Print this Article


ඔබ සොයන්නේ සැබෑ නිදහස ම ද?

ඔබ සොයන්නේ සැබෑ නිදහස ම ද?

සීලය නම් චරිතවත් බවයි. සමාධිය නම් චිත්ත විශුද්ධියයි. ප්‍රඥාව නම් සුපිරිසුදු නුවණයි. අඳුරේ ඇති දෙයක් දැකීමට නම් ආලෝකයක් ඇවැසි ය. ආලෝකය ලැබුණෛ් නම් පමණි අඳුරේ තිබෙන දේ පැහැදිලිව මනාව දකින්නට හැකි වන්නේ. අඳුර පවතින්නේ ද බාහිර පරිසරයේ පමණක් නොවේ. අපේ ජීවිතවල ද යම් අඳුරක් පවතී. ඕනෑම පුද්ගලයකුගේ සිත තුළ මේ අඳුරු සහගත ස්වභාවය පැවතිය හැකි ය. හිරුට, සඳුට මෙන් ම යම් වූ ද පහන් ආලෝකයකට බාහිර පරිසරයේ පවතින අඳුර දුරු කරන්නට හැකි ය. එහෙත් මනුෂ්‍ය ජීවිතයක සිතිවිලි අතර පවතින අඳුර දුරු කළ නොහැකි ය. සිතේ අඳුර දුරු කිරීමේ හැකියාව ඇත්තේ ධර්මයට පමණි.

තමන් වහන්සේගේ සිතේ පහළ වූ නිවැරැදි, නිරවුල්, සත්‍ය, ප්‍රභාශ්වර තර්කානුකූල යහපත් සිතිවිලි පෘතග්ජන මනුෂ්‍යයාගේ සිත තුළ රෝපණය කරන්නට තථාගත බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් අපමණ වූ කැපවීම් සිදු කළහ. බුදුරජාණන් වහන්සේ මේ කැපවීම් සිදු කළේ ලෝකයේ වසන සෑම මනුෂ්‍යයකුගේ ම සිත් හි පවතින අඳුරු තිමිර පටල දුරු කර හරින්නටය. කෙලෙස් පිරුණු සිතට දහම් රසය ලබා දුන් විට සිතක තිබෙන අනවශ්‍ය දෑ බැහැර වී සිත පිරිසුදු වෙයි. කෙලෙස් දුරුව යයි. එවිට සිතට මහත් වූ සතුටක්, සැනසීමක් නිදහසක් දැනෙයි. නිදහස යනුවෙන් අප තථාගතයන් වහන්සේ පැහැදිලි කළේ විමුක්තියයි. මේ විමුක්තියට අපේ සිත බාධා කරන බව බොහෝ දෙනා කල්පනා කරන්නේ නැත. බෞද්ධයන් හැටියට අප, අපේ කය, වචනය, සිත යන තුන් දොරම සංවර කර ගත යුතු ය.

යම් පුද්ගලයෙක් කයින් ප්‍රාණඝාතාදි අකුසල් කරනවා නම්, ඒ අකුසලය නිසාම තමන්ගේ නිදහස අහුරා ගනී. ඒ තමන් කළ ක්‍රියාව අකුසලයක් බව දන්නා නිසා, තම සිතම තමන්ට බාධා කර ගනී. සිත තමන්ට බාධා කරන්නේ කෙසේද? මා මේ ආකාර වූ වරදක් කළා යැයි කියා නිතර, නිතර තම සිතම මතක් කර දීමෙනුයි. මෙය සිතට මහත් වූ කරදරයකි. පීඩාවකි. මේ ආකාරයටයි සිත නොසන්සුන් වනුයේ. සිතක නිදහස දුරස් වන්නේ ඒ ආකාරයටයි. තමන්ගේ නිදහස, සැනසීම, සතුට නැති කර ගන්නේ තමා විසින් ම ය. ඒ වගේ ම යමෙක් සොරකමින්, වංචාවෙන් කාමය වරදවා හැසිරීමෙන් ආදී අයහපත් දෑ සිදුකරනවා නම් ඔහුට හෝ ඇයට හෝ තමන්ගේ සිතෙන් නම් නිදහසක් නැත. තමන් මේ ආකාර වූ වරදක් කළා යැයි සිතේ තැති ගැනීමක්, බියක්, නිරතුරුව ම හට ගනී. එපමණක් නොව ඊළඟ භවයේ තමන්ට අනිටු කටුක පල විපාක ලැබේ යැයි තැති ගැනීමක් ඇති වේ. මෙලොව වශයෙන් ස්වාධීනත්වය නැති වේ. අපකීර්තියට, පිළිකුලට ලක් වේ.

නැති කරදර ප්‍රශ්න ඇති වේ. මානසික පීඩනය වැඩි වේ. ජීවිතයට මේ තත්ත්වය උදා කළේ කවුද? වෙන කිසිවෙක් නොවේ. එය තමන් විසින් ම උදා කරගත් දෙයකි. ඒ වගේ ම බොරුකීම, කේළාම්කීම යන මේවා ද තමන්ගේ විමුක්ති මඟ අහුරන, වසාලන ක්‍රියාවන් ය. මේ අනුව බලන විට මනුෂ්‍යයා විසින් තම සිත, කය, වචනය නැමැති තිදොර සංවර කර ගත්තේ නැතහොත් මේ රුදුරු සසරින් නිදහස්වීමක්, ගැලවීමක් ඇත්තේ ම නැත.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ, මේ සිතේ හට ගන්නා කෙලෙසුන්ගෙන් නිදහස ලබන පිළිවෙළයි. සැබෑ නිදහස නම් දහමින් යමෙක් ලබන නිදහසයි. බුදු, පසේ බුදු මහරහතන් වහන්සේ මේ ඝෝර සසරින් නිදහස ලැබූහ. තථාගතයන් වහන්සේ පෘතග්ජන වූ අපට දේශනා කොට වදාළේ අපගේ ක්‍රියාකාරකම් ක්‍රමවත් ව පෙළගස්වන ආකාරයයි.

ඒ මේ ආකාරයට ය. තමන් කවුද? ඔබ අම්මා කෙනෙක් ද? තාත්තා කෙනෙක් ද? ගුරුවරයෙක් ද? තමන් තමන්ගේ අනන්‍යතාවයට සරිලන පරිදි ජීවත් වීම අවශ්‍යයයි. ඒ වගේම ලොව පවතින සංස්කෘතියට, දේශීයත්වයට, නීති - රීතිවලට සදාචාරයට එකඟව ගරු කරන්නට අවශ්‍යය. ඒ වගේම යමකුගේ හැසිරීම්, ක්‍රියාකාරකම් ධර්මයේ සීමාවන් දැන හඳුනාගෙන ඒවාට අනුගත ව ශික්ෂණයට පත්කර ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේ සරණ ගිය, සදහම් සරණ ගිය, සඟුන් සරණ ගිය බෞද්ධ අප මේ කරුණු ගැන ගැඹුරින් සිතා බලා විමසා සියලු අකුසල් ක්‍රියාවන්ගෙන් මිදිය යුතු ය. කුසල් වැඩිදියුණු කර ගත යුතු ය. කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව, කළගුණ සැලකීම, වැඩිහිටියන් පිදීම, ගරු කිරීම ආදී ආචාර ධර්ම ගරු කරන්නට ඉගෙන ගත යුතු ය. මේ සිත සියලු දේට මුල් වේ. හොඳට නරකට දෙකට ම සිත මුල් වේ. අපේ සිත දමනය කර ගත යුතු එනිසා ය.

යම් පුද්ගලයෙක් දුසිල්වත් ව, අසංවර ව වසර සිය ගණනක් ජීවත් වෙනවාට වඩා සංසුන් ව, සිල්වත් ව, සංවර ව, එක් දවසක් හෝ ජීවත්වීම අගනා බවයි. මේ ධර්ම කරුණුවලට අනුව අප අවබෝධ කරගත යුතු වන්නේ මේ ජීවිතයත්, පරලොවත් සැනසිලි දායක වන්නේ එවන් ජීවිතයක් ගත කරන පුද්ගලයාගේ ය.