Print this Article


රත්නපුර හංගමුව ශ්‍රී ජයබෝධි විහාරයේ සෑ රදුන් සම්බුදු සසුනට පිදෙන වගයි

රත්නපුර හංගමුව ශ්‍රී ජයබෝධි විහාරයේ සෑ රදුන් සම්බුදු සසුනට පිදෙන වගයි

රත්නපුර හංගමුව ශ්‍රී ජයබෝධි විහාරය ඉපැරැණි බෝධි වෘක්ෂයක් වට කොට ඉදි වෙමින් පවතින ජයබිමක් ම වූ මහා පින්බිමකි.

එම විහාරස්ථානයට මෙතෙක් අඩුවක් ව පැවති චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම් කටයුතු නිම කිරීමත් සමඟ සියලු විහාරාංගයන්ගෙන් සමන්විත වන්නේ ය.

මීට දශක හතරකට පමණ පෙර පූජ්‍ය මිද්දෙණියේ කාශ්‍යප හිමිපාණෝ යන එන අතරමඟ මෙහි බෝධි වෘක්ෂය දැක එහි ඇති ඉපැරැණි බව මෙන් ම සුවිශේෂී බව ද හඳුනාගෙන එහි ආරාමයක් ඉදි කිරීමට මුල පිරුවේ අසල්වැසි තරුණ පිරිසගේ මැදිහත් වීමෙන් සහ වැඩිහිටියන්ගේ දායකත්වයෙනි.


මිද්දෙණියේ කාශ්‍යප හිමි

එම දායක පිරිස අතරින් මේ වන විටත් විහාරස්ථානයේ ප්‍රධානතම දායක පින්වතකු ලෙස කටයුතු කරන විශ්‍රාමලත් තැපැල් අධිකාරී වික්‍රම වනසුන්දර මහතා අතීත මතකයන් මෙසේ විස්තර කළේය.

තාවකාලික ව ඉදි වුණ සංඝාවාසය සුව පහසුවෙන් අඩුය. පොල් අතු මඩුවකි. පියවරෙන් පියවරට විහාරස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කැප වූහ. වත්මන් විහාරාධිපති ඇත්ඔය මහින්ද හිමියන්ගේ සම්ප්‍රාප්තියත් සමඟ එහි ක්‍රමානුකූල සංවර්ධනයකට කෙරිණි.

තාවකාලික සංඝාවාසය සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමට මුල පිරූ උන්වහන්සේ බුදුමැදුරක් සහ ධර්ම ශාලාවක් ද ඉදි කිරීමට මුල පිරුවේ ප්‍රදේශවාසී දායක පින්වතුන්ගෙන් ලැබුණ නොමද දායකත්වය සහ ධන පරිත්‍යාගය ද නිසා ය.

2003 වසරේ දී ඇති වුණ මහ ගංවතුර ජයබෝධි විහාරයේ ගොඩනැඟිලි අවශ්‍යතාව වෙනස් විය යුතු බව දායක පින්වතුන්ට අවබෝධ කර වූයේ මහ ගංවතුරට කොටු වුණ විහාරාධිපති නාහිමියන්ට දිවි ගලවා ගන්නට පුරා රැයක් පහන් වන තුරු පුරාණ බෝධි වෘක්ෂයේ අත්තක ලැගුම් ගෙන සිටීමට සිදුවීමත් සමඟ ය.

පසු කලෙක විහාරාධිපති ඇත්ඔය මහින්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී පදවියට පත් මොදරවානේ ඥානකිත්ති හිමි ඒ සියලු අවශ්‍යතා සපුරාලමින් ගං වතුරට ඔරොත්තු දෙන අයුරින් පමණක් නොව නිරුපද්‍රිත ව ගං වතුර කාලයටත් වැඩ සිටිය හැකි ආකාරයේ සුවිසල් සංඝාවාසයක් ද ඉදි කළහ. මේ වන විට එම සංඝාවාසය පැවිදි ශිෂ්‍ය සාමණේරයන් වහන්සේ එකොළොස් නමකගේ වාසස්ථානය බවට පත් ව ඇත. එහි බිම් මහල සුවිසල් ධර්ම ශාලවකි.දහම් පාසල් සහ ගමේ අනකුත් පොදු කටයුතු වෙනුවෙන් ඉඩ හැරුණු බහු කාර්ය ශාලාවකි.

වත්මන් විහාරාධිකාරී පණ්ඩිත මොදරවානේ ඤාණකිත්ති හිමි ඊළඟට අත තැබුයේ විහාරස්ථානයට අඩුවක් ව පැවති චෙත්‍යයක් ඉදි කිරීමට ය. දායක පින්වතුන්ගේ නොමද දායකත්වය හා පරිත්‍යාග නිසා බලාපොරොත්තු වූ කාලයටත් පෙර එහි කටයුතු නිමා කරන්නට හැකි වීම ජයබෝධි විහාරය ඉදි වුණ ජය බිමෙහි අසිරිමත් බව හා ඉපැරණි බෝධීන් වහන්සේගේ බල මහිමය විය හැකි බව සැමගේ විශ්වාසය යි.

එලෙස ඉදි වුණ සෑ රදුන්ගේ ධාතු නිධානය සහ කොත් පැළඳවීම මේ මස 25 සිදු කෙරෙන අතර 23 සිට 26 වනදා දක්වා පින්කම් මාලාවක් පැවැත්වේ.