Print this Article


තමන්ගේ සතුරා තමන් ම වෙන්න එපා

තමන්ගේ සතුරා තමන් ම වෙන්න එපා

අප සියලුම දෙනා ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනක ගමන් කරන පිරිසක්. ඒ යන ගමනේ සුළු කලෙකට මේ මිනිස් ලෝකයේ උපත ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මිනිස් ලෝකයේ උපත ඉතාම දුර්ලභ උපතක් බවයි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ උපතක් අප සියලු ම දෙනා ලබා තිබෙන්නේ.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මිනිස් උපත සුගති ලෝකයක උපතක් ලෙස. එසේ දුර්ලභ ව ලැබූ මිනිස් උපත අප වරද්දවා ගත්තොත් එහි විපාකයක් තමන්ට ම යි. අප මේ මිනිස් ජීවිතය ගත කරද්දී තමා තමාට ම සතුරු වෙලා ජීවිතය ගත කරනවා නම් එහි ඇති යහපත කුමක් ද? මම මට සතුරු ව ජීවිතය ගත කළේ නැහැ කියලා සිහි කරන්නට පුළුවන් නම් එය කෙ තරම් යහපත් ද?

ජීවත්වෙන කාලයේ ගතවන යම් මොහොතක් තිබෙනවා ද ඒ සෑම මොහොතක් ම අහිමි වන මොහොතක්. ගතවන තත්පරයක්වත්, එක් නිමේෂයක්වත් යළි අපට ලැබෙන්නේ නැහැ. මේ ජීවිතය ගෙවද්දී අප එක එක අවදි පසු කළා. මවුකුස ඇතුලේ සිරවෙලා සිටි කාලයක් තිබුණා. නමුත් ඒ කාලය අපට දැන් මතක නැහැ. යම් තරමට වැඩෙද්දීයි අප දන්නේ අප මවුකුසක් තුළ නව මාසයක් සිර වී ගුලි වී දුක් විඳි බවක්. අපට මතක නැති වුණාට එබඳු කාලයක් අප ගෙවා දැමුවා.

ඒ වගේම කිසිම දෙයක් නො තේරෙන කාලයකුත් අප ගෙවා දැමුවා. ඒ කාලයේ දී අසූචි මල මුත්‍රා ගොඩේ සිටියා. ඇඬීමත් සිනාසීමත් පමණයි කළේ. තව ටිකක් ලොකු වෙද්දී සෙල්ලම්බඩු තමාගේ ලෝකය කර ගෙන කාලය ගෙවා දැමුවා. තරුණ වයසට එද්දී ඉතාම මිහිරි මතක සටහන් අතරේ සිටි කාලයකුත් අපට තිබුණා. මේ වන විට බොහෝ දෙනෙකුගේ ඒ කාලයත් ගෙවී අවසන්.

වරක අපගේ ශාස්තෘන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, මේ ජීවිතය සඳක් පිරෙනවා වගේ පිරෙන්නේ නැහැ” කියා. නමුත් සාමාන්‍ය ජීවිතය ගත කරද්දී අප කැමැති කැමැති දේ ලැබෙද්දී අපට සිතෙනවා අපේ ජීවිතය පිරෙනවා කියලා. ඒ නිසයි අප කියන්නේ මට දැන් අවුරුදු දහ අට පිරිලා. අවුරුදු විසි එක පිරිලා, හතළිහ පිරිලා කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ “මහෙණිනි, අව පක්ෂයට යන සඳක් වගේ මේ ජීවිතය ටිකෙන් ටික අඩුවෙමින් යන එකක් කියා.

දිනක් ගත කරලා රාත්‍රී නිඳා පිබිදියාම ලෝකයා කියනවා අලුත් දිනයක් උදාවෙලා කියලා. නමුත් ඇත්තට ම මොකක් ද සිදු වුණේ. අපට ජීවත්වීමට තිබෙන තවත් දවසක් අහිමි වුණා. තත්පරයෙන් තත්පරය අහිමි වීම තමා මේ ජීවිතයේ තිබෙන්නේ. කාලය, ආයුෂ, ශරීර වර්ණය මේ සියලු දේ අහිමි වෙමින් යන දේ යි.

අපට කෝටි ගණනක් ධනය තිබුණත් ගත වූ තත්පරයක්වත් අපට ඒ ධනයෙන් ගන්නට බැහැ.අපට යම් විශාල බලයක් තිබෙන්නට පුළුවන්. නමුත් ඒ බලය පාවිච්චි කරලා ගෙවුන කාලය අපට නැවත ගන්නට බැහැ. මිහිපිට සිටින කිසිම කෙනකුට ඒ හැකියාව නැහැ. ගත වූ කාලය ගතවුණාම යි.

ඒ නිසා අප නිතර ම හිතන්නට ඕන මොහොතකින් මොහොත මට මේ මිනිස් ලෝකයේ ජීවත්වීමට තිබෙන කාලයයි ගත වී යන්නේ. ඒ නිසා මම මට හතුරු වෙන්නේ නෑ කියලා.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සත්ථා දේවමනුස්සානං - භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේත් මිනිසුන්ගේත් එකම ශාස්තෘන් වහන්සේ යි. ඒ වගේම උන්වහන්සේට කියනවා “දේවාති දේව“ කියලා. දෙවියන්ට දෙවියන් බඳු තැනැත්තා භාග්‍යවතුන් වහන්සේයි.

එක්තරා දිනක ඛේම නම් දේව පුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ අසලට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අසා සිටියා.

භාග්‍යවතුන් වහන්සේ ඛේම දිව්‍ය පුත්‍රයා අරභයා ඔහු විමසූ ප්‍රශ්නවලට ඛේම සුත්‍රය දේශනා කොට වදාළා.

ස්වාමීනි, ප්‍රඥා රහිත මෝඩ උදවිය ජීවත් වෙන්නේ තමන් තමන්ට සතුරු වෙලා. ඒ අය පාප කර්ම කරමින් තමයි ජීවිතය ගත කරන්නේ. ඔවුන්ට මතු ජීවිත කටුක කර්කශ විපාක ලැබෙනවා නේද? ස්වාමිනී, තමන් තමාට සතුරු වෙනවා කියන්නේ මොකක් ද?

දේව පුත්‍රය, යමෙක් සිතෙන් පව් කරනවා නම් ඔහු තමාට ම සතුරු වෙලා. යමෙක් කතා කරන වචන පාපී නම් ඔහු තමාට සතුරු වෙලා. ඒ කෙනාට පිටින් කවුරුත් හතුරුකම් කරන්නට ඕනෑ නැහැ. කෝටි ගණනක් තමා වට කර ගෙන සිටියත් තමා තමාට ම සතුරු වෙලා නම් ඔහුට ඔහුගෙන් ඇති ඵලය කිම?

පව් කරමින් අපට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒකට හැදෙන කටුක විපාකය ගෙවන්නට සූදානම් වෙන්න ඕන. ඒ වගේම කිසිම පවක් නො කරමින් වුවත් අපට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. කෙසේ ජීවත් වුවත් මේ ලෝකයේ එකම දෙයක් අඛණ්ඩ ව සිදුවෙනවා. කිසිවක් සිදු නොවන තැනක දී පවා ඒ දේ සිදු වෙනවා. ඒ කාලය ගෙවී යාමයි. මොනම දෙයක් සිදු වුවත් සිදු නොවුණත් කාලය ගෙවී යනවා.

සමහර අවස්ථාවල ඇතැම් දෙනා යම් වැඩක් කරලා කයට ගොඩාක් මහන්සි දැනුනා ම ඒ වැඩේ අත හරිනවා. එවිට කියනවා මට දැන් මහන්සියි. විවේකයක් ඕන කියනවා. විවේකය ගැනීමට පැය ගාණක් නින්දට වැටෙනවා. ඒ අතරත් කාලය ගත වෙනවා. නිදාගෙන නැඟිටින තුරු කාලය නතර වී සිටින්නේ නැහැ. කයට කෙ තරම් වෙහෙස දැනුනත් කාලයට කිසිදු මහන්සියක් දැනෙන්නේ නැහැ. කාලය එසේ ගතවන විට අපට තිබෙන වටිනා දෙයකුත් ගෙවෙනවා. ඒ අපේ ආයුෂ යි. ආයුෂ අඩුවෙනවා කියන්නේ මේ මිනිස් ලෝකයේ ජීවත්වීමට තිබෙන දින ගණන අඩුවීමයි.

අප ඉපදුන දා සිට මේ දක්වා කළේ ආයු ප්‍රමාණය අඩු කර ගැනීම යි. ඔබ ඉපදිලා කෙ තරම් කල් ද කියා කෙනෙක් ඇසුවොත් ඔබ කියාවි මම ඉපදිලා අවුරුදු 30, 40, 50 ආදී ලෙස. නමුත් මෙලෙස ගෙවී යන්නේ ආයුෂ බව ලොකු වැටහීමක් නැහැ. අපෙන් කෙනෙක් ඇසුවොත් ඔබ තව කෙතරම් කාලයක් මේ මිනිස් ලෝකයේ ජීවත් වෙනවා ද කියලා අපි හැමෝම ඒ ප්‍රශ්නයේ දී නිරුත්තර යි. අපට ඉදිරියට ඇති ආයුෂ වර්ෂවලින් වෙන්නත් පුළුවන්. නො වෙන්නත් පුළුවන්. මාස ගණන්වලින් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. සති ගණනින්, දින ගණනින් වෙන්නත් පුළුවන්. නො වෙන්නත් පුළුවන්. ඇතැම් වෙලාවට මිනිත්තු ගණන් වෙන්නත් පුළුවන්. නො වෙන්නත් පුළුවන්.

අපි මේ ලෝකයේ ජීවත් වෙද්දී ජාති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන් වර්ණ වශයෙන් එක එක බෙදීම් ඇති කර ගන්නවා. නමුත් මරණයට මේ කිසිදු භේදයක් නැහැ. කිසිදු උස් පහත්කමක්, නැහැ. මරණය කැමැති වෙලාවට අප කරා එනවා. කැමැති කෙනා අරගෙන යනවා.

අප ඉපදෙන කොට මරණය තෙක් ගෙන ආ ආයු ප්‍රමාණයක් තිබෙනවා ද ඒ ආයුෂ ටික කාලයක් ගත වෙද්දී ගෙවී යනවා. මේ ටික කාලය තුළ දී තමා කළ යුතු නො කළයුතු සියල්ල සිදුවන්නේ. කෙනකුට කැමැති නම් සිත, කය, වචනයෙන් පින් කරන්නත් පුළුවන්. කැමැති නම් සිත, කය, වචනයෙන් පව් කරන්නත් පුළුවන්. කැමැති නම් තිදොරින් කුසල් කරන්නත් පුළුවන්.

කැමැති නම් අකුසල් කරන්නත් පුළුවන්. කැමැති නම් මුළු ලෝකය ම රවටමින් ජීවත් වෙන්නත් පුළුවන්. කැමැති නම් මුළු ලෝකයාට ම අවංක ව ජීවත් වෙන්නත් පුළුවන්. මෛත්‍රිය, කරුණාව, මුදිතාව සිත් පෙරටු කරගෙන ජීවත් වෙන්නත් පුළුවන්. නපුරු සිතින්, ක්‍රෝධයෙන්, වෛරයෙන් ජීවත් වෙන්නත් පුළුවන්. කෙනකුට තිසරණයට දිවි පුදා බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ජීවත් වෙන්නත් පුළුවන්. මිසදුටු සරණ ගොස් අධර්මයෙහි ජීවත් වෙන්නත් පුළුවන්. මේ මොන ක්‍රමයට ජීවිතය ගෙවා දැමුවත් වෙන්නේ එක දෙයයි. ඒ කාලය ගතවීමයි. යළි නො ලැබෙන ආකාරයට ආයුෂ ගෙවී යාමයි. අහිමි වූ කාලය කිසිම කෙනකුට කිසිම බලපුළුවන්කාරකමකින් ගන්නට බැහැ.

අපගේ බෝසතාණන් වහන්සේ ලෝකයට වෙසක් පුන් පෝ දිනක ගයාවේ වජිරාසනය මත බුද්ධත්වයට පත්වුණා. උන්වහන්සේ සියලු ලෝක අවබෝධ කර ගනිමින් ලෝකයාට දහම් දෙසුවා. නමුත් ඒ සේවාව උන්වහන්සේට කරන්නට පුළුවන් වුණේ අවුරුදු 45ක් පමණයි. ශ්‍රී සද්ධර්මය වදාළ උන්වහන්සේ පවා පිරිනිවනට වැඩියා.

භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරද්දී බොහෝ විට වදාළේ ප්‍රමාද වෙන්න එපා අප්‍රමාදී වෙන්න කියලයි. එසේ වදාළ උන්වහන්සේ වෙසක් පුන් පෝ දිනක කුසිනාරා නුවර උපවර්තන සාල වන උද්‍යානයේ දී සල් රුක් දෙකක් මත සැතපී වදාළ සේක.

“මහණෙනි, මම ඔබ අමතන්නේ අවසන් වතාවට යි. මේ ලෝකයේ හටගත් හැමදේ ම නැසී යනවා. එනිසා පමා වෙන්නට එපා.” යනුවෙන් වදාළා. මේ වදන සෑම බෞද්ධයකුගේ ම හිත තුළ දෝංකාරය දිය යුතු වෙනවා. මගේ ශාස්තෘන් වහන්සේ පවා වදාළේ පමා වෙන්න එපා කියලයි මම පමා නොවී මට මිතුරු වෙනවා. මම මට හතුරෙක් වන්නේ නැහැ කියලා හිතන්න ඕන.

අප කොහොමද තමන්ට ම මිතුරු වෙන්නේ? අපේ සිත, කය, වචනය තමාට ආදරයෙන් සෙනෙහෙවන්ත ව හසුරුවන්න දක්ෂ වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේට ඒ ඛේම දිව්‍ය පුත්‍රයා නැවත කියනවා.

ස්වාමිනී, යම් මනුස්සයෙක් ජීවිතය ගත කරලා නැවත හැරී බලද්දී කඳුළු පිරුණු මුහුණින් හඬ හඬා විපාක විඳින්නට සිදුවන දේ කර ගෙන තිබෙනවා නම් ඔහු දුර්වලයෙක්. එබඳු දේ ජීවිතේ නොකළ යුතුයි කියලා.

යම් දවසක කියපු දේ, කරපු දේ, සිතපු දේ හඬමින් නම් සිහි කරන්නට තිබෙන්නේ ඒ දේ නොකළ යුතුයි. අප අපට ඇත්තට ම ආදරේ නම්, මිත්‍ර නම්, හිතවත් නම් හඬන්නට වන දේ නොකළ යුත්තේ එය පාප කර්මයක් නිසයි. ඒ පාප කර්ම යම් විටෙක ජීවිතයේ දී දකින්නට පුළුවන්කමක් ලැබෙනවා. නිදහස් ලෝකයක නිදහසේ ඇතැමෙක් දිවි ගෙවද්දී ඇතැමෙක් සිර ගෙදරක කළුවර කාමරයක දිවි ගෙවෙනවා. ඒ තමා තමාට හතුරු වූ නිසයි. ඇතැම් ගිහි ගෙවල් ගිනි ගෙවල් බවට පත්වෙලා. ඒ අඹු සැමි දෙදෙනාගෙන් එක් අයකුගේ නො මනා හැසිරීම් නිසායි. තමාගේ වැරැදි නිසාම හඬනවා. ගිනි ගන්නවා. තමාගේ පාප කර්ම තමාට ම වෙහෙස උපද්දවනවා.

සීලය රැකපු කෙනෙක් “අනේ මම සීලයක් රැක්කා” කියමින් කවදාවත් හඬා වැටෙන්නේ නැහැ. සීලවන්තයාගේ ජිවිතයටත් කරදර, දුක්පීඩා, රෝග පීඩා, ව්‍යසන, උවදුරු එනවා. ඒ වෙලාවට සිල්වතා සිතනවා “මේ ලෝකයේ අට ලෝ දහමක් තිබෙනවා. මම දැන දැන වැරැද්දක් කරපු කෙනෙක් නොවේ” කියමින් සීලය නිසා සතුටක් ලබනවා. පී‍්‍රතියක් සිතේ උපද්දවා ගන්නවා. සීලය ගැන සිතමින් සැනසීමක් ලබනවා. තමාගේ හෘද සාක්ෂිය තුළ සතුටක් උපද්දවා ගන්නවා.

ගතවන නිමේෂයක්වත් මට නැවත නො ලැබෙන්නේ ය කියන දේ තේරුම් ගන්න. දෙනෝදහක් මැද සිටියත් එකිනෙකා සමීපයේ සිටියත් අපට තනිව ම තනි වෙන්න වෙලාවක් ජීවිතවලට උදා වෙනවා. අප වටා කොතෙක් භෞතික දේ තිබුණත්, අත් පටලාගෙන සිටියත්, අපට තනි ගමනක් යන්න වෙන්නේ. සියල්ල හැර දා යුතු දවසක් අප හැමෝගේ ම ජීවිතවලට උදාවෙනවා. මේ දේ තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒක අපගේ ජීවිතයට උදාවෙන ප්‍රඥාවක්. ප්‍රඥාවන්තයාගේ ජීවිතය සුන්දර යි. සැහැල්ලු යි. තමා තමාට මිතුරු නම් ජීවිතය ලස්සන කර ගන්න පුළුවන්. අපගේ ජීවිතයේ අභ්‍යන්තරයේ කොටසක් තිබෙනවා අන් අයට පෙන්වන්නට බැරි. අප මිය යන මොහොතේ ඒ කොටස අරන් යනවා. සමාජයට පෙන්වමින් සිටි කොටස මිය යන මොහොතේ දමා යනවා. ඒ නිසයි ජීවිතයේ අභ්‍යන්තරය ලස්සන කරගත යුත්තේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයාගේ අභ්‍යන්තරය සුන්දරයි. සිතිවිල්ල සිතට කා වද්දා ගත්තොත් ලැබූ මේ දුර්ලභ මනුස්ස ජීවිතය රැකෙනවා ම යි. එහෙම නොවුණොත් ජීවිතයට උදා වන්නේ දුක වේදනාව, කටුක අත්දැකීම් පමණ යි.

ඛේම දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද වදාළා. “පින්වත් දෙවිය, යමෙක් හිත සුව පිණිස පවතින්නේ මේ මේ දේ කියා දන්නවා නම්, එය ම යි මුලින් ම කළ යුත්තේ. ඒ දේ සිතිය යුතුයි. ඒ දේ කතා කළ යුතු යි.

ප්‍රඥාවන්ත, වීර්යවන්ත කෙනා නොමඟ ගිය ගැල්කරුවෙක් වගේ වෙන්න හොඳ නැහැ. ඇතැම් ගැල්කරුවන් හොඳට තිබෙන මහමඟ අතහැර විෂම මාර්ගයේ යනවා. එවිට ඔහු අනතුරකට මුහුණ දෙනවා. දේවේන්ද්‍රය, අඥාන පුද්ගලයාත් ඒ වගේමයි. ධර්ම මාර්ගය මෙ තරම් පිරිසුදුවට තිබෙද්දී අධර්ම මාර්ගයට බැස ගන්නවා. ශාස්තෘන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සුන්දර වැඩ පිළිවෙලක් දේශනා කළා. ඒ සතුන්ට ආදරය කරන්න. කරුණාව දක්වන්න. ඔවුන්ගේ ජීවිත රකින්න. ඒ ජීවිතවලට හිංසා කර නසන්න එපා. ඒ වගේම තමා ළඟ තිබෙන වස්තුව අහිමි වෙනවාට තමන් අකැමැතියි. එය තමාට උපමා කොට අන් අය සතුව තිබෙන දේ සොරකම් කරන්නට එපා කියා යහපත් මාර්ගයක් දේශනා කළා.

එලෙස ම ස්වකීය බිරිඳට, ස්වාමියාට අවංක වෙන්න. වංචා කරන්න එපා. තමාගේ සිතට එන දැවෙන තැවෙන සිතිවිලි පාලනය කර ගන්න කියා මාවතක් කියා දුන්නා.

සිහි කල්පනාව කියන්නේ දුර්ලභ දෙයක්. සල්ලි දීලා සිහිය නසා ගන්න එපා. එය සසරට බලපානවා කියමින් මත්පැන් භාවිතයට වාරණයක් පැනවූවා.

ඒ වගේම කටින් පිටවෙන සෑම වචනයක් ම සංවර කර ගන්න ඕන. ඒක සසරට ආශිර්වාදයක්. මේ කටින් පිටවෙන වචන වැරදුණොත් සසර පුරාවට ම අපට වරදින්නට පුළුවන්. ඒ නිසා වචනය ගොඩාක් පරිස්සම් කර ගන්න ඕන කියා අපට කියා දුන්නා. ඒ සඳහා අපට තිබෙනවා උපායක්. ඒ පුළුවන් තරම් නිශ්ශබ්ද වීම, අඩුවෙන් කතා කිරීම සහ සිතාමතා වචන පිට කිරීම ආදී දේ.

මේ සියලු කරුණු මුල් කර ගෙන අපට පිනකට ලැබුණු මේ මිනිස් ජීවිතයේ සිත, කය, වචනය හැසිරිය යුත්තේ හොඳ සංයමයකින්. උපාය මාර්ග යොදමින්. හැම දෙයක ම කර්ම විපාකය බරපතළ යි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට සිත පාලනය කර ගැනීමට කරුණු දහයක් කියා දුන්නා. එයම තමයි ලෝකය දකින්නට තිබෙන හරි දැක්ම.

ඒ තමා දන්දීමේ විපාක තිබෙනවා, පුදසත්කාරවල යහපත් විපාක තිබෙනවා. වන්දනාමානවල පුද සත්කාරවල යහපත් විපාක තිබෙනවා.

යහපත් කර්මවල යහපත් විපාක ද, අයහපත් කර්ම කළොත් අයහපත් විපාක ද, තිබෙනවා. කියා කර්ම කර්මඵල විශ්වාස කරන්න කිව්වා.

ඒ වගේ ම මව කියා පියා කියා විශේෂ කෙනෙක් සිටිනවා, මෙලොවක් තිබෙනවා. පරලොවක් තිබෙනවා. මෙසේ සිහි කිරීම තමා තමාට මිතුරුවීමයි.

එනිස ජීවත්වන ටික කාලයේ දී අප කරන සියලු වැඩ කටයුතු මැද්දේ තමා දෙසට හැරී බලන්නට අපත් උත්සුක වෙමු. ඒ සඳහා වීර්යය කරමු.

- නයනා නිල්මිණී