අසුන්දර සංසාරයට
සුන්දර ගමනාන්තයක්
අප මේ සංසාර ගමනේ සැරිසරා ආ දුර දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණයි. සත්ත්වයා
සුගති දුගති ලෝකවල සැරිසරා ආ ආකාරයත්, කර්ම විපාකවලට බඳුන් වන ආකාරයත් තම තමන්
අතින් සිදු වූ වැරැදි නිසා දුක් විපාකවලට පත්වෙන ආකාරයත් උන්වහන්සේ බුදු ඇසින් දුටු
සේක.
අප කළ කී දේ, සිතූ දේ නිසා ම අප බොහෝ විට විඳවනවා. කර්මය කියන කඩ ඇණයෙන් බැඳී
අවිද්‍යාව, තණ්හාව, සමඟ පැටලී යන ගමනක් නිසා බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින්
දැකලයි මේ දේ අපට වදාළේ. එනිසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කයින්, වචනයෙන් මෙන් ම
සිතිනුත් මේ දීර්ඝ ගමනේ දී අපට බොහෝ අඩුපාඩු වගේම දුෂ්චරිත සිදු වෙනවා කියා.
ඇතැම් අය සතුන් මරනවා. අන්සතු දේ සොර සිතින් ගන්නවා, වැරැදි කාම සේවනයේ යෙදෙනවා, ඒ
කියන්නේ කයින් සිදුවන දුෂ්චරිතයක්. ඒ වගේ ම කෙනකු බොරු කියනවා නම්, තමන්ටත්,
අනුන්ටත් යහපත නොවන හිස් වචන කියනවා නම්, සමඟිය බිඳන කේළාම් කියනවා නම්, තව කෙනකුගේ
සිතේ තිබෙන සැනසීම, ශාන්තිය, සතුට, නැති වන ලෙස නපුරු වචන කියනවා නම් ඒ වචනයෙන්
සිදුවන දුෂ්චරිතය යි.
ඒ වගේම කෙනෙක් අනුන්ගේ දේට ආශා කරමින් ඒ දේ තමන්ගේ කර ගැනීමට කැමැත්තක් ඇති කර ගෙන
ඒ කැමැත්තට යට වී වාසය කරනවා නම්, තරහ සිතින් වාසය කරනවා නම්, ඒවා මනසින් සිදුවන
දුෂ්චරිතයි.
මේ සියලු කාරණා වචන තුනකට ගොනු කළ භාග්‍යවතුන් වහන්සේ කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස
නම් කළා. මේ දේ යම් කෙනක් සිදු කරනවා නම් ලැබෙන්නේ දුක් විපාකය පමණ යි. භාග්‍යවතුන්
වහන්සේ චුතුපපාත ඥානයෙන් දුටුවා සුචරිත, දුෂ්චරිත කරන සත්වයාගේ උපත පිළිබඳ. ඒ
පිළිබඳ උපමාවක් ධර්මයේ සඳහන් වෙනවා.
ඇස් ඇති එක්තරා පුරුෂයෙක් හතරමං හන්දියක තිබෙන එක්තරා උස් ගොඩනැඟිල්ලකට නැඟලා පහළ
බලනවා. මිනිසුන් ඒ නිවසින් මේ නිවසට, ඒ මාවතින් මේ මාවතට ගමන් කරනවා පැහැදිලි ව
පෙනෙනවා. ඒ ආකාරයට ම මිනිසුන් සුගතියෙන් දුගතියටත්, දුගතියෙන් සුගතියටත්
අනේකප්‍රාකාර හැල හැප්පීම්වලට මුහුණ දෙමින් දුක, සැප අතර දෝලනය වෙමින් ජීවිත ගත කරන
ආකාරය සම්බුදු නුවණින් අවබෝධ කර ගත්තා
කයින් අයහපත කළ විට ඒවා දුෂ්චරිත ලෙසත්, ඒ කයින් ම යහපත් දේ කළ විට සුචරිතය ලෙසත්
වර්ග කළා. සතුන් නො මරා සිටීම, සොරකම් නො කිරීම, වැරැදිකාම සේවනයේ නො යෙදීම,
කියන්නේ යහපත් දේයි. සුචරිත දේයි. ඒ සියල්ල සසරේ සැපය පිණිස, හිතසුව පිණිස උපකාරී
වෙනවා.
එලෙස ම වචනයෙන් මෙන් ම සිතිනුත් සුචරිතවත් දේ කරනවා. එවිට සැප විපාක ලැබෙනවා කියා
දුටු භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පා පිණිස ම ධර්මය දේශනා කොට වදාළා. තමාට හිතසුව
පිණිස පවතින දේ පුරුදු කරන්න, අහිත පිණිස පවතින දේ දුරු කරන්න, මනසේ ඇතිවන කෙලෙස්
ප්‍රබල වීමෙන් කයින්, වචනයෙන් වැරැදි සිදුවන බවත් වදාළා. ඒ පිළිබඳ කාය සූත්‍රයේ
සඳහන් වෙනවා.
පින්වත් මහණෙනි, කයින් සිදුවන වැරැදි නිවැරැදි කර ගන්නට තිබෙන්නේ කය සංවර කර
ගැනීමෙන්. වචනයෙන් සිදුවන වැරැදි වචනය නිවැරැදි කර ගැනීමෙන් සහ මනසින් සිදුවන
වැරැදි ප්‍රඥාවෙන් දැන දැක ප්‍රහානය කිරීමෙන් දුරු කර ගන්නට පුළුවන්. මනසින් තමයි
අප ඊර්ෂ්‍යා කරන්නේ. ක්‍රෝධ කරන්නේ. එකටෙක කරන්නේ. මේ සියල්ල මනසින් සිදුවන
දුෂ්චරිත. මේ සියල්ල දුරු කරන්න ඕන ප්‍රඥාවෙන් කියලයි උන්වහන්සේ වදාළේ.
භාග්‍යවතුන් වහන්සේ අපට මෙන් ම දෙවියන්ටත් වදාළේ මේ දහම් පදයි. සතුන් මැරීමෙන්
වැළකීම කියන සිල් පදය දෙවියන් වේවා, මිනිසුන් වේවා පුරුදු කළ යුතු සිල් පදයක්.
ගුණයක්.
ගිහි ශ්‍රාවකයා මුලින් ම පුරුදු කළ යුත්තේ පංචසීලය යි. තවදුරටත් සංවරවීම සඳහා
ආජීවඅෂ්ටමක සීලයත්, පුර පෝ දිනට උපෝසථ සීලයත් සමාදන් කළ යුතු වෙනවා. ඊට වඩා උසස්
සීලයක් රැකීමට නවාංග සීලය සමාදන් වෙනවා. එය වැඩිදුරටත් පුහුණු වන ශ්‍රාවකයාට
හැකියාව තිබෙනවා දස සීලය පුරුදු කරන්න.
තිසරණ සරණ ගිය ශ්‍රාවකයාට තිදොර සංවර කර වැරැදි වළකා ඉතා ඉහළ ආධ්‍යාත්මික මට්ටමක්
කරා ගමන් කරන්නට අවස්ථාව දහම තුළ තිබෙනවා. කෙනෙක් නිවන් මඟ පුරුදු කරනවා නම්, සිත,
කය, වචනය සංවර කිරීමට උත්සුක විය යුතු වෙනවා.
නයනා නිල්මිණී |