Print this Article


මවුපියන් නිවැරැදි නම් දරුවන් හරි මඟට එනවා

මවුපියන් නිවැරැදි නම් දරුවන් හරි මඟට එනවා

අද සමාජයේ ජීවත්වෙන ඇතැම් මවුපියන් දරුවාගේ ස්වභාවය තේරුම් ගෙන නැහැ.

දරුවන් හා මවුපියන් අතර බොහෝ ගැටලු උද්්ගත වී තිබෙන්නේ නොතේරුම්කම නිසයි. මේ ගෙවා දමන යුගය, තමන් කුඩා කාලයේ ගෙවා දැමූ ආකාරයට වඩා බොහෝ වෙනස් බව තේරුම් ගත යුතු වෙනවා. එනිසයි දරුවන්ගේ ආකල්ප ගැන මීට වඩා විමසිලිමත් විය යුත්තේ.

ධර්මානුකූල ව දරුවෙක් හදාවඩා ගැනීම මවුපියන්ගේ මුලික යුතුකම වෙනවා. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිවැරැදි මාර්ගය යි. ඇතැම් මවුපියන් දරුවන් හදන්නට උත්සාහ කරතත් මවුපියන් තුළ තිබෙනවා අගුණ, අධර්මය, අවිශ්වාසය, නිහතමානිකම නැති බව, දරා නො ගැනීම, එකටෙක කිරීම ආදිය. එ නිසාම මවුපියන්ට නොහැකි වෙලා තිබෙනවා දරුවාට යහපත් දේ කියාදීමට.

මවුපියන් හොඳ ගුණධර්මවල පිහිටා කටයුතු කරනවා නම්, ඔවුන්ට යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න පුළුවන්. දරුවා ඉදිරියේ මවුපියන් නිතර නිතර අඬදබර කර ගන්නවා නම්, එකිනෙකාගේ වැරැදි කියා ගන්නවා නම් නිතර ම අනෙක් කෙනාගේ වැරැදිම පමණක් දකිනවා නම්, නින්දා අපහාස කරනවා නම් ඒ නිවසේ සාමය, සතුට, සමාදානය පවතින්නේ නැහැ. ඒ වගේම ඇතැම් පිරිස් නිතරම ඥාතීන්ගේ අඩුපාඩු, ගමේ මිනිසුන්ගේ අඩුපාඩු සමාජයේ වැරැදි කතා වෙනවා නම් ඒ හඬත් සමඟ දරුවා කුඩා කාලයේ සිට එකතු වෙනවා.

ඒ නිසා තමාගේ දරුවා මුරණ්ඩු නම්, මව්පියන්ගේ හඬට කන් යොමන්නේ නැති නම් මවුපියන් මොහොතක් නැවතී ආපස්සට සිතා බලන්න ඕනෑ කොතැනක දී හරි අපට වැරදුණා ද කියලා. තමන් කෙ තරම් කාර්යබහුල වුණත් තෙරුවන් වන්දනා කරන්න සෑම නිවසක ම කාලයක් වෙන්කර ගත යුතු වෙනවා. සමහර විට ඇතැම් දරුවන් වන්දනාවට අකැමැති වෙන්න පුළුවන්. වන්දනා කරන්න බැහැ කියලා කියන්න පුළුවන්. නමුත් අම්මා, තාත්තා වෙලාවක් වෙන්කර ගෙන වන්දනාවකට වාඩි වුණොත් දරුවා පෙළඹෙනවා ක්‍රමයෙන් වන්දනාවට එකතු වෙන්න. මුල් දින ඔහු රූපවාහිනිය නො බලා වන්දනාවට එන්නේත් නැති ව ඉන්න පුළුවන්. ටිකෙන් ටික ඔහු දමනය වෙනවා.

ළමා දහම් වැඩසටහන් ඔහුට පෙන්වන්න පුළුවන්. දරුවාගේ වයසේ සිටින අනෙක් දරුවන් මිහිරි ව කවි, ගාථා, පිරිත් සජ්ඣායනා කරනවා දකින දරුවාගේ සිතේ අකැමැත්ත දුරු වෙලා වන්දනාවට කැමැත්තක් ඇති වෙනවා.

ටික කාලයකට පස්සේ අම්මා කිව්වොත් “පුතේ අපිත් එක්ක වන්දනාවට එන්න” කියලා දරුවා එයට යොමු වේවි. ඒ සඳහා නිසි පරිසරය යි ගොඩනැඟිය යුත්තේ. ඕනෑම අකීකරු දරුවෙක් සිටින මවුපියන් දිනපතා නිවසේ බුද්ධ වන්දනාව කරලා, පිරිත් සජ්ඣායනා කරලා, දරුවාට සෙත් පැතුවොත් ඒ පිහිට, සරණ ඒ දරුවාට ලැබෙනවා ම යි.

බොහෝ මවුපියන් කරන්නේ තමන් වන්දනා කරන්නේ නැහැ. දරුවාට කියනවා වන්දනා කරන්න කියලා. තමන් ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ. දරුවාට කියනවා ධර්මය අහන්න කියලා. තමන් රූපවාහිනියේ සියලුම නාට්‍ය බලනවා. අනවශ්‍ය දේ නරඹමින් කාලය කා දමනවා. දරුවාට කියනවා රූපවාහිනිය බලන්න එපා කියලා.

ඒ වගේම ඇතැම් පියවරුන් රෑ වෙන තුරු රස්තියාදු වෙනවා. යාලුවන් නිවසට ගෙන්වා ගෙන මත්වතුර බොනවා. දරුවාට කියනවා රස්තියාදු ගහන්න එපා. මත්වතුර බොන්න එපා කියලා. මේ ආකාරයට ගුණ යහපත් දරුවෙක් සමාජයට දායාද කරන්න බැහැ.

මේ මනුස්ස ලෝකයේ පමණක් නොව සත්ව ලෝකයේ පවා තමා ඉදිරියෙන් සිටින කෙනා අනුකරණය කරනවා. එනිසා අම්මා තාත්තා පෞරුෂවත්, සීලවන්ත, ගුණවත් ජීවිතයක් ගත කරනවා නම්, දරුවා ධාර්මික, හොඳ හික්මීමක් ඇති අහිංසක දරුවෙක් ලෙස උස් මහත් වේවි.