Print this Article


රෝගී සිතට නිවැරැදි ම ඖෂධය සොයා ගනිමු

රෝගී සිතට නිවැරැදි ම ඖෂධය සොයා ගනිමු

සිතේ යථා ස්වභාවය නුවණින් වටහා ගත් තරමට ය මෙලොව ජීවිතයට සේ ම පරලොව ජීවිතයට ද සැනසිල්ල හිමි වනුයේ. මේ සැනසුම අවැසි මනුෂ්‍යයන් වූ අපට පමණක් නොවේ. තිරිසන් සතුන් පවා නිදහසේ ජීවත් වෙන්නට කැමතියි. හිරිහැරයක්, කරදරයක් සිදු වූ විට ඒ සතුන්ගේ හැසිරීමෙන් ශෝකය, දුක පෙනෙන්නට තිබෙනවා නේ ද?

මනුෂ්‍යයන් වූ අපට කතා කළ හැකි නිසා අපේ ශෝකය, දුක, සංකා තව කෙනකුට පවසා හෝ සිතේ තිබෙන බර නිදහස් කරගන්න පුළුවන්. එය සැනසුම ලබන්න කරන උත්සාහයක්. ඒ වගේ ම මනුෂ්‍යයන් වූ අප උදෑසන නින්දෙන් පිබිදුන තැන් සිට රාත්‍රී නැවත නින්දට යන මොහොත දක්වා ම අව්වැසි නොබලා, වෙහෙස මහන්සිය නොබලා උත්සාහ කරන්නේ කුමකට ද? ජීවිතයට සතුට සැනසුම ලබන්නටයි.

අපි ජීවත්වන මේ සමාජය දෙස බලමු. මහා මන්දිර හදාගෙන මෙහෙකරුවන්, යාන වාහන සහිත ව අධි සුඛෝපභෝගී ව ඇතැමෙක් ජීවත් වෙනවා. එහෙත් ඒ අතර සමහර කෙනකුගේ අභ්‍යන්තර ජීවිතවල සතුටක්, සැනසීමක් ඇත්තේ ම නෑ. අසහනකාරී බවකුයි දිස් වෙන්නේ. එවන් පවුල්වල අඹුසැමියන් අතර සමගියක් නෑ. ආදරයක්, බැඳීමක් නෑ. දෙන්නා ජීවත්වන්නේ දෙලොවක එකිනෙකාට විරුද්ධවයි කතා කරන්නේ. ක්‍රියා කරන්නේ.

ඒ වගේ ම සමහර විටෙක මාපිය දූ දරු සබඳතාවය බිඳ වැටී ගිහින්. එසේ නම් භෞතික සැප සම්පත් ගොඩ ගසාගෙන මහ මන්දිර තුළ සැබැවින් ම ඔවුන් ලබන සතුට කුමක් ද? ජීවිත කාලය පුරා ම ඔවුන් ජීවත් වන්නේ අසහනයෙන්, කලකිරීමෙන් නේද? කෙතරම් උසස් නිලතල ලැබුවත්, විශාල ධනයකට හිමිකම් කීවත් උපභෝග, පරිභෝග සම්පත්වලට සතුට, සැනසිල්ල ලබා දෙන්නට හැකියාවක් නැහැ.

දුක, වේදනාව දලුලන විට, ප්‍රශ්න ගැටලු වැඩිවන විට සතුට සැනසුම පෑළදොරින් පලා යයි. එවැනි තැනක දී එසේ ගිලිහී ගිය සතුට සැනසුම සොයා ගන්නට සමහරු නොයෙක් විකල්ප මාර්ග සොයනවා. මේ ලෝකය සුන්දර හෝ අසුන්දර හෝ වන්නේ අපේ සිත ක්‍රියා කරන ස්වභාවය අනුව බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කොට වදාළේ නිතර කිලිටි වන සිත නිවැරැදි මඟට යොමු කර ගන්නා ලෙසයි. උපතින් අපේ සිත ඉතා පිරිසුදුයි. පිරිසුදු වූ, ප්‍රභාෂ්වර වූ සිත කිලිටි වන්නේ බාහිරෙන් පැමිණෙන කෙලෙස් නිසයි. මේ කෙලෙස් මනුෂ්‍ය සිත අපිරිසුදු කර, දුර්වල කර, රෝගී කර වරදට පොළඹවනවා. මෙසේ රෝගී වූ සිත, දුර්වල වූ සිත, නිරෝගී කිරීමේ ඵලදායී ම මාර්ගය නම් භාවනාවයි. භාවනාව කියන්නේ නිවන් දකින මාර්ගය පමණක් ම නොවේ. භාවනාවෙන් විසිර යන සිත එකඟතාවට පත් කරන්නට පුළුවන්. ඒ කියන්නේ සිතකට ඇතුළත් වූ අරමුණු විසිර යා නොදී සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ සිත නොමඟට යොමු කර ගෙන, අභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන, ලොවට අවැඩක් ම සිදු කරන දුසිල්වතකු ලෙස වසර සිය ගණනක් ජීවත් වනවාට වඩා ගුණවතෙක් ව, සිල්වතෙක් ව, බුද්ධිමතෙක් ව එක් දවසක් හෝ ගත කරන ජීවිතය ඉතා අගනා බවයි. වටිනා බවයි.

එදා බුදුරදුන් දවස පමණක් නොවේ. මේ උතුම් අදහස වර්තමාන සමාජයට ද ඉතා වටිනවා. විවිධ වූ අකටයුතුකම්වලින් සැප සොයන සමාජයට මේ වැකිය ඉතා අගනා මාහැඟි ධර්මෝපදේශයක් ය. එම නිසා මේ සමාජයේ අපේ හැම කෙනෙක් ම ගත කරන මේ ජීවිත කාලය තමන්ටත්, අනුන්ටත් පොදුවේ සියලු සත්ත්වයන්ට ම යහපතක්, සතුටක්, සැනසුමක් වන ආකාරයට ජීවත්වීම සඳහා උත්සාහවන්ත විය යුතුයි. එවිටයි මේ ජීවිතයට වටිනාකමක් එකතු වන්න්.