Print this Article


ශාන්තිය ලබන්නට චිත්ත සන්තානය ම සංසිඳුවා ගන්න

ශාන්තිය ලබන්නට චිත්ත සන්තානය ම සංසිඳුවා ගන්න

මහණෙනි, ප්‍රකෘති සිත ප්‍රභාස්වරයි, පවිත්‍රයි. එය ආගන්තුක කෙලෙස්වලින් කිලිටි වේ. එය පවිත්‍ර වන්නේ ආගන්තුක කෙලෙස්වලින් මිදුණු විට ය. යනුවෙන් අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිතේ සාමාන්‍ය ස්වභාවය පැහැදිලි කළ සේක.

තවදුරටත් කරුණු දක්වමින් සිත තරම් ලහු පරිවත්ත (වහා පෙරළෙන සුලු) වෙනත් දෙයක් නොපෙනෙන බවත්, දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක සයනය කරන, මේ සිත යමෙක් සංවර කර ගන්නේ නම්, ඔහු මාර බන්ධනයෙන් මිදෙන බවත් වදාළහ.

එසේම “හීලෑ කිරීමට ඉතා දුෂ්කර වූ, කැමැති කැමැති තැන වැටෙන, දකින්නට අමාරු ඉතා සියුම් වූ මේ සිත හික්මවා ගැනීමත්, රැක ගැනීමත්, දමනය කර ගැනීමත් සුවය හා සැනසිල්ල ගෙන දීමට හේතු භූත වන බව ද, වදාළ සේක. තවද ලෝකයා ගෙන යනු ලබන්නේත් ඇදගෙන යනු ලබන්නේත් චිත්තය විසින්ම බවත්, සියල්ල ම චිත්තයාගේ වසඟයට යන බවත් වදාළ බුදුරජාණන් වහන්සේ ශාන්තිය ලැබීමට නම්, ආධ්‍යාත්මය ම හෙවත් චිත්ත සන්තානය ම සන්සිඳු විය යුතු බවත් වදාළහ. මේ වනාහි සිතේ ස්වභාවය පැහැදිලි කළ බුද්ධ වචන කිහිපයකි.

චිත්තය ම ආත්මය ලෙසින් ගත් අබෞද්ධ දාර්ශනිකයන් "එය අණුවකටත් වඩා ඉතා කුඩා බවත්, මහත් දෙයකටත් වඩා ඉතා මහත් බවත්, ජනයාගේ හෘදය නමැති ගුහාවෙහි තැන්පත් ව ඇති බවත්" ප්‍රකාශිත ය.

සිත රැක ගැනීමට නම් සිත හඳුනාගත යුතු ය. බුදු දහමෙහි ‘සිත’ යන අරුත්හි චිත්ත, විඤ්ඤාණ, මන, චේත ආදී වචන කිහිපයක් ම ව්‍යවහාර වේ. පරමාර්ථ ධර්ම වශයෙන් අභිධර්මයෙහි දක්වන ලද කරුණු සතර අතර, චිත්ත හා චෛතසික යන දෙක ධර්ම විද්‍යාවට අනුකූල ව ශාස්ත්‍රීය ලෙසින් විස්තර කර ඇත. සිත හා සිතිවිලි දෙකක් වුවත්, ඒවා කෂායෙහි පවතින ජලයක් ඖෂධීය රස ගුණත් සේ ම පවතින්නේ ය. සිත හෙවත් මනස පූර්වංගම ව, චෛතසික ව ඇති වන බවත්, ගොනුගේ පය අනුව යන රිය සක මෙන් ද, තමා නො හැර යන ඡායාව මෙන් ද මේ දෙක සම්බන්ධ ය. චිත්ත සන්තතිය ජල ප්‍රවාහයක් මෙන් ද, පහන් දැල්ලක් මෙන් ද, නිරන්තරව අවිච්ඡින්න ව පවතින්නේ ය. මෙවන් ස්වභාවයක් ඇති චිත්තය හඳුනාගන්නේ කෙසේද? එය ඉතා දුෂ්කර කාර්යයකි.

එහෙත් සියලු සත්ත්වයන් ම සිතන බවත් නිරතුරුව සිතමින් සිටින බවත්, පැහැදිලි ය. අපහසු වන්නේ මුල සොයා ගැනීම ය.

උත්පාද, ස්ථිති, භංග යන අවස්ථා තුනෙන් යුතුව ගලා යන චිත්ත සන්තතිය, කෙනෙකුට අවශ්‍ය වූ විට ප්‍රත්‍යවේක්ෂා කර බැලිය හැකි ය. එනම්, ආපසු සලකා බැලිය හැකි ය. එසේ බැලීමේ දී ශීඝ්‍රයෙන් භ්‍රමණය වන ගිනි අඟුරක වළල්ලක් මෙන් පෙනේ. මේ ඝන සංඥාව නිසා යථාර්ථය එය වැරැදි ලෙස පෙනීම නිසා මුල සොයා ගන්නට අපහසු වනු ඇත.

චක්‍රයක මුලක් ඇත්තේ ම නැත. එහෙත් එය අල්ලන තැන නැතහොත් පටන් ගන්නා තැන මුල වශයෙන් ගත යුතු වේ. අභි දහමට අනුව එවැනි තැන් සිතට ඇත්තේ සයකි. එනම්, ලෝභ, දෝෂ, මෝහ යන අකුසල මුල් තුන සහ අලෝභ, අදෝස, අමෝහ යන කුසල මුල් තුන ද යන මේවායි. පව් පින් සිදුවන්නේ මේවා මුල් කොට ය.

“සිතනවා” “සිතෙනවා” යන දෙකම එක සමාන නොවේ. “සිතෙනවා” යන්නට කර්ම පදයක් නොලැබේ. එය අකර්මකයි. සිතනවා යන්නට කර්ම පදයක් ලැබේ. එය සකර්මකයි. අකර්මක ක්‍රියාවලට විපාක නොලැබේ. ධර්මය ව්‍යාකරණානුකූලයි. ව්‍යාකරණ ධර්මානුකූලයි. ‘චේතයිත්වා කම්මං කරෝති’යි වදාළේ එහෙයිනි.

වරදවා තැබූ සිත කෙනෙකු පාපියෙකු කරන බවත්, මනාකොට තැබූ සිත ශ්‍රේෂ්ඨයෙකු කරන බවත් වදාරා ඇත. ‘මිචිඡා පණිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ’ ‘සම්මා පණීහිතං චිත්තං සෙය්‍යසෝ නං තතො කරේ, යනු බුද්ධ වචනයයි. අක්ත සම්මා පණීධිච යන්නෙන් සිත මනා කොට පිහිටුවා ගැනීම මංගල කාරණයක් බව දේශිත ය. මිනිස් ලොව ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට දෙව්ලොව ඉපදීමට හා බඹලොව පමණක් නොව බුදුබව ලැබීමට ද සිත මනා කොට පිහිටුවා ගැනීම ම හේතු වේ. මනෝ ප්‍රණීධානයෙන් පටන් ගෙන දස පෙරුම් පිරීමෙන් බුදු බව ලබන බව බෞද්ධයන් අසා ඇත.

බුදුරජාණන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කිරීමෙහි ලා සාර්ථයෙකු වැනි හෙයින් පුරිස දම්ම සාරථී නම් ගුණයෙන් යුක්තයි. අංගුලිමාල, ආලවක, සච්චක ආදී මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් ද උන්වහන්සේ විසින් දමනය කළ බව ප්‍රසිද්ධයි.

වල් ඇතුන්, අශ්වයන්, සුනඛයන් ආදීන් මිනිසුන් විසින් හික්මවනු ලබන්නේ බොහෝ පුරාණ කාලයේ සිට ය. අන්‍යයන්ගේ චණ්ඩ සිත හික්මවිය හැක්කේ තමන්ගේ චණ්ඩ සිත හික්මවා ගත් අයට පමණකි. අන්‍යයන්ගේ සිත හික්මවීමට වඩා තමන්ගේ සිත හික්මවා ගැනීම, දමනය කර ගැනීම දුෂ්කර ය. උත්තම ය.

සිතෙහි දමනය කරන්නේ මොනවාද? එය හික්මවන්නේ කෙසේද? විශේෂයෙන් නාමය හා ක්‍රෝධය සිත තුළ බලපවත්වයි. මේවා බලපැවැත්වීම මෝහයයි. එනම්, මුළාවයි. ඒවායින් යථාර්ථය පෙනීම වැසී යයි. තමන් විසින් තමන් හික්ම වන විට ඇතිවන්නේ මේවා සමඟ සටනකි. මේවායින් සිත රැක ගැනීම චිත්ත දමනයයි. එයින් සංවරය ඇති වේ. ඒ සඳහා සංයමය අවශ්‍යයි. භාවනාවෙන් එය ඇතිවේ. එවිට ඔහු භාවිත විත්ත භාවිත්ක නම් වන්නේ ය.

දිනක් වංගීස තෙරුන් අනඳ තෙරුන් සමඟ පිඬු සිඟා වඩිද්දී රූමත් කාන්තාවක් දැක “තමා කාම රාගයෙන් දැවෙන බවත්, තම සිත හාත්පසින් ම දැවෙන බවත් එහෙයින් එය නිවනු මැනවැයි අවංකව ම අනඳ තෙරුන්ගෙන් ඉල්ලා සිටියේ මෙසේ ය.

කාමරාගෙන ඩඪහාම්
චිත්තං මේ පරිඩ්ඪහති
සාධු නිබ්බාපණං බ්‍රෑහි
අනුකම්පාය ගොතම”

කියායි. එවිට අනඳ තෙරණුවෝ මෙය වනාහි සංඥාවේ විපර්යාසයකි. එසේ ඔබ සිත දැවේ. ශුභ වශයෙන් ලස්සන වශයෙන් ගත්, රාගය උපදවන නිමිත්ත දුරු කරන්න ආදී වශයෙන් මෙසේ අවවාද කළහ.

සඤ්ඤාය විපරියෙසා
චිත්තං තෙ පරිඩයිහති
නිමිත්තං පරිචජ්ජෙහි
සුභං රාගුපසංහිතං

තවදුරටත් ඔවා දෙන අනඳ හිමියෝ සංස්කාරයන් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න. මහා රාගය නිවා ගන්න. නැවත නැවත නොදැවෙන්න. අසුබ භාවනා සඳහා සිත යොමු කරන්න. සිත එකඟ කරගෙන සතිපට්ඨානයෙන් යුතුව, සසර දුකෙහි කලකිරීම ඇතිව මානය දුරු කොට උපශාන්ත ව හැසිරෙන්න යනුවෙන් අවවාද කළහ.

වංගීස තෙරණුවෝ සන්සිඳීමට පත් වූහ.