Print this Article


මාරයා විසින් අටවන ලද කෙමනට හසුනොවීමට වගබලා ගනිමු

මාරයා විසින් අටවන ලද කෙමනට හසුනොවීමට වගබලා ගනිමු

අප රට තුළ සම්බුද්ධ ශාසනය විනාශ කළ හැකි ආකාර කිහිපයක් වෙයි. ඒ සම්බුද්ධ චරිතය හා දේශනය විකෘති කොට දේශනා කිරීම, භික්ෂුවගේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම, බෞද්ධ සංකේතයන්ට නිගරු කිරීම ආදි දේ තුළින් ය. වර්තමානය තුළ මේ සියල්ලම සිදු වෙමින් පවතී.

ශාසනික ඉතිහාසය වෙනස් කරයි, බුද්ධ චරිතය වෙනස් කරයි, සම්බුද්ධ දේශනය වැරැදි ලෙස අර්ථ කථනය කරයි, බෞද්ධ වෙහෙර විහාර හා බෞද්ධ සංකේත අගෞරවයට පත් කරයි, බෞද්ධ වැඳුම් පිදුම් හා චර්යා විශ්වාස අවමානයට ලක් කිරීම හා භික්ෂූන් වහන්සේට පහර දෙයි.

සම්බුද්ධ ශාසනය යනු මේ රටේ ජාතියේ ජීවය යි. ප්‍රාණය යි. ඒ ජීවයට, ප්‍රාණයට පහර දෙනවා යනු මේ රට විනාශ කිරීමකි. ජාතිය විනාශ කිරීමකි. එහෙයින් සම්බුදු සසුනට කරන මේ සාහසික ව්‍යසනයට ශාසන බාරධාරි ප්‍රබුද්ධ ගිහි පැවිදි උතුමන් අවධි විය යුතු කාලය එළඹ තිබෙයි.

මේ පිරිස දෙස බැලූ කල විටෙක මොවුන් අනවබෝධයෙන් කටයුතු කරන පිරිසකි. තවත් විටෙක අවබෝධය පැවතියත් ආත්මලාභය පිණිස කපටි පිළිවෙත් අනුගමනය කරමින් ජාතිය වනසා දමයි. මේ පිරිස රට විනාශ කරන්නට අරඅදින පිරිසකගේ මුදල් ලාභ උදෙසා කටයුතු කරන පිරිසකි.

දඹදිව වර්තමාන ඉන්දියාවේ කොටසක් නොව එය ශ්‍රී ලංකාවේ කොටසක් බව මොවුහු කියති. බුදුරජාණන් වහන්සේ ලංකා දීපයට වැඩම කළා යනු මේ ජම්බුද්වීපය තුළ සිට හෙළ දීපයට වැඩම වීම බව දක්වති.

සිද්ධාර්ථ කුමාර උත්පත්තිය, බුදු වූ ස්ථානය, දම්සක් පැවැත් වූ ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය වෙනස් කරන මොවුහු අප මෙතෙක් හැදෑරු චරිත කථාව ද වෙනස් කරති.

මහාමායා දේවි සිදුහත් උපතින් කළුරිය කොට මාතෘ දිව්‍ය පුත්‍ර ව තව්තිසා දිව්‍ය ලෝකයෙහි උපන්නා නොව මහා මායාවකට ලක්ව ලිංග විපර්යාසයකට භාජනය වූ නිසා සංඛපාල විහාරය අසල වූ ගුහාවක සිර කර තැබූ බව කියයි. බුදු කෙනෙක් ජනිත කළ මවකට මෙවන් තත්ත්වයක් උරුම වූවේ නම් සසුනට කුල දරුවකු පූජා කරන්නට අම්මා කෙනකු කැමති වේද?

සත් පියුම් පිට ඇවිද යෑම, අභිත සීහනාද පැවැත්වීම ඔවුන්ට සුරංගනා කථා වෙයි. ඔවුන් ගේ චින්තනය තුළ පවතින්නේ මේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා පහළ වු අසිරිමත්, ආශ්චර්යවත් මහා පුරුෂයා නොව සාමාන්‍ය මිනිසෙකි.

වර්තමානයේ පවතින බෞද්ධ ත්‍රිපිටකය සත්‍ය ත්‍රිපිටකය නොවන බව දක්වයි. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරයි. අනෙක් ආගම්වල කෘති නම් විටෙන් විට වෙනස් වී ඇත. බයිබලය තුළ, පැරැණි තෙස්තමේන්තුව නව තෙස්තමේන්තුව වශයෙන් දකියි. එහෙත් අපගේ බුදුරජාණන් වහන්සේගේ දේශනා එසේ නොවෙයි. වනපොත් කොට පරම්පරාවෙන් ආ දේ ග්‍රන්ථාරූඪ කොට ඇත. එය ප්‍රතික්ෂේප කිරීම මාරාවේෂ වූවකුට හැර වෙන අයකුට කළ නොහැක.

ත්‍රිපිටකය නොපිළිගන්නා මොවුහු ඒ ත්‍රිපිටකයෙහි එන සූත්‍ර දේශනාවන්හි නම් ගොත් පවා වෙනස් කරති.

මෙවුන්ගෙන් සිදුවන බරපතළ වරද නම් ධර්මය හිතලූ අයුරින් අර්ථකථනය කිරීමයි. මොවුහු පාලි නො දනිති. මොවුහු සිංහල නොදනිති. මේ භාෂා දෙකෙහි ම ව්‍යාකරණය නො දනිති. ඒ නිසා සිංහල පාලි බස එක්කොට නිරුක්ති සපයති. ධර්ම විකෘතිය සිදුවෙයි. ඒ සඳහා නිදසුන් රාශියක් පෙන්වාදිය හැකි ය.

එක් නිදසුනක් පමණක් දක්වන්නේ ලිපිය දිගු වීමත්, එමෙන් ම ඒ පිළිබඳ වෙනම ලිපියක් සැකසීමත් සුදුසු යැයි සිතන බැවිනි. බෞද්ධයා යන්නට මොවුන් ගේ අර්ථකථනය වන්නේ භවය උද්ධරණය කළ පුද්ගලයා යන්නයි. භව - උද්ධ බෞද්ධ යැයි කියයි. ඒ අයුරු පද දෙකක් නම් එය භෞද්ධ වෙයි. එහෙත් වචනය බෞද්ධ වෙයි. එ ව්‍යාකරණානුකූල ව ගත් විට බුද්ධ - අ බෞද්ධ වෙයි. එය ඔහු අදහන්නේ ය යන තද්ධිත පදයකි. ‍මේ ව්‍යාකරණ රීතිය නොදැන තමන්ගේ හිතලු පරිදි අරුත් විවරණය කරන්නට යයි. මේ තුළින් ධර්මයේ අර්ථ විකෘතියක් වෙයි.

දාන, සීල, භාවනා තුළින් නිවන් දකින්නට නොහැකි බව දක්වයි. මේ නිසා මිනිසුන් මේ පින්කම් හි නිරත නොවූ කල මේ සමාජයට කුමක් වෙයි ද? මෙය මාරයා විසින් අටවන ලද කෙමනක් බඳු ය.

දළදා වහන්සේට, ශ්‍රී මහ බෝධිය ස්ථානයන්ට අගෞරව වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහස ලද ස්ථානයන්ට අගෞරව වන ආකාරයට ප්‍රකාශ නිකුත් කරයි. දන් දීම, බුද්ධ පූජා පැවැත්වීම පිළිබඳ බෞද්ධයාගේ ශ්‍රද්ධාව බිඳ වැටෙන අයුරින් යම් යම් ප්‍රකාශ කරයි. දානය තුළ, බුද්ධ පූජාව තුළ ඇත්තේ දාන, ශීල, භාවනාව යි. එමෙන් ම එම පූජාවන් තුළින් මිනිස් සිත තුළ වූ ලෝභ, ද්වේෂ, මෝහ දුරු කොට අලෝභ, අද්වේෂ, අමෝහ ගොඬනැගෙයි. මේ ගැඹුරු අර්ථය නොදැක මෙය මහා විනාශයක් බව ප්‍රකාශ කරති. මේ විනාශ කරන්නේ බෞද්ධයාගේ ශ්‍රද්ධා සිතයි. එමෙන් ම මොවුහු භික්ෂූන් වහන්සේ ඉලක්ක කොට උන්වහන්සේ එක්කෙනෙකු, දෙදෙනෙකුගේ දුර්වලතා ගෙන සමස්ත සංඝ සමාජයට පහර දෙති.

මේ සියලු කරුණු තුළින් ඔවුන් අපේක්ෂා කරනුයේ සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කිරීමයි. මොවුහු හුදු කල්ලියක් නොව ජාත්‍යන්තර ව ආධාර උපකාර මත ක්‍රියාත්මක වන ධනයෙන් බලයෙන් යුතු ප්‍රබල කල්ලියක් බව ඔවුන්ගේ ක්‍රියාකාරකම්ල ප්‍රකාශන තුළින් පැහැදිලි වෙයි. මේ නිසා ම මොවුන්ගේ පසු පස යන කණ්ඩායමක් ගොඩනඟා ගන්නට මොවුහු සමත් වෙති.

මෙවන් භික්ෂු කණ්ඩායම් බුද්ධ කාලය තුළ ද සිටියහ. එම භික්ෂූන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විනය ක්‍රියාමාර්ග බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සමනුභාසන කර්ම, තජ්ජනීය කම්ම, පබ්බාජනීය කර්ම, පටිසාරණීය කර්ම, නිස්සය කර්ම, උක්ඛේපනීය කර්ම ආදි වශයෙන් මෙවන් භික්ෂූන්ට එරෙහිව අනුගමනය කළ හැකි විනය ක්‍රියාමාර්ග රාශියක් වෙයි.

ශාසනභාරධාරි නායක හාමුදුරුවරුන් මේ පිළිබඳ විනයානූකූල ක්‍රියා මාර්ග ගන්නේ නම් ශාසන පරිහානිය වළකා ගත හැකි වෙයි. එමෙන් ම රජයට ද මේ පිළිබඳ වගකීමක් වෙයි. ශාසනය සුරැකීමට රජය ව්‍යවස්ථාපිත ව බැඳී සිටියි. පෙර දවස් ද මේ රටට වෛතුල්‍යවාදය පැමිණි කල රජු ධර්මය දත් කපිල නම් වූ ඇමතියකු ලවා විනිශ්චය කොට වෛතුල්‍ය වාදය සැබෑ බුදු දහම නොවන බව දක්වා වෛතුල්‍යවාදීන් පිටමං කර ඇත. බෞද්ධයා භේද භින්න කරන මෙම ක්‍රියාදාමය නතර කිරීමට රජය ක්‍රියාත්මක විය යුතු ව පවතී.