Print this Article


 මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මාදෝවිට වජිරබුද්ධි නාහිමියෝ හේවාගම් කෝරළයේ

ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

වැලිමඩ මාදෝවිට ග්‍රාමයේ විසු සාම විනිසුරු එන්.එම්. ගුණසේකර සහ ටී. ඇම්. ලීලාවතී දම්පතින් යුවළ තම මව්පියන් කොට 1968 ඔක්තෝබර් 11 වැනි දා පින්වත් පුත්රුවනක් මෙලොව ජන්මලාභය ලැබීය. ඔහුට නවරත්න මුදියන්සේලාගේ වජිර නවරත්න යැයි නම් තැබුණි. පසළොස් විය පිරෙද්දී 1983 වසරේ ජනවාරි 13 වැනි දා මාදෝවිට වජිරබුද්ධි නමින් උතුම් පැවිදි භූමියට ඇතුළත් ව වැලිමඩ බිබිලගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ වසන්නට විය.

1986 අගභාගයේ දී තම ඥාතිවර මාදෝවිට පඤ්ඤාකිත්ති නායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කොට මූලික පිරිවෙන් අධ්‍යාපනය සඳහා අගලවත්ත බෙල්ලන ධර්ම විද්‍යාලයට සහ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනට ඇතුළත් වී බණ දහම් ප්‍රගුණ කොට උගත් පඬිරුවනක් වන්නට විය.

1990 වසරේ ජූනි මස 29 වැනිදා උන්වහන්සේගේ උපසම්පදා විනය කර්මය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ රාජමහා විහාර සීමා මාලකයේ දී සිදු කරන ලදි. සාහිත්‍යාචාර්ය පණ්ඩිත රත්කරව්වේ මේධානන්ද නාහිමි, සීනාදි සිව් කෝරලයේ ප්‍රධාන සංඝ නායක මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත පෝරේ සුමන සිරි නාහිමි, රුක්මලේ ධම්මකිත්ති නාහිමි වැනි වියත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් අවවාද අනුශාසනා මඟ පෙන්වීම හා ආශිර්වාදය උන්වහන්සේට හිමි විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ද, කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබාගත් උන්වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨ පශ්චාත් උපාධිය අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ගත්හ.

1998 වසරේ දී පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උප ගුරුවරයකු වශයෙන් සේවයට බැඳුණු උන්වහන්සේ 2000 වසරේ දී එම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති ධූරයට පත්විය.

සංඝ ශෝභන ගුණ සමුදායෙන් සමුපේත ව උන්වහන්සේ වසර 38 පමණ කාලයක් හෝමාගම පුරාණ විහාරස්ථානයේ වැඩවසමින් මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමියන් අනුදත් යුග මෙහෙවර ඉදිරියට ගෙන යමින් සතරපේරුවේ දායකකාරකාදීන්ගේ ගෞරව ප්‍රසාදය ලබා ගනිමින් සිදුකරන ලද විහාර සංවර්ධනය හා ශාසනික මෙහෙවර අපමණ ය. හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, හෝමාගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, ධර්මපාල පරෝපකාර සමිතියේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික හා කොළඹ දිස්ත්‍රික් සභාපති පුරාණ විහාරස්ථ සමාජ සංවර්ධන පදනමේ සභාපති වැනි තනතුරු ගණනාවක් හොබවමින් සිදු කරන්නා වූ ආගමික, ශාසනික, සංස්කෘතික, සාමාජීය අමිල යුග මෙහෙවර හා උභය ලෝකාර්ථ චර්යාව ප්‍රශංසනීය වේ.

උන්වහන්සේගේ සේවාවන්ට කෘතගුණයක් ලෙසින් හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් උන් වහන්සේ පිදුම් ලබා ඇත.