් වේ. බුදු දහමේ අන්ධ
විශ්වාසයක් නැත. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගත යුතු වෙයි. ප්‍රඥාව දියුණු කර ගැනීම
සඳහා ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, පඤ්ඤා නම් වූ ඉන්ද්‍රිය පහ සම කර ගත යුතු වේ.
මෙයින් සමාධියත් ප්‍රඥාවත් දියුණු වේ. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමගම නොපිහිටි කල
සිදුවන්නේ අයහපතකි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තමන් වහන්සේ වදාළ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා ම
දේශනා කර ඇති බවයි. යම් අරමුණක ඇති සැටි හඳුනා ගන්නා විදර්ශනා ඥානය ප්‍රඥාවයි.
පඤ්චස්කන්ධයාගේ සම සතළිස් ආකාරය අනිත්‍යාදි ලක්ෂණ හඳුනාගත හැකි වන්නේ ප්‍රඥාවෙනි.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත වූ පඤ්චස්කන්ධය මැනවින් හඳුනාගෙන සසර
ඇති තතු වටහා ගෙන නිවන් අවබෝධ කර ගැනීමට ප්‍රඥාව මූලික වේ.
ඒ වගේ ම නිවන තමන් විසින් ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගත යුත්තකි. සිල්වත් වීමත්,
සිත සමාධිගත කර ගැනීමත් සිහිය හොඳින් පාවිච්චි කිරීමත් කර ගත යුතු බවයි. සීලයත්,
සමාධියත්, ප්‍රඥාවත් නිවනට උපනිශ්‍රය වන බව ද පැවසේ.
සීලයෙන් කය වචනය හික්මවා ගැනීමෙන් තදංග වශයෙන් කෙලෙස් යටපත් වෙයි. සමාධියෙන්
පරියුට්ඨාන අවස්ථාව වශයෙන් කෙලෙස් විෂ්කම්භන ලෙස නැසෙයි. ප්‍රඥාවෙන් සන්තානගත සියලු
කෙලෙස් සමුච්ඡේද වශයෙන් නැති වෙයි.
එබැවින් සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් යන මේ ත්‍රිශික්ෂාව ම නිවන් මඟ වේ.
දීපා පෙරේරා |