Print this Article


 ශ්‍රද්ධාව ස්ථාවර වන තුරු අවදානම මඟ නොහැරේ

ශ්‍රද්ධාව ස්ථාවර වන තුරු අවදානම මඟ නොහැරේ

සද්ධාව යනු පාරිභාෂික වචනයකි. එහි තේරුම විශ්වාසය යන්නයි. ඕනෑම අයකු යමක් පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය ඔහුගේ ඒ පිළිබඳ සද්ධාවයි.

යමෙක් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ විශ්වාසය ඇති කර ගනී නම්, එය බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාවයි. එවිට ඔහු බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන කෙරෙහි ම සද්ධාව (විශ්වාසය) ඇති කර ගත්තා වෙයි.

එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ලෝකයට හෙළිවන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙනි. එමෙන් ම ඒ ධර්මය අනුව පිළිපැදීමෙන් සංඝරත්නය උතුම් මාර්ගඵලයන්ට පැමිණ ඇත. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ සද්ධාව, තෙරුවන් කෙරෙහි ඇති කර ගත් සද්ධාව වේ.

අමූලිකා සද්ධා, අකාරවතී සද්ධා වශයෙන්, සද්ධාවෙහි මූලික ආකාර දෙකක් ධර්මයෙහි සඳහන් වේ. අමූලිකා සද්ධාව යනු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ ව, අරහං, සම්මා සම්බුද්ධ, ආදී වශයෙන් ඒ ගුණ පිළිබඳ ඇති විශ්වාසයයි. නමුත් එම විශ්වාසය ප්‍රඥාවෙන් තේරුම් ගෙන නැත. එම නිසා ධර්මයෙහි ‘මුල් බැස’ නැති සද්ධාව අමූලිකා සද්ධාව ලෙස හැඳින්වේ.

අකාරවතී සද්ධාව යනු ධර්මය තුළ මුල් බැස ඇති, හෙවත් ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ඇති කෙනාගේ සද්ධාවයි. වීමංසක සූත්‍රයෙහි (ම.නි. 1 ) අකාරවතී සද්ධාව විස්තර වන්නේ, හොඳින් මුල් බැස ඇත. (මූලජාතා හෝති පතිට්ඨිතා) ලෝකයේ කිසිදු ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ දෙවියකුට හෝ මාරයකුට හෝ බ්‍රහ්මයකුට හෝ වෙනස් කළ නොහැකි සද්ධාව ලෙසයි.

මෙයින් පැහැදිලි වන්නේ මාර්ගඵල ලාභී කෙනකුගේ සද්ධාව අකාරවතී සද්ධාව ලෙස විස්තර වන බවයි.

ප්‍රඥාවෙහි ද ආකාර දෙකකි. එනම් ලෞකික ප්‍රඥාව හා ලෝකෝත්තර ප්‍රඥාව වශයෙනි. හොඳ නරක පිළිබඳ දැනීම, යහපත අයහපත පිළිබඳ දැනීම, කළ යුතු නොකළ යුතු දේ පිළිබඳ දැනීම, වරද නිවරද පිළිබඳ දැනීම ඇතිව යහපත් කටයුතුවල යෙදෙන පුද්ගලයා තුළ ඇති ප්‍රඥාව ලෞකික ප්‍රඥාවයි.

ලෝකයේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් වන බව ප්‍රඥාවෙන් දැන දැක ගැනීම ලෝකෝත්තර ප්‍රඥාවයි. එනම් සෝතාපන්න ආදී මාර්ග ඵලයන්ට පැමිණි කෙනා තුළ ඇති ප්‍රඥාවයි.

අමූලිකා සද්ධාවෙන් යුතු කෙනා දන්දීමෙහි විපාක ඇත. මෙලොව පරලොව ඇත ආදී වශයෙන් සඳහන් වන දස වස්තුක සම්මාදිට්ඨියෙන් යුතු වේ. එබැවින් ඔහු අයහපත් කටයුතුවලින් වැළකී යහපත් කටයුතුවල යෙදේ. එය ඔහුගේ ලෞකික ප්‍රඥාවයි. අකාරවතී සද්ධාවෙන් යුතු කෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා දිට්ඨිය වශයෙන් සඳහන් වන, දුක පිළිබඳ අවබෝධය (දුක්ඛෙ ඤාණං) දුක හට ගැනීම පිළිබඳ අවබෝධය (දුක්ඛ සමුදයේ ඤාණං) දුක නිරුද්ධවීම පිළිබඳ අවබෝධය (දුක්ඛ නිරෝධේ ඤාණං) දුක නිරුද්ධ වන වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධය (දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඤාණං) යන ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුතු වේ. එය ඔහුගේ ලෝකෝත්තර ප්‍රඥාවයි.

මේ අනුව සද්ධාව හා ප්‍රඥාව එකිනෙක බැඳී පවතින කරුණු දෙකක් බව පැහැදිලි වේ. එමෙන් ම සද්ධාවෙහි දියුණුව යනු ප්‍රඥාවෙහි දියුණුවයි. ප්‍රඥාවේ දියුණුව යනු සද්ධාවෙහි දියුණුවයි. ප්‍රඥාවෙහි දියුණු වීමකින් තොරව සද්ධාව දියුණු වේ යැයි කීම මුළුමනින් ම වැරැදි ප්‍රකාශයකි.

ප්‍රඥාවෙහි පරිපූර්ණ දියුණුව නම්, සියලු ආස්‍රව ක්ෂය කොට අරිහත්වයට පත්වීමයි. එතැන්හි දී තවදුරටත් සද්ධාවක් (විශ්වාසයක්) අවශ්‍ය නොවේ. එනිසාම සියලු ආස්‍රව ක්ෂය කළ රහතන් වහන්සේට ‘අසද්ධා’ යැයි සූත්‍ර දේශනාවල සඳහන් වේ.

සද්ධාව දියුණු වන්නේ ප්‍රඥාව දියුණු වීමෙන් නම් ප්‍රඥාව දියුණු කර ගන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු පුහුණු කිරීමෙන් තොරව කෙනෙක් විශාල පින්කම් කළත්, බොහෝ වියදම් කර දන්දීම් කළත්, වෙනත් වත් පිළිවෙත් කොපමණ කළත් එයින් සද්ධාවෙහි දියුණුවක් බලාපොරොත්තු විය නො හැකි ය. මෙයින් අදහස් වන්නේ එවැනි පින්කම් නො කළ යුතු බව නොවේ. ඒවායින් සද්ධාවෙහි දියුණුවක් අපේක්ෂා කිරීම වැරැදි බවයි.

අමූලිකා සද්ධාවෙන් යුතු කෙනා පෘථග්ජන කෙනා වශයෙන් සූත්‍ර දේශනාවල සඳහන් වේ. එමෙන්ම දුස්සීල පෘථග්ජන පුද්ගලයෙක් හා සිල්වත් පෘථග්ජන (කල්‍යාණ පෘථග්ජන) පුද්ගලයෙක් ද සිටින බව දක්ඛිණ විභංග සූත්‍රයෙහි (ම.නි. 3) සඳහන් වේ.

අකාරවතී සද්ධාවෙන් යුතු කෙනා ‘ආර්ය ශ්‍රාවකයා’ වශයෙන් හඳුන්වයි. මෙම ආර්ය ශ්‍රාවකයාගේ සද්ධාව කිසිදු අයුරකින් වෙනස් නොවේ. එයට හේතුව එය ප්‍රඥාව හා බැඳී තිබීමයි. ආර්ය ශ්‍රාවකයකු මරණයට පත් වී නැවත දෙව්ලොව හෝ මිනිස් ලොව උපත ලැබුවත් ඒ සද්ධාව වෙනස් නොවී පවතී. එමෙන්ම පියවරෙන් පියවරට එම සද්ධාව පරිපූර්ණ කර ගැනීමට ඔහු උනන්දු වේ.

එනමුත් අමූලිකා සද්ධාවෙන් යුතු පෘථග්ජන පුද්ගලයාගේ සද්ධාව ඕනෑම මොහොතක ඕනෑම කරුණකින් නැති වී යා හැකි ය. මරණය දක්වා සද්ධාව ආරක්ෂා කර ගත්තත් මරණයෙන් පසු නැවත මිනිස් ලොව ම ඉපදී සද්ධාවෙන් තොර අයකු වීමට ඉඩ ඇත. බොහෝ විට සිදු වන්නේ නිරය ආදී දුගති ලෝකවල ඉපදීම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

අකාරවතී සද්ධාවෙන් යුතු කෙනාගේ සද්ධාව, ‘සද්ධා ඉන්ද්‍රිය’ ලෙස හඳුන්වයි. ඉන්ද්‍රිය ධර්ම පහක් (05) ඇත. එනම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පහයි. මෙම ඉන්ද්‍රිය ධර්ම වෙන් වෙන් වශයෙන් නොපිහිටයි.

එමෙන් ම ප්‍රඥා ඉන්ද්‍රිය හෙවත් හටගැනීම, නැතිවීම (සමුදය - වය) දක්නා නුවණ ඇති නොවන තාක් අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම නොපිහිටන බව ‘ආපණ සූත්‍රයෙහි’ (සං.නි. 5.2) සඳහන් වේ. මේ නිසා පෙර සඳහන් කළ අමූලිකා සද්ධාව කිසිසේත් ම සද්ධා ඉන්ද්‍රිය නොවන බව ඉතා හොඳින් තේරුම් ගත යුතු ය. සුළු වශයෙන් හෝ ධර්මයෙහි හැසිරෙන සෑම දෙනා තුළම සද්ධාව, විරිය, සිහිය යම් පමණකට තිබුණත් ඒවා ඉන්ද්‍රිය ධර්ම නොවන බව පහදා ගත යුතු වේ. “මහාසලායතනික සූත්‍රයෙහි” (ම.නි. 3) සඳහන් වන අන්දමට මෙම ඉන්ද්‍රිය ධර්ම ඇතුළු බෝධිපාක්ෂික ධර්ම තිස්හත ම (37) වැටෙන්නේ විපස්සනා භාවනාව මුහුකුරා යන අවස්ථාවේ දී ය. එනම් ඇස ආදී ආයතනයන්ගේ අනිත්‍ය බව (හෝ පඤ්ච උපාදානස්ඛන්ධයෙහි අනිත්‍ය බව) ප්‍රඥාවෙන් දකින විට ය.

“පටිපන්න සූත්‍රයෙහි” (සං.නි. 5 - 2) සඳහන් වන පරිදි ඉන්ද්‍රිය ධර්ම වැඩීමේ ආරම්භය “සද්ධානුසාරී” මට්ටමයි. අවම වශයෙන් සද්ධානුසාරී මට්ටමට පත් නොවූ සියලු දෙනා පෘථග්ජන පුද්ගලයන් බව එම සූත්‍රයේ සඳහන් වේ.

එසේම සද්ධානුසාරී පුද්ගලයා ඇස, කන, ආදී ආයතනයන්ගේ අනිත්‍ය බව පිළිබඳ නිශ්චිත බවට පත්වී ඇති බව “ඔක්කන්ති සංයුත්තයෙහි” (සං.නි. 3) සූත්‍ර දේශනාවලින් ඔප්පු වේ. (සද්දහති අධිවුච්චති) මේ නිසා තමන් තුළ ඇති සද්ධාව පමණ කොට ගෙන සද්ධානුසාරී බවට පත් වී ඇති බව සඳහන් කරයි නම් බොහෝ ප්‍රවේශම් විය යුතු ය. එය තමාට ම අයහපත පිණිස හේතු විය හැකි ය.

මෙම කරුණු අනුව සද්ධාව ස්ථාවර තැනකට පත්වන තෙක් ම අප සියලු දෙනා සිටින්නේ අවදානම් තැනක බව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. මේ ජීවිතය තුළ කොපමණ සද්ධාවකින් කටයුතු කළත් එය ප්‍රඥාව හා එක්වී නොමැති නම් ඕනෑම මොහොතක ඕනෑම අයකුට එම සද්ධාවට අනතුරු කළ හැකි වේ.

සද්ධාව මූලික කොට අප කරන කුඩා හෝ මහත් හෝ ඕනෑම පින්කමකින් සසර සැප සලසන බව ඒකාන්ත ය. නමුත් එම කර්ම විපාක දී අවසන් වූ පසු නැවත දුගතියට යා හැකි ය. එමෙන්ම තිරිසන් යෝනියේ ඉපිද සැප ලබා එම කර්ම ගෙවා දැමීම ද සිදුවිය හැකි ය.

මේ නිසා බුදුසසුනක් ලද මේ මොහොතේ අප වඩාත් උත්සාහ දැරිය යුත්තේ අප තුළ ඇති සද්ධාව ස්ථාවර කර ගැනීම පිණිස ය. බුදුපියාණන් වහන්සේ “ඨාන සූත්‍රයෙහි” (අං.නි. 3) දේශනා කොට වදාළේ “මම එකතැන පිහිටා තිබෙන සද්ධාව වර්ණනා නොකරන බවයි.” සද්ධාවෙහි දියුණුව ම වර්ණනා කරන බව දේශනා කොට වදාළා.

ධම්ම පදයෙහි සඳහන් වන රටක රජකම ලබනවාටත් වඩා, දිව්‍ය ලෝකයේ උපත ලබනවාටත් වඩා, සක්විති රජකම ලබනවාටත් වඩා, සෝතාපන්න ඵලය ම උතුම් වේ. යන ගාථාවෙන් ද මේ බව වඩාත් හොඳින් තහවුරු වේ.

සද්ධාව දියුණු කර ගැනීමේ වැඩපිළිවෙළ යම් කිසිවකු විසින් ආරම්භ කරයි නම්, ඔහු සමාජයට යහපත සලසන අයකු බවට පත්වේ. එයට හේතුව නම් සද්ධාව දියුණු කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භය සීලයයි. කය වචනය සංවර කොට ධර්මයෙහි ප්‍රායෝගික බව හොඳින් තේරුම් ගෙන පන්සිල්, අටසිල් රකින පුද්ගලයා සෑම විටම සමාජයට යහපත කරන අයකු වේ. එමෙන් ම ඔහු කය වචනය සංවර කර ගන්නා අතරම ඇස, කන ආදී ඉන්ද්‍රිය සංවර කර ගැනීමට උත්සාහ කරයි. එම ඉන්ද්‍රිය සංවරය දියුණු වීමෙන් ඔහු අධික ආශාවත්, ක්ෂණික කෝපයත්( ගැටීමත්) පාලනය කර ගනී. එනිසාම ඔහුගෙන් සමාජයට වන අයහපත ඉතාම අඩුවේ. මෙය සිහිය (සති) දියුණු කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භයයි. ඔහු සෑම විටම සිහියෙන් යුතුව කටයුතු කිරීමට උත්සාහ කිරීම නිසා ම ඉන්ද්‍රිය සංවරයත්, සිල්පද ආරක්ෂා කිරීමත් ඉතා ම පහසු, සතුට ඇතිකරන කරුණක් වේ.

සතිය (සිහිය) දියුණු කිරීම නිසා සමථ - විපස්සනා වශයෙන් සිත දියුණු කිරීමට අවස්ථාව ලැබේ. මෙය පුද්ගලයකුගේ ධර්මානුකූල හැසිරීමේ ඉතා ඉහළ දියුණුවකි. මෙම දියුණුවත් සමඟ ම වැඩෙන්නේ සද්ධාවෙහි දියුණුවයි.

එයට හේතුව නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙහි ප්‍රායෝගික භාවිතය පිළිබඳ හොඳ වැටහීමක් සමඟ ඒ තුළින් සතුටක් ද ලබන බැවිනි.

සද්ධාවෙහි ස්ථාවර භාවයට පත්වීම පිණිස නම් උපදවා ගත් විපස්සනා භාවනාව තුළින් අනිත්‍ය බව පිළිබඳ වැටහීම ලැබිය යුතු ය. දියුණු කළ විපස්සනා සමාධිය තුළින් මෙම වැටහීම ලැබීමට නම්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳ ධර්මයේ සඳහන් වන අයුරින් නුවණින් විමසා බලා තේරුම් ගෙන තිබීම ඉතා වැදගත් වේ. එම අවබෝධය ලැබිය නොහැකි දෙයක් නොව උත්සාහය, වීරිය තුළින් ලැබිය හැකි දෙයක් බව සලකා ඒ සඳහා උත්සාහ කිරීමෙන් තමාට මෙන් ම සමාජයට ද විශාල යහපතක් සිදුකරන බව නිතර සිහි කිරීම ඉතා වැදගත් වේ.

සෑම දෙනා මේ කරුණ විමසා බලා තේරුම් ගනී නම්, හෙට දවසේ අප ප්‍රාර්ථනා කරන යහපත් සමාජය ඒ අයුරින් ම ලැබිය හැකි නොවන්නේ ද?