Print this Article


කාලි යක්ෂණියසෝවාන් ඵල ලැබූ ආර්ය ශ්‍රාවිකාවක් වූ හැටි

කාලි යක්ෂණිය සෝවාන් ඵල ලැබූ ආර්ය ශ්‍රාවිකාවක් වූ හැටි

“නහි වේරෙන වෙරානි සම්මන්තිධ කුදාචනං අවෙරෙන ච සම්මන්තී එස ධම්මො සනන්තනො”

මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛරය වෛරයෙන් සංසිඳෙන්නේ නැත. අවෛරයෙන් (ඉවසීමෙන් හා මෛත්‍රියෙන්) ම සංසිඳෙන්නේ ය. අවෛරයෙන් වෛරය සංහිඳීම බුදු පසේබුදු රහතුන් විසින් පුරුදු කොට ආ පුරාතන වූ ධර්මයෙකි.

කෙළ, සොටු, අසූචි මුත්‍රාදිය තැවරුණු තැන කෙළ කෙළවලින් හෝ සොටු සොටුවලින් හෝ මුත්‍රා මුත්‍රාවලින් හෝ පිරිසුදු කළ නොහැකි ය. පිරිසුදු ජලයෙන් ම එය සෝදා යම් සේ පිරිසුදු වේ ද එමෙන් නපුරක්, අවැඩක් කළ තැනැත්තාට ඔහු කළ සේ නොකොට හැරීම, ඔහු කෙරෙහි ඉවසීම (ක්ෂාන්ති) මෛත්‍රී ආදී ගුණ ඉපදවීම උපන් වෛරය සංසිඳී යෑමට හේතු වේ. අනුන් කළ නපුර නොසිතා හැරීමෙන් ම ඒ නපුරු ක්‍රියාවෙන් උපන් වෛරය සංසිඳවිය යුතු ය.

මෙය පෘථග්ජන අපට කිරීම අසීරු වූවක් සේ පෙනිය හැකි ය. ඒ නොදැනීම නිසා ය. නමුත් වෛරය නමැති මේ රෝගයට ඉවසීම මෛත්‍රී කිරීම වැනි වෙනත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නැති බව බුද්ධ අනුශාසනාවයි.

යටගිය දවස දැහැමින් වැඩුණු ඉතා හොඳ තරුණයෙක් විය. පියාගේ මරණයෙන් පසු තම මෑණියන් මැනවින් රැක බලාගත් ඔහුට ගෙදර දොර කටයුතු, වතුපිටි කුඹුරුවල කටයුතු ආදිය වෙනුවෙන් මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. තම පුතු විඳින දැඩි වෙහෙස දුටු මව දිනක් පුතුට විවාහයක් සඳහා යෝජනාවක් කළා ය.

“මෑණියනි, මා ඕවාට කැමති නැත. මට ඕනෑ මා මැරෙන තුරු අම්මාට දුකක් නොදී හොඳින් උපස්ථාන කිරීම පමණකැ”යි පුතු කීවේ ය.

“එහෙම කියා බෑ පුතුනි, ඔබ විඳින දුක මට මහත් දුකකි.” කියා දිනක් පුතු කැමැති කරවා ගෙන නිවෙසින් පිටත් වූවා ය.

“මෑණියනි, ඔබ මේ කොහි යන්නේ දැ”යි ඇසීය. “මම අර පෙනෙන ගෙදරට යමි” යි කී විට එය වළකා තමන් සිත්ගත් ගෙයක් ගැන කීවේ ය. එපරිද්දෙන් සිත් සේ මංගල්‍යය සිදුවූවේ ය. නව යුවළ මහත් ප්‍රේමයෙන් කල් ගෙවතත් දරුපල නැතිවීම මවට ප්‍රශ්නයක් විය. අන් තරුණියක් කැන්දන් ඒමට මව යෝජනා කළ විට

“එක් ගෑනියෙක්ගේ වැඩ කර ගන්නට බැරි මට තවත් ගෑනියෙක් මොකටදැයි, කියනු පළමු බිරිඳට ද ඇසුණ මුත් ඇය සිතනුයේ,

අන්තිම මොහොතේ හෝ මවට කීකරු ව වෙනත් තරුණියක් ගෙන එන්නේ ය. එවිට මා දාසියක් වී වරදින්නේ මට ය. එහෙයින් ඇය තමා දන්නා තැනකින් මෙය කර දුන්නොත් ප්‍රයෝජනවත් වේ යැයි සිතා ඇය මව හා ස්වාමියා කැමැති කොට ගෙන තම ස්වාමියාට එවන් තැනකින් තරුණියක් පාවා දුන්නා ය. පළමුව මේ අය අකැමැති වුවත් තමාට ද දරුවන් නැති බව කී විට තරුණියගේ ගෙදරින් කැමැත්ත ලැබී මෙය සිදුවිය.

කල් යෑමේ දී පළමු බිරිඳ මෙසේ සිතී ය. යම් විදියකින් මැයට දරු ගැබක් පිහිටියහොත් මට සිදුවන්නේ ගෙදරින් දොට්ට බැසීමට ය. එනිසා ඇය දෙවෙනි බිරිඳට කියන්නී

“නැඟණිය, ඔබට දරු ගැබක් පිහිටියහොත් මට කියන්න. එය හොඳින් රැක බලා ගන්නට කළ යුතු වැඩ බොහෝ ය. එය හොඳින් රැක ගත යුතු හෙයින් මා ඔබට උපස්ථාන කරමි”යි කීවා ය.

ඇය මැගේ රැවටිලි බස් අදහා දිනක් එවැන්නක් කීවා ය. ඇය එවිට මැනැවින් ටික දිනක් උපස්ථාන කොට දවසක් කැඳට මුසු කොට දරු ගැබ වැටෙන්නට බෙහෙතක් දුන්නා ය. ගැබ වැටුණේ ය. දෙවැනි වරද මෙසේ ම විය. පිට පිට දෙවරක් දරු ගැබ වැටීම සැකයෙක් විය. අසල්වැසි ගැහැනු මෙය දැන විමසූ විට ඇය සියලු කාරණා කීවා ය. කර ඇති විපතේ මහත පෙන්වා දුන් එම ගැහැනුන්

“ඒ මෝඩකම මීට පස්සේ නොකරන්න” යි ඇයට කීහ.

මෙසේ තෙවැනි වර ගැබ පිහිටි බව ඇයට නොකීවා ය. කාලයත් සමඟ මෝරා ගිය ගැබ දුටු වඳ ගැහැනිය “මට නොකීවේ ඇයිද? යි ඇසීය. “නුඹේ බසට මේ ගෙදරට ආ මාව දෙවරක් ම ඔබ මැරීමට තැත් කළා ය. මෙවරත් දැන්වූ නම් මට වන්නේ එයයි.” මෙයින් බලවත් සේ බියට හා කලබලයට පත් පළමු බිරිඳ ගැබිනියගේ ප්‍රමාදයක් දැක මෙවර ද පළමු සේ කළා ය. ගැබ මෝරා තිබූ හෙයින් නොවැටී කුසයේ හරස් වී ඇය මහත් වේදනාවට පත්ව කෑගෑවා ය.

“බොල වඳිය, තී මා නැසීය. දරුවන් තිදෙනා ම කා දැමූ තී මෙයින් මා මළහොත් මම යකින්නක් ව තිගේ දරුවන් ද කා දමා මෙයට පළිගනිමි'යි ඈ වෙවුලමින් ගොත ගසමින් කියද්දීම මිය ගොස් ඒ ගෙදර ම බැළලියක් ව උපන.

මේ අතර දෙදෙනාගේ ම ස්වාමිපුරුෂයා සියලු කාරණා දැන

“තී මා ද නසා, මගේ ගෙදර කා දැමුයෙහි” යි කියමින් ඇය අල්ලා ගෙන අතින් පයින් හා පොලු මුගුරුවලින් තළා නාහින් කටින් ලේ ආ පසු අත්හැර දැමීය. එයින් ම ඇය මැරීගොස් ඒ නිවසේ ම කිකිළියක් ව උපන. කිකිළිය දමන හැම බිත්තරයක් ම බැළලිය කයි. කිකිළි ය ද මරාගෙන කන්නට කෙළ වගුරුවන බව කිකිළිය දැන,

“මා මළ දවසක තිගේ ද දරුවන් සමඟ ම තී ද කා දමමයි” වෛරයෙන් සිටිය දී ම මැරීගොස් දිවි දෙනක් ව උපන. බැළලිය මුව දෙනක් ව උපන. මුව පැටව් තිදෙනෙක් ම දිවි දෙන කෑ බව දැන, මැරෙන මොහොතේ එය සිහිවී “මෑ කන්නට ලැබේවා” යි සිතැති ව මැරී ගියහ.

අප බුදුරජාණන් වහන්සේ ජීවමාන ව ජේතවනයෙහි වැඩ සිටි සමයෙහි මේ මුවදෙන යකින්නක් ව ද, දිවිදෙන තිරිසන් භවයෙන් මිදී සැවැත් නුවර ම එක්තරා කුල ගෙයක දියණියක් ව ද උපන්නී ය. කාලයාගේ ඇවෑමෙන් ඇය විවාහ වී පුතකු වැදුවා ය. මෙහිදී ද මේ යකින්න, යෙහෙළියකගේ වේශයෙන් මේ ගෙදරට පැමිණ ගෙදර අය රවටා ඇතුළු කාමරයට ගොස් දරුවා බලන්නා සේ ගෙන ලේ පෙරමින් කා පැන ගියා ය. දෙවන වරද මෙසේ ම විය. තෙවන වර මේ සියලු දේ සිහි ව දරුවා බිහි කිරීමට මව් ගෙදරට ගොස් දරුවාට නම් තබන දා ආපසු පළමු ගෙදරට එන්නට හිමියාත් සමඟ පිටත් ව ආහ.

දෙව්රම් වෙහෙර (ජේතවනාරාමය) මැද මාවතේ ආ ඔවුනට දෙව්රම් වෙහෙර පොකුණ දැක ස්වාමියා අතට දරුවා දී පළමුව ඇය ස්නානය කොට සැමියා නාන තෙක් හිස පිසදා ගෙන ගොඩට විත් දරුවාට කිරි පොවමින් සිටියා ය. යකින්න මේ වන විට වෙසමුණි යක් රජුට අනවතප්ත විල සිට හිසින් දිය අදින දියමුර සේවාවක නිරත ව සිටියා ය.

මෙයින් මිදුණු මොහොතේ ම නැවත ඇය සොයා යෙහෙළියක වේසයෙන් පළමු ගෙදරට වහා වහා පැමිණ තොරතුරු දැන මව්ගෙය සොයා ගොස් එයින් පිටත් වූ බව දැන දෙව්රම් වෙහෙර මැද මාවතේ ආපසු දුව එන්නී, කිරි පොවමින් සිටි මව දුටුවා ය. යකින්න හැඳින ගත් ඇය සැමියාට ද වහා එන්නට කියමින් දරුවා රැගෙන දෙව්රම් වෙහෙර තුළට වැදී දහම් දෙසමින් ධර්මශාලාවේ වැඩ සිටි සම්බුදු රජාණන් වහන්සේ සිරිපා මුල තබා “දරුවා බේරා දෙන ලෙස ඉල්ලීය. පසුපස එළවා ආ යකින්නට විහාර දොරටුවෙහි රැකවල්ලා සිටි දෙව්තෙමේ ඇතුළු වන්නට ඉඩ නොදුන්නේ ය.

සිද්ධිය දුටු බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමි අමතා දොරටුව ළඟ සිටින යකින්න කැඳවා ගෙන එන ලෙස දැන් වූ සේක.

“එපා බුදුහිමියෙනි, ඇය මගේ දරුවා කා දමාවිය” යි විලාප දුන්නී ය. ඇය සැනසූ බුදුරජාණන් වහන්සේ යකින්න, ආපසු විමසන්නේ

“ඔබ මෙසේ කරන්නේ මක් නිසාද? ඔබලා මෙසේ මට හමු නොවුණු නම් කවුඩන්ගේ හා බකමූණන්ගේ වෛරය මෙන් කල්ප ගණන් පවතින වෛර ඇත්තෝ වන්නාහු ය. කුමක් නිසා වෛරයට වෛර කරවූ දැයි ඉකුත්වත් වදාරමින් ඉහත ගාථාවෙන් දහම් දෙසූ සේක. දේශනාවසානයෙහි යකින්න සෝවන් ඵලයෙහි පිහිටියා ය. ඇසූ බොහෝ දෙනාට වැඩ සහිත වූහ.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔය දරුවා යකින්න අතට දෙන්න යැයි මවට වදාළ කල්හි “මම එයට බිය වෙමි” යි ඕ කිවූ ය. “බිය නොවන්න කිසි විපතක් සිදු නොවේ” යැයි වදාළ විට දරුවා යකින්න අතට දුන්නා ය. යකින්න ළමයා වඩා සිඹ ටික වේලාවක් නළවා මව අතට දී හඬන්නට වන.

“කුමක් නිසා අඬන්නී දැයි අසා වදාළ විට” මෙතෙක් කල් කුස පුරා අහරක් නොලැබුණු මට මෙතැන් සිට එයත් නැතැයි” කීවා ය. එවිට බුදුරජාණන් වහන්සේ මැයව ගෙදර කැඳවා ගෙන ගොස් කැඳ බත් දී හොඳින් රැක බලා ගන්න යැයි මවට නියම කළ සේක. බුද්ධ නියමයෙන් බිය පහව ගිය දරුවාගේ මව යකින්න කැඳවා ගෙන ගොස් නිවෙසෙන් පිට කිහිප ස්ථානයක් නවතාලමින් සංග්‍රහ කළ මුත් යකින්නියගේ පවට නොයෙක් දුක් ගැහැට ඇතිවිණි. අවසානයේ ගමෙන් පිටත සකස් කළ හොඳ තැනක නවත්වා නිතියෙන් ඇප උපස්ථාන කරද්දී සතුටට පත් යකින්න, මේ මවට මේ අවුරුද්දේ හොඳට වැසි වසින හෙයින් ඔබලා වෙහෙස අඩු ගොඩ ගොවිතැන් කරව. මේ වසරේ වැසි අඩු නිසා මඩ ගොවිතැන් කරව ආදී කරුණු කී හෙයින් ඒ අනුව කටයුතු කොට බොහෝ අස්වැන්න ලැබ සම්පත් ලැබීය.

එගම් වැසි සෙස්සෝ මෙවැනි දේ නොදැන ගොවිතැනින් පාඩු ලැබූහ. මේ වෙනස දුටු ගම් වැස්සෝ මැයගෙන් තොරතුරු දැන ඒ අය ද යකින්නියට උපස්ථාන කොට ලාභයෙන් පිරී ගියෝ ය. යකින්නිය ද එනිසා ම මහත් භෝග හා පිරිවර ඇත්තී ද වූවා ය. බුදුරජාණන් දවස විසූ මැය නමින් “කාලී” නම් වූවා ය.

වර්තමානයේ ද, “කාලි යක්ෂණි - කාලි අම්මා” වැනි ව්‍යවහාර කෝවිල් ඇසුරු කොට පවතී. ඉහත කතාවස්තුව ද මෙයට පාදක වී ඇතැයි සිතිය හැකි ය. අද ද ලෝකයේ මිනිසුන් මරා මස් කන ගෝත්‍රික වර්ගයා සිටී. එදා ද කාලී - ආලවක වැනි මිනී මස් කෑ අය සිටි බව පෙනේ. කලින් මිනී මස් කෑ “කාලි යකින්න” සෝවන් වූ පසු “කාලි අම්මා” වුණැයි විශ්වාස කළ හැකි ය.

මේ අතර යමෙකුට දඬුවම් ලබා දීමට කාලි යක්ෂණී ඇදහිල්ලක් ද යමෙකුට, සැප සම්පත් ලබා ගැනීමට ‘කාලි අම්මා’ ඇදහිල්ලක් ද ඒ ඒ අය විශ්වාස කරතත් අපේ බණ පොතේ හැටියට කාලි යක්ෂණී සෝවාන් ඵලයට පත් ආර්ය ශ්‍රාවිකාවක් බව සැලකීම මැනවි. හින්දු ධර්මය තුළ කාලි නමින් උමාවගේ අවතාරයක් ද ඇත.