Print this Article


පහන් සිතක කවි

සැනසීම

බෝපත් සිලි සිලියේ නැහැවෙමිනේ
සෙව්වා සැනසීමක් බුදු හිමි සෙවණේ
පෙන්වා දුන්නේ සැනසීමට මුල ඉතිනේ
යනවා අද දැහැමින් මතු නිර්වාණේ

බුදු හිමි දෙසූ නිම නැති අමයුරු දම් සයුර
පීරා සොයමි මම මුල මැද අග සොඳින
වටහා ගනිමි කෙලෙසුන් දුරු කරන මඟ
සැනසී ලබමි මතු දිනයක තුම් නිවන

****

සමරමු අපිත් සම්බුදු තෙමඟුල...

දෙව්ලොව සම්පත් අතහැර මිහිබට
දඹදිව සුදොවුන් රජහට පුතනු ව
බිසවුන් මායා දේවිගෙ කුස තුළ
පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්

දසමස ගෙවලා සියපුතු ලැබුමට
මව්පියො දැකුමට දෙව්දහ යන මඟ
පෙරහර සරු කළ පිරිස ද සමඟම
දේවිය සපැමිණි ලුම්බිණි උයනට

සල්ගස අත්තක් පහතට නැමුවා
සල්මල් නෙළුමට දේවිට සිතුණා
නෙළමින් සිටිය දි බිසවුන් සල්මල්
සලිත ව මිහිකත පිළිගති කුමරුන්

වළඳා කිරිපිඬු සුජාතා දේවිගෙ
තලියත් පා කර ගඟදිය ඉහළට
පරදා දසබල මරුවන් ගඟබඩ
ලැබුවා බුදුබව සඳනැඟි යාමෙට

බෙදමින් දම්රස තුන්ලොව සැනසූ
පන්සාළිස් වස අවසන එළඹුණු
වෙසක් පොහෝ දින පුන්සඳ පෑයූ
පිරිනිවුණා අපේ සම්බුදු සමිඳු

****

පාරමී පුරමු

සංසාර භව තරණය දුකයි කියා
බුදු සමිඳුගේ නෙත ගැටුණා දහම් අමා
සූවිසි තෙරුවන් ගුණ පසක් කළා
පාරමි පුරමු නිවනින් සැනසෙන්න කියා

ගුරු දෙගුරුන් දෙන ඔවදන් පිළිගන්න
ජීවිත ගමන යස ඉසුරින් පුරවන්න
සසරේ බැමි බිඳහැර ලන්න
සදහම් අමා රස දරුවනි ලැබ ගන්න

****

ඇත්ත

ජාතිය කුලය ආගම ලෙස බෙදා ගෙන
මිනිසුන් හඬනඟයි කුලගොත් හදා ගෙන
මරණින් පසුව මුළු සේසත දමා යන
අවසානයේ පොළවට පස් වෙලා යන

මැරුණම කෙනකු හඬ නඟමින් වැළපෙන්නේ
ඉපදුණ නිසාමයි මරණය අත්වන්නේ
දුකකට හේතුවත් එය බව වැටහෙන්නේ
එහෙනම් කිමද ඉපදෙන විට නොහඬන්නේ

****

හිරි ඔත්තප්ප

තම දෙගුරුන් හට ද ලජ්ජාවකි බොහොම
හැම ගුරුවරුන් වෙත වුව අවැඩකි යහම
විමසාලමින් මෙම වග සමගින් දහම
පෙම නොකරන් පවට කිසි දිනක දි කොහොම

තම හදවතින් දොස නැඟ එයි එක දිගට
හැම අය වෙතින් බස රුදු වෙයි දිසි වගට
කැමති ම නොවෙන් දඬුවම දුග්ගති බයට
විමසා හිසින් ඉමු බැහැර ව හැම පවට