Print this Article


සත වෙත සුවසෙත ගෙන දෙනමෙත් සිත

සත වෙත සුවසෙත ගෙන දෙනමෙත් සිත

බ්‍රහ්ම ලෝකයේ අධිපති මහා බ්‍රහ්මයායි. බුදුරජාණන් වහන්සේට පෙර විසූ බ්‍රාහ්මණ පිරිස, විවිධ අයුරින් යාග, හෝම කරමින් හා වෘත සමාදානයෙන් මරණින් පසු බ්‍රහ්මයා සමඟ එක්වීමට ප්‍රාර්ථනා කළහ. නමුත් ඒ කිසිවක් බ්‍රහ්මයා සමඟ එක්වීමට මඟ නොවන බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ව දේශනා කොට වදාළා.

මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව යන උදාර ගුණ සතරක් බ්‍රහ්මයා සතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එහෙයින් බ්‍රහ්මයා සමඟ එක්වීමට නම් එම ගුණ තම සිත තුළ දියුණු කර ගත යුතු බව දහමේ සඳහන් වේ. ගුණවත් දෙමවුපියන් තුළ ද මෙම ගුණ සතර යම් පමණකට පිහිටා ඇති බව “බ්‍රහ්මාති මාතා පිතරෝ” යන ගාථාවෙන් ප්‍රකාශ වේ. (සබ්‍රහ්ම සූත්‍රය අ.නි.2) මරණින් පසු බ්‍රහ්මයා සමඟ එක්වීම කෙසේ නමුත් මේ ජීවිතයේ දී යම් කිසිවෙක් මෙම උදාර ගුණ තම සිත තුළ දියුණු කර ගනී නම්, සත්‍ය වශයෙන් ම ඔහු උතුම් මිනිසකු බවට පත්වේ. එසේම මෙම ගුණ ධර්ම බෞද්ධයන්ට පමණක් අදාළ නොවේ. ආගමික දෘෂ්ටිකෝණයකින් නොබලා ඕනෑම බුද්ධිමත් අයකුට මෙම ගුණධර්ම තමා තුළ දියුණු කර ගත හැකි ය. එසේ දියුණු කර ගැනීමට සැවොම උත්සාහ කරයි නම්, ආගමික සංහිඳියාවක් ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නොවේ. අප තුළ ගුණ ධර්ම පිරිහී ඇති නිසා ම ඒ පිළිබඳ නිතර කතා කිරීමට සිදුවී තිබේ.

සියලුම සත්වයන් කෙරෙහි ඇති කර ගන්නා හිත මිතුරු බව මෛත්‍රිය යි. මෙහිදී මිනිසුන්, තම හිතවතුන්ට පමණක් නොව සියලුම සත්වයන් කෙරෙහි මෙම හිතවත් බව දියුණු කළ යුතු වේ. ලෙඩ දුක් ආදිය නිසා කායික ව දුකට පත් අයකු හෝ ඥාති වියෝවෙන් හෝ ධනය විනාශ වීමෙන් ආදී වශයෙන් මානසික වශයෙන් දුකට පත් වූ අයකු දැක සිතෙහි ඇතිකර ගන්නා අනුකම්පා සහගත හැඟීම කරුණාවයි. ධනයෙන්, බලයෙන් හෝ වෙනත් අයුරකින් පුද්ගලයකුගේ දියුණුව දැක ඒ පිළිබඳ ව සතුටු වීමට හැකිවීම මුදිතාව යි. දුක් සහගත අවස්ථාවල දී දුකට පත් නොවී, සැපසහගත අවස්ථාවලදී සතුටට පත් නොවී මැදහත් ව සිටීමට ඇති හැකියාව උපේක්ෂාවයි. යමෙක් මෛත්‍රිය දියුණු කිරීමේ දී කරුණාව, මුදිතාව හා උපේක්ෂාව ද සිත තුළ දියුණු වේ. නමුත් මූලික වන්නේ මෛත්‍රියයි. මේ අයුරින් ම කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන යමක් මූලික කොට සිත දියුණු කිරීමේ දී අනෙකුත් ගුණ ධර්ම ද ඒ හා සමඟ ම සිත තුළ දියුණු වන අතර මූලික කරගත් ගුණය අනුව ම සිතේ දියුණුව, මෛත්‍රිය, කරුණාව ආදී වශයෙන් නම් කරයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළ මෙම ගුණ දියුණු කිරීම බ්‍රහ්ම විහරණ භාවනා වශයෙන් විශේෂයෙන් සඳහන් වේ. බ්‍රහ්ම විහරණ යන්නෙන් අදහස් වන්නේ බ්‍රහ්මයා මෙන් වාසය කිරීම යන්න යි. එබැවින් භාවනා ලෙසින් මෙම ගුණ ධර්ම දියුණූ කර ගත් අයකුට මෙම මිනිස් ලොව දී ම බ්‍රහ්මයකු ලෙස වාසය කළ හැකි ය. මෛත්‍රිය සිත තුළ දියුණු කර ගැනීමෙන් ඇති කර ගන්නා සමාධිය, මෙත්තා චේතෝ විමුක්තිය ලෙස සඳහන් වේ. එසේම කරුණාව මුල් කොට භාවනා කිරීමෙන් කරුණා චේතෝ විමුක්තිය ද, මුදිතාව මුල්කොට ගෙන මුදිතා චේතෝ විමුක්තිය ද උපේක්ෂාව මුල් කොටගෙන උපේක්ෂා චේතෝ විමුක්තිය ද සිත තුළ දියුණු කර ගත හැකි ය.

අනෙකුත් සමථ භාවනාවන් මෙන් නොව, මෙම බ්‍රහ්ම විහරණ භාවනාවල ඇති විශේෂත්වය වන්නේ උපදවාගත් සමාධිය උඩ, යට, සරස ආදී වශයෙන් දස දිශාවට පතුරවා ගෙන වාසය කිරීමයි. කෙසේ නමුත් ථෙර ගාථාවන්හි සඳහන් වන “සිඟාලපිතු” ථේරගාථාවෙහි අට්ඨික සඤ්ඤාව මුළු මහත් පෘථිවිය පුරාම පතුරවා ගෙන වාසය කළ බව සඳහන් වේ. (කේවලං අට්ඨිකසඤ්ඤාය අථරි පඨවිං ඉමං)

බ්‍රහ්මවිහරණ භාවනාවන් සත්වයන් අරමුණු කොට සිත දියුණු කිරීමක් බැවින් එයින් උපදවා ගත් සමාධිය පැතිරවීමෙන් ඒ දිශාවල සතුන්ට යම් බලපෑමක් සිදු කළ හැකි බව බොහෝ දේශනාවල සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ මෙත් සිත පැතිරවීමෙන් පුද්ගලයකු දමනය කළ අවස්ථාවක් පිළිබඳ ඉතා විසිතුරු කතාවක් විනය පිටකයට අයත් මහාවග්ග පාලියෙහි සඳහන් වේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් එක්දහස් දෙසිය පනහක් පමණ පිරිසක් සමඟ කුසිනාරාව බලා චාරිකා කළා. මේ බව දැනගත් කුසිනාරාවේ මල්ල රජදරුවන්, සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ වඩින පෙර මඟට යා යුතු බවත්, එසේ නොගිය අයකුට කහවනු පන්සියයක් දඩ ගසන බවත් රට වැසියන්ට නියම කළා. එසේ පෙර මගට ගමන් කළ පිරිස අතර ආනන්ද හිමියන් දන්නා හඳුනන ‘රොජමල්ල’ නම් වූ බොහෝ ප්‍රසිද්ධ අයෙක් ද සිටියා. බුදුරජාණන් වහන්සේ දැකීමට පෙර මඟට පැමිණීම ගැන ආනන්ද හිමියන් ඔහුට ප්‍රශංසා කරන විට ඔහු කියා සිටියේ රජවරුන් දඩ ගසන නිසාම පැමිණි බව ය.

ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට ඒ බව දැනුම් දී ඔහුගේ පැහැදීම ඇතිවන ලෙස කටයුතු කළ හැකි නම් හොඳ යැයි ඉල්ලා සිටියා. ආනන්ද එය දුෂ්කර දෙයක් නොවන බව වදාළ බුදුරජාණන් වහන්සේ රොජමල්ල වෙත මෙත් සිත පතුරා විහාරයට වැඩම කළා. තම මව සොයා ගෙන යන වසු පැටවෙක් මෙන් රොජමල්ල ‘බුදුරජාණන් වහන්සේ’ කොහිද අසමින් විහාරයෙන් විහාරයට යන අතර බුදුරජාණන් වහන්සේ ඔහුට “දානකථා” ආදී අනුපිළිවෙළ කතාවත්, චතුරාර්ය සත්‍ය ධර්මයත් දේශනා කොට වදාළා. සෝතාපන්න ඵලයට පත් වූ රොජමල්ල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයකු බවට පත් වුණා.

“අප්‍රමාණ චේතෝ විමුක්තිය” වශයෙන් දස දිශාවට මෙත් පැතිරවීම හා “මහග්ගත චේතෝ විමුක්තිය” වශයෙන් ප්‍රදේශයකට මෙත් පැතිරවීම ලෙස මෙත් පැතිරවීම ආකාර දෙකකි. සත්‍ය වශයෙන් ම මෙත් පැතිරවීමේ දී සිදුවන්නේ “චේතෝ විමුක්තිය” ලෙස හඳුන්වන මෛත්‍රීය තුළින් උපදවාගත් සමාධිය පැතිරවීමයි. තමා උපදවා ගත් සමාධියේ ප්‍රබලත්වය අනුව සමාධිය පැතිරවීම සිදු කළ හැකි බව “අනුරුද්ධ” සූත්‍රයෙහි (ම.නි. 3) ඉතා හොඳින් විස්තර වේ. නමුත් වචන වශයෙන්, දිශාවක හෝ ප්‍රදේශයක සිටින සතුන් සුවපත් වේවා යනුවෙන් පැවසුවත් එයින් මෙත් පැතිරවීමක් සිදු නොවන බව දැන ගැනීම ඉතා වැදගත් ය. එනමුත් නිරතුරුවම එසේ සිහිපත් කිරීමෙන් නීවරණ යටපත් කොට සමාධිය උපදවා ගැනීමට හැකි වුවහොත් එම දිශාවට හෝ ප්‍රදේශයට මෙත් පැතිරවීම ඒ අනුව සිදුවේ.

“මෙත්තා චේතෝ විමුක්තිය” හෙවත් මෛත්‍රිය සමාධියෙහි ආනිශංස එකොළසක් ඇති “මෙත්තානිසංස” සූත්‍රයෙහි (අං.නි. 6) සඳහන් වේ. සුව සේ නිදාගනියි. (සුඛං සුපති) සුව සේ නින්දෙන් පිබිදෙයි. (සුඛං පටිබුජ්ඣති) නපුරු සිහින නොදකියි. (න පාපකානං සුපිනං පස්සති) මිනිසුන්ට පි‍්‍රය වේ. (මනුස්සානං පියෝ හෝති) අමනුෂ්‍යයනට ද පි‍්‍රය වේ (අමනුස්සානං පියෝ හෝති) දෙවියන් ආරක්ෂා කරයි. (දේවතා රක්ඛන්ති) ඉක්මනින් සිත එකඟ වේ. (තුවටං චිත්තං සමාධියති) ගිනි, වස විෂ හෝ ආයුධවලින් විපත් නොවේ. මුහුණ පැහැපත් කරයි. සිහි මුළා නොවී මරණයට පත්වේ. ධර්මය අවබෝධ නොකළොත් බඹලොව උපදී.

මෙම ආනිසංස එකොළොසට ඒ අයුරින්ම ලැබිය හැක්කේ මෛත්‍රී සමාධිය ඇති අයකුට වේ. එසේ වුවත් මෛත්‍රිය පිණිස උත්සාහ කරන ඕනෑම අයකුට තම උත්සාහයේ පමණට මෙම ආනිසංස ලැබිය හැකි වේ.

මෙම ආනිසංස අතර මෙලොව වශයෙන් ලැබිය හැකි ආනිසංස දහයක් ඇත. අවබෝධ නොකළොත් බඹලොව උපදී යන්න පමණක් පරලොව සඳහා වේ. එබැවින් මෛත්‍රිය ඇතුළු බ්‍රහ්මවිහරණ භාවනා ජීවිතය ඉතා වැදගත් බව මෙයින් පැහැදිලි වේ.

අමනුෂ්‍යයන්ට පි‍්‍රය වේ යන කරුණ ද ඉතා වැදගත් වේ. අමනුෂ්‍ය බලපෑම්වලින් පීඩා විඳින බොහෝ දෙනෙකුට මෛත්‍රිය පුරුදු කිරීම මඟින් ඉතා පහසුවෙන් එම බලපෑම්වලින් නිදහස් විය හැකි ය. මෛත්‍රිය පුරුදු කරන කිසිවකු හට යම් අමනුෂ්‍යයකු කරදර කිරීමට පැමිණේ නම්, එයින් අමනුෂ්‍යයා හටම කරදර සිදුවන බව දේශනාවල සඳහන් වේ. එම කරුණ උපමාවක් ඇසුරෙන් පෙන්වා වදාළේ මෙසේ ය.

එනම් යම් පුද්ගලයකු තියුණුූ තුඩක් සහිත ආයුධයක් ගෙන, එම තුඩෙන් තම අත්ලට ඇණ තුඩ මොට කරන්නේ යැයි කියයි නම්, තුඩ මොට නොවන අතර ම පුද්ගලයා දුකට පත්වන්නේ යම් සේ ද, මෛත්‍රිය පුරුදු කරන අයකුට කරදර කිරීමට පැමිණෙන යම් අමනුෂ්‍යයකු වේ නම් ඔහු ද දුකට පත්වේ.

මෛත්‍රිය පිළිබඳ ව සඳහන් වන සූත්‍ර දේශනා රාශියක් ඇත. මෙත්ත සූත්‍රය (කරණීය මෙත්ත) ඒ අතරින් සියලු දෙනා දන්නා සූත්‍ර දේශනාවකි. මෛත්‍රිය පුහුණු කිරීමේ දී අමනුෂ්‍ය භූත ආදී වූ නොපෙනෙන අයට ද මෛත්‍රි කළ යුතු බව දේශනාවෙහි සඳහන් වේ. එනමුත් කරණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය ආදී සූත්‍ර දේශනා, බොහෝ දෙනකු විසින් භාවිත කරනු ලබන්නේ, අමනුෂ්‍ය භූත ආදී කොටස් දුරුකිරීම, පලවාහැරීම පිණිස වේ. මෙය සූත්‍ර දේශනාවල සඳහන් වන අර්ථයට මුළුමනින් ම වැරැදි අදහසකි. කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් වන සියලු සත්වයෝ සුවපත් වෙත්වා (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) යනුවෙනි. සියලු සත්ත්වයන් යන්නෙහි ඇසට නොපෙනෙන අමනුෂ්‍ය භූත අය ද ඇතුළත් වේ. ඔවුන් සිටින තැනින් පලවාහැරීම, වෙනුවට අප කළ යුත්තේ ඔවුනට මෙත් වැඩීමයි. එමෙන් ම බුදුරජාණන් වහන්සේ, තමන්ට කරදර කරන අයකුට වේවා, පලවාහැරිය යුතු බව හෝ වෛර කළ යුතු බව කිසිදු තැනක දේශනා කොට නැත.

රතන සූත්‍ර දේශනාවෙහිද සඳහන් වන්නේ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා (සබ්බේ භූතා සුමනා භවන්තු) වශයෙනි. එමෙන් ම භූතයන්ට දිවා රෑ පුද පූජා පවත්වන (බලි) මිනිසුන්හට මෛත්‍රී කර, ආරක්ෂා කළ යුතු බව ද රතන සූත්‍රයේ සඳහන් වේ. (තස්මාහි නෙ රක්ඛන අප්පමත්තා)

මේ අනුව අමනුෂ්‍ය භූත ආදී නොපෙනෙන සත්වයන් පලවා හැරීම, දුරු කිරීම පිණිස මෙම සූත්‍ර දේශනා භාවිත කිරීම මුළුමනින් ම දේශනාවල අර්ථය වරදවා වටහා ගැනීමකි. එ නිසා ම ධර්මයෙන් ලැබිය හැකි පිළිසරණ ද අහිමි කර ගනී. උත්සාහ කර වීරිය කර මෛත්‍රිය පුරුදු කිරීමට වඩා දේශනාවක් සජ්ඣායනා කිරීමෙන් පිහිට ලැබේ යැයි සිතනවා ද විය හැකි ය. නමුත් වැරැදි අදහසකින් උතුම් සූත්‍ර දේශනාවන් භාවිත කිරීමෙන් පිහිට ලැබීමට කිසිසේත් ම නො හැකි වේ. මෛත්‍රිය පුරුදු කිරීමෙන් අමනුෂ්‍යයන්ට පි‍්‍රය වීමටත් දෙවියන්ගේ ආරක්ෂාව ලැබීමටත් (දේවතා රක්ඛන්ති) හැකි වේ නම් කුමට බිය වන්නට ද? උතුම් බුද්ධ දේශනා කෙරෙහි විශ්වාසය තබා අද අද ම උත්සාහ කරන්න. අද පටන් සැනසීම ඔබ වෙත ළඟා වෙනු ඇත.