Print this Article


තිස්සමහාරාම සෑ රද වර්ණනා

තිස්සමහාරාම සෑ රද වර්ණනා

තිස්ස මහා වැව් දිය අතරින්, නිල්ලෙන් පිරුණු කෙත්වතු මැදින් දිලෙන තිස්ස මහා ස්තූප වහන්සේ සිතට එක්කරන්නේ පහන් හැඟීමකි.

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම නගරයේ පිහිටි තිස්සමහාරාම විහාරය පැරැණි රුහුණු රාජධානියේ ප්‍රධාන ථේරවාද බෞද්ධ මධ්‍යස්ථානය වූ බව ද සැලකේ. අතීතයේ ඉතාම සමෘද්ධිමත් ව පැවැති තිස්සමහාරාම විහාරයට ශාසනික කටයුතු සඳහා රුහුණු පළාතේ සියලුම භික්ෂූන් වහන්සේ එක් රැස් වූ බව ද කියැවේ.

බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ තිස්සමහාරාමය පිහිටි භූමියේ සමවත් සුවයෙන් වැඩ සිටි බව සඳහන් ය. ඒ උතුම් වූ, පූජාර්භ වූ භූමියේ තිස්සමහාරාම ස්තූපය ඉදිකොට ඇත.

හෙන්රි පාකර් නම් පුරා විද්‍යාඥයාගේ මතය වන්නේ මහානාග රජු විසින් තිස්සමහාරාමය ඉදි කළ බවයි. මෙරට පුරා විද්‍යා ඉතිහාසය මැනවින් අධ්‍යනය කළ ඔහු පවසන්නේ කාවන්තිස්ස රජ සමය වන විට තිස්සමහාරාමය ඉදි කර තිබූ බවයි. කෙසේ වූවත් රාජධානි දකුණු දෙසට පැමිණීමෙන් පසුව දකුණේ ඉදිකළ විශාලතම ස්තූපය ලෙස සැලකෙන්නේ තිස්සමහාරාමයයි. මහාවංශයේ සඳහන් සිලාපස්ස පිරිවෙන සහිත විහාරය තිස්සමහාරාමය ලෙස ද පිළිගැනේ.

අනුරාධපුරයේ රජ කළ දේවානම්පියතිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් පැන නැඟුණු දෙතිස් ඵලරුහ බෝධි ශාඛාවන්ගෙන් එක් ශාඛාවක් රුහුණු මාගම රෝපණය කිරීමට කටයුතු කළ බවත් දැක්වේ. පසු කාලීනව මාගම ප්‍රදේශය තම පාලන මධ්‍යස්ථානය කරගත් දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග යුවරජු විසින් මාගම භික්ෂූන් වහන්සේ උදෙසා ආරාමයක් ඉදිකරවනු ලැබූ අතර එය “නාග මහා විහාරය‘ නමින් හඳුන්වා තිබේ.

බුදුරජාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කළ අවස්ථාවේ දී සමවත් සුවයෙන් මඳ වේලාවක් වැඩ සිටි තිස්සමහාරාම බිමේ ශ්‍රී මහා බෝධි ශාඛාව රෝපණය කිරීම සහ භික්ෂු ආරාමය ඉදිකිරීම ද සිදුකර ඇති බව මේ අනුව පෙනෙන්නට ඇත.

එම කාලයේ දී ම මහානන්ද නම් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ආරක්ෂා කරනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මහානාග යුවරජුට හිමිවීමත් සමඟ ධාතූන් වහන්සේ තැන්පත් කරවීම සඳහා මහානාග යුවරජු විසින් මාගම ධාතුඝරයක් කරවූ බව ද සඳහන් ය. එම ධාතුඝරය තිස්සමහාරාමය නමින් හැඳීන් වූ ස්තූපය ඉදිකළ භූමියේ බවට ද මතයක් පවතී. ධාතුඝරයේ තැන්පත් කළ ලලාට ධාතූන් වහන්සේට පුද සත්කාර කිරීමේ කාර්යය නාග මහා විහාරයේ භික්ෂූන් වහන්සේට ම පැවැරුණු බව ද සඳහන් ය.

මෙම පින් බිම වඩාත් දියුණුවට පත්වූයේ මාගම රජ පැමිණි කාවන්තිස්ස රජ දවස ක්‍රි.පූ. 205 – 161 අතර කාලයේ ය. රජු විසින් විහාර බිමේ එකසිය විසි රියන් උසැති, තුන්සිය සැට රියන් විෂ්කම්භය ඇති මහා ස්තූපයක් කරවූ බවත්, රජු විසින් එයට තමන්ගේ නම් තැබූ හෙයින් එතැන් සිට තිස්සමහාරාමය නමින් විහාරය ප්‍රසිද්ධ වූ බවත් ධාතුවංශයේ සඳහන් ය.

පසුකාලයක කාවන්තිස්ස රජු විසින් සේරුනුවර ඉදිකරවනු ලැබූ මංගල මහාසෑයේ තැන්පත් කිරීමට ලලාට ධාතූන් වහන්සේ මාගම සිට වැඩම කර වූ බව ද ධාතුවංශයේ සඳහන් ය.

එහෙත් මහානාග රජ දවස සර්වඥ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කරවීම සඳහා ඉදිකළ ධාතුඝරය වටකොට කාවන්තිස්ස රජු විසින් ස්තූපයක් කරවා එයට තමන්ගේ නම තබා පුද සත්කාර කළ බවට ද මතයක් පවතී. එසේ හෙයින් මෙම ස්තූපය කාවන්තිස්ස රජු විසින් ඉදි කළ බව කියැවේ.

ලලාට ධාතූන් වහන්සේ සේරුවාවිල සෑයේ නිධන් කර තිබේ. කාවන්තිස්ස රජු විසින් රුහුණේ මාගම හා සේරුවිල තිස්ස නමින් ස්තූප දෙකක් කරවූ බවත්, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මහා පෙරහරින් සේරුවිලට වැඩම කරවා නිධන් කොට තැබූ පැරැළි තිස්ස මහා වෙහෙර වර්තමාන සේරුවිල මංගල මහා ස්තූපය බව ධාතුවංශයේ සඳහන් ය.

එමෙන් ම මිහිඳු නම් ඈපාවරයකු කිරින්දේ ස්ථාපිත කර ඇති සෙල් ලිපියක සඳහන් කර ඇත්තේ තිස්සමහාරාම මහා සෑයේ බුදුරජාණන් වහන්සේගේ වම් යටි දළදා වහන්සේ නිධන් කොට ඇති බවයි.

දකුණු පළාතේ විශාලතම බෞද්ධ ආරාමය ඓතිහාසික තිස්සමහාරාම විහාරයයි. මෙම ආරාමයේ නේවාසික ව වැඩ සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේ අතරට මහාසිව මහ රහතන් වහන්සේ, ධම්මදින්න මහරහතන් වහන්සේ සහ අරහත් පිණ්ඩපාතික තිස්ස හිමියන් ද වීය.

තිස්සමහාරාමයේ ජල අවශ්‍යතාව මෙන් ම අවට ප්‍රදේශයේ වාරි අවශ්‍යතා සපුරාලීම සඳහා තිසා වැව නවීකරණය කළේ ය. පැරැණි ශිලා ලිපිවල සඳහන් වන පරිදි 3 වැනි සියවසේ සිට 5 වැනි සියවස දක්වා ආරාමයට අක්කර 18000 කට වැඩි ඉඩම් ප්‍රමාණයක් පරිත්‍යාග කර ඇත. මෙම ඉඩම් පරිත්‍යාග කරන ලද්දේ රජවරුන් විසින් සංඝාවාසයේ, ස්තූපයේ නඩත්තු කටයුතු සඳහා මෙන් ම නේවාසික භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සඳහා ය.

තිස්සමහාරාම විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රථම සාක්ෂිය ක්‍රි.ව. 38 දී ඉලනාග රජුගේ පාලන සමයේ දී සිදුකරන ලද බව කියැවේ. 3 වැනි සියවසේ වෝහාරික තිස්ස රජු ද ස්තූපයේ යම් ප්‍රතිසංස්කරණයක් සිදු කර ඇත. 6 වැනි සියවසේ දී ද ස්තූපයේ තත්ත්වය නැවත වරක් පිරිහුණු විට මහානාග කුමරු ක්‍රි.ව. 560 දී ප්‍රතිසංස්කරණය කළේ ය.

ක්‍රි.ව. 1662 දී කදුරුපොකුණේ බුද්ධ රක්ඛිත හිමියන් විහාරාධිපති ව වැඩ වසන සමයේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් නඩත්තු කටයුතු සඳහා විහාරස්ථානයට ඉඩම් දෙකක් පරිත්‍යාග කර ඇති බව මූලාශ්‍ර අනාවරණය කරයි.

කාවන්තිස්ස රජු තිස්සමහාරාම ස්තූපය ඉදිකිරීමේ දී රජුගේ ආධ්‍යාත්මික උපදේශක වූ ගෝතම රහතන් වහන්සේගේ ආශිර්වාද සහ උපදෙස් ලබා ගත් බව වංශකතාවල සඳහන් ය. ඒ ලෙස ම ස්තූපය ඉදිකිරීමේ කාලය පුරාවට ම බෞද්ධ භික්ෂූන් වහන්සේගේ උපදෙස් ලැබී ඇතැයි සඳහන් ය. බුදුරජාණන් වහන්සේ පන්සිය නමක් ස්වාමීන් වහන්සේ සමඟ භාවනායෝගී ව වැඩ විසූ ස්ථානයේ ම බුබුළු හැඩයට ස්තූපය ඉදිකර ඇති බව ද කියැවේ.

ඉංගී‍්‍රසි පාලන සමයත් සමඟ තිස්සමහාරාමය කෙරෙහි වූ අවධානය ක්‍රමයෙන් අඩුවී ගොස් නටබුන් බවට පත් වූ බවක් සඳහන් ය. වර්ෂ 1852 දී තිස්සමහාරාම ස්තූපය වන්දනා කිරීමට වැඩම වූ වේපතඉර සුමන නම් හෙරණ වහන්සේ නමක් වල්බිහිව තිබූ ස්තූප පරිශ්‍රය පිරිසුදු කොට 1857 දී තිස්සමහාරාම කාර්යසාධක සමිතිය පිහිටුවා ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු තමන් වහන්සේගේ අධීක්ෂණය යටතේ ආරම්භ කරන ලද බව පැවසේ.

උන්වහන්සේ ඒ වෙනුවෙන් වසර 16ක් තිස්සේ විශාල උත්සාහයක් ගෙන ඇත. තම ජීවිත කාලය තුළ ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට නොහැකි වූ බව පැවසේ. උන්වහන්සේගේ අපවත්වීමෙන්, උන් වහන්සේගේ පැවිදි සොහොයුරු වල්පිට මේධංකර හිමියන් ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු භාර ගත් බව ද කියැවේ. ඒ අනුව 1900 දී පමණ කොත් පළඳවා ස්තූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලද බව පැවසේ.

ස්තූපය සමීපයේ ම විශාල කොහොඹ රුකක් තිබෙන අතර, එම කොහොඹ වෘක්ෂයේ පැලක් තනවා ගෙන වේපතඉර සුමන ස්වාමීන් වහන්සේ එහි වෙසෙමින් ඉතා දුෂ්කර ව ස්තූපය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර වූ බව ද පැවසේ.

එසේ ම මෙම කොහොඹ වෘක්ෂයේ ස්තූපය දෙසට වැඩී ඇති අතුවල කොහොඹ පත්‍රය තිත්ත රසයෙන් තොර බව ද සඳහන් වේ. ජනප්‍රවාදයට අනුව නම් එසේ වී ඇත්තේ මෙම පූජනීය භූමියේ පවත්නා බලසම්පන්න හාස්කමක් හේතුවෙනි. අදට ද එම ජනප්‍රවාදය එසේම සැලකේ.