Print this Article


ඓතිහාසික බඩගමුව රාජමහා විහාරයීය අභිනව සෑ රදුන් වහන්සේ සම්බුදු සසුනට පිදෙයි

ඓතිහාසික බඩගමුව රාජමහා විහාරයීය අභිනව සෑ රදුන් වහන්සේ සම්බුදු සසුනට පිදෙයි

කුරුණෑගල ඓතිහාසික බඩගමුව රාජමහා විහාරයේ වෙහෙර වහන්සේ, විහාර මන්දිරය, ධර්මශාලාව ඇතුළු නව විහාරාංග විවෘත කිරීමත්, තත් විහාරාධිපති, ඓතිහාසික සෝමවතී රාජමහා විහාරාධිපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයන අංශයේ වැඩබැලූ අංශාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත් වර්ගික කාරක මහා සංඝසභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නාහිමිපාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනයත් නිමිත්තෙන් මෙම 25 වැනි දින විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ.

ඓතිහාසික සත් කෝරළයේ වෑඋඩවිල්ලි හත්පත්තුවේ කුරුණෑගල දඹුල්ල මහා මාර්ගයේ හමුවන බඩගමුව රක්ෂිත වනය පසු වන සීමාවේ මෙම පෞරාණික ටැම්පිට විහාරස්ථානය පිහිටා තිබේ.

ප්‍රවර උපාලි මහ තෙරුන් ප්‍රමුඛ ස්‍යාම ජාතික හිමිවරුන් වර්ෂ 1753 ඇසළ පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහා විහාරයේ දී උපසම්පදා කටයුතු ආරම්භ කරන ලදී. ඉන් පසු සංඝරාජ පදවි හා මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක පදවි පිහිටුවා ස්‍යාම ජාතික තෙරවරුන් සංඝරාජ හිමියන් ප්‍රමුඛ ලාංකික තෙරවරුන් සමග අනුරාධපුර වන්දනාවේ වැඩම කරන විට එවක සත් කෝරළයේ අධිපති වූ රණවනරාළ නිළමේතුමා විසින් බණශාලාපිටිය නම් වූ ඉඩමෙහි දානය පූජා කොට තිබේ.

අනුරාධපුර වන්දනාව නිමවා පැමිණෙන හිමිවරුන්ට වස් සමාදන් වීම පිණිස රණවනරාළ නිළමේතුමා විසින් මෙහි විහාරස්ථානයක් ගොඩ නංවා පූජා කරන ලදින් උපාලි තෙරුන් හා සංඝරාජ හිමියන් ඇතුළු මහා සංඝ රත්නය මෙහි සීමාවක් සම්මත කොට තිබේ. එය ද්වීභූමික (දෙමහල්) පෝය සීමාව සහිත ටැම්පිට විහාර මන්දිරයක් වශයෙන් පැවතුණි. වස් අවසන කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පැමිණ ඇත් දළ කරඬුවක් හා විජිනිපතක් පිරිනමා කඨින පූජෝත්සවය පවත්වන ලදින් එම පුරාවස්තු අද දක්වා සංරක්ෂණය වී පවතී.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මහ ඊරිමින්නේ විපස්සි හිමියන් වෙත මෙම විහාරස්ථානය පවරා දී ඇත. මහ ඊරිමින්නේ විපස්සි හිමියන් උපසම්පදාපේක්ෂක ලාංකික සාමණේර හිමිවරුන්ට කර්මාචාර්ය හිමිනමක වශයෙන් ද, ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සිදු කරමින් රාජපූජිත ව වැඩ සිටි හිමි නමකි. බඩගමුව විහාරයට පැමිණි මහ ඊරිමින්නේ හිමියන් දායකයන් යහපතෙහි යොදවා කහටපිටිය, නාගොල්ල, ඒදඬුවිල ආදී අවට ස්ථානවල මලසුන් ගෙවල් ඉදිකොට කුඩා ඊරිමින්නේ හිමියන් ඇතුළු තම ශිෂ්‍යවරුන් තිබ්බටුවාවේ මහ නාහිමියන්ගෙන් අධ්‍යාපනය හදාරන අතරතුර එම ස්ථානවල කටයුතු සඳහා යෙදවූහ. තමන්වහන්සේ හා සම මට්ටමේ සමත්කම් දැක්වූ වැවගෙදර ධම්මජෝති හිමියන් බඩගමුව විහාරයේ කටයුතුවලට යොදවා මල්වතු විහාරයට වැඩ සංඝරාජ හිමියන් වෙත කළ යුතු උපස්ථාන කළහ.

වැවගෙදර ධම්මජෝති හිමියන්ගේ ශිෂ්‍ය වූ කුඩා වැවගෙදර හිමියන් හට ශිෂ්‍ය වූ හීනාබෝවේ ඉන්දජෝති මාහිමියන් වෙත ගොඩතලේ සුමංගල හා පහමුණේ සුමන යනුවෙන් ශිෂ්‍යවරයන් වහන්සේ දෙනමක් වූහ. එම තෙනමගේ ශිෂ්‍ය වූ පහමුණේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් වහන්සේ 1927 සිට 1945 අතර කාලයේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබවූහ.

පහමුණේ සුමංගල මහ නාහිමියන් විසින් ස්වකීය ශිෂ්‍යවර සිරිමල්වත්තේ පියරතන නාහිමියන් වෙත බඩගමුව රාජමහා විහාරස්ථානයේ කටයුතු පවරා දී තිබුණි. උන්වහන්සේගේ මූලිකත්වයෙන් 1945 වර්ෂයේ වනගත ව පැවති සෝමාවති මහ සෑ රදුන් වහන්සේ සොයා ගැනීම මෙම විහාර ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියකි. ඉනික්බිති සෝමාවතී රජමහා විහාරය, බඩගමුව රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍යය හොබවන ලද්දේ රාජකීය පණ්ඩිත පහමුණේ ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ බඩගමුව රාජමහා විහාරයේ සංඝාවාසය දෙමහල් ව ඉදි කරවූහ. එසේම බඩගමුව විහාර සන්තක දේපළ නිරවුල් කරවීම ද මේ යුගයේ සිදු වුණි.

වර්ෂ 1999 දී පහමුණේ ගුණානන්ද අනුනාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසු වර්තමාන විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ විහාරස්ථානයේ නූතන නවෝදය උදා කිරීමට ක්‍රියා කළහ.

ඒ අනුව සෝමවති මහ සෑ රදුන්ගේ අනුරුවක් වශයෙන් මලසුන් ගෙවල් දෙකක් සහිත ව අඩි හතළිහකට වඩා උසැති අභිනව සෑ රදුන් වහන්සේ ඉදි කොට, අභිනව විහාර මන්දිරය හා ධර්ම මන්දිරය ඉදිකරවා නාහිමිපාණන් වහන්සේගේ 70 වන ජන්ම දිනයට සමගාමී ව සම්බුද්ධ ශාසනය වෙත පූජා කිරීමට නියමිත ය.

මෙම අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය මහාවිහාරයේ ම අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ ශතාධික මහා සංඝ රත්නය වැඩම වීමට නියමිත ය.