Print this Article


සැමියාගේත් බිරිඳගේත් හික්මීම විවාහයේ පැවැත්ම තහවුරු කරනවා

සැමියාගේත් බිරිඳගේත් හික්මීම විවාහයේ පැවැත්ම තහවුරු කරනවා

පූර්ව විවාහ උපදේශනය හා පසු විවාහ උපදේශනය කියන්නේ සාර්ථක පවුල් ජීවිතයක් ගොඩනඟාගන්න බෙහෙවින් ම මහෝපකාරී වන උපදේශන කාණ්ඩ දෙකක්. ඒ නිසා විවාහ වෙන්න ඉන්න අයට විතරක් නෙමෙයි, විවාහ වෙලා ඉන්න අයටත් මේ කරුණු බොහොම වැදගත් වෙයි කියලා අපි හිතනවා.

සාර්ථක පවුලක් ගැන කතා කරන කොට ඉස්සෙල්ලා ම මතකෙට එන්නේ ස්වාමියා හා බිරිඳයි. ඒ දෙන්න විසින් තමයි ගෙදරක සියලු කටයුතු හොයා බලා ඉටු කරනු ලබන්නේ. ඒ වගේම පවුලේ සියලු කටයුතුවල ප්‍රධානීන් වන්නේත් බිරිඳ සහ ස්වාමියා කියන දෙදෙනා. ඉතින් ඒ දෙදෙනාගේ චර්යාවේ ස්වභාවය අනුව පවුලක ගුණධර්ම, සිරිත් විරිත් පෝෂණය වන්නේ කොහොමද කියන එක තීරණය වෙනවා.

ඒ දෙදෙනා ම හොඳ කායික හා මානසික සෞඛ්‍යයකින් යුක්ත වෙනවා නම්, ඒ පවුල සාමකාමී වගේ ම සමබර යහපත් පවුලක් බවට පත්වෙනවා. ඉතින් ඒ වගේ පවුල් සංස්ථාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දහම් කරුණු ඕන තරම් අපේ බුද්ධ දේශනාවේ දැක ගන්නට පුළුවන්.

එවැනි එක් වැදගත් අවස්ථාවක් අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ පුඤ්ඤාභිසංධ වර්ගයේ පඨම නකුල සමජීවි සූත්‍රයේ සඳහන් වෙනවා. මේ කතාව ගොඩක් අය අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. අපේ භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර වැඩවාසය කරන කොට එක් දිනක් බුදුරජාණන් වහන්සේගෙන් නකුල මාතාව සහ නකුල පියා මෙහෙම කතාවක් අහනවා. ස්වාමීනී අපි දෙදෙනා තරුණ කාලයේ සිටම මේ දක්වා නොවෙනස් ව එකට ජීවත් වුණා. ඉතින් මරණින් මතුත් අපිට එකට හමුවීමට හැකි දැයි අසනවා. ඒ අවස්ථාවේ දී බුදුන් වහන්සේ කරුණු හතරක් දේශනා කරනවා. ඒ තමයි සම සද්ධා, සම සීල, සම චාග සහ සම ප්‍රඥා.

ස්වාමියා හා බිරිඳ කියන දෙදෙනා තුළ ම මේ ගුණාංග තියෙනවා නම් අනිවාර්යයෙන් ම මරණින් මතු ඔවුනොවුන් හමුවන බව දේශනා කරනවා.

ඉතින් මේ තරම් වයසට ගිහිල්ලත් සතුටු සිතින් බුදුන් වහන්සේගෙන් මෙවැනි ප්‍රශ්නයක් අහන්න තරම් මේ දෙන්නා කොච්චර හොඳීන් ජීවත්වෙලා තියෙනවා ද කියන එක අපිට සුපැහැදිලි වෙනවා. ඉතින් ඔවුන් ළඟ තිබුණු ඒ සැදැහැවත් බව, සිල්වත් බව, පරිත්‍යාගශීලී වීම සහ බුද්ධිමත් වීම කියන කරුණු හතර ඔබත් පවුලේ වගකිවයුතු ස්වාමියෙක්, බිරිඳක් විදියට අනුගමනය කරනවා නම්, අන්‍යොන්‍ය අවබෝධයක් ඇති කර ගෙන වගකීම් හා වගවීම් හරි හැටි ඉටු කර ගෙන ස්වාමියා බිරිඳ එකිනෙකාට ආදරෙන් හා සෙනෙහසින් කෙතරම් හොඳීන් ජීවත් විය හැකි ද කියන කාරණාව මෙයින් පැහැදිලි වෙනවා.

ස්වාමියා හා බිරිඳගේ ආදරබර කැපකිරීම් තුළින් සාර්ථක පවුලක් ලේසියෙන් ම ගොඩනඟා ගන්න පුළුවන් කියන කාරණාව මෙයින් පැහැදිලි වෙනවා.

ඒ වගේම තමයි බුදුන් වහන්සේ පඨම සංවාස සූත්‍රයේ දී දේශනා කරනවා ගෙදරක සිටින බිරිඳ සහ ස්වාමියා ජීවත්වන ආකාර හතරක්.

* මළමිණියක් දෙවියකු සමග වාසය කිරීම,

* මළමිණියක් දේවතාවියක සමග වාසය කිරීම,

* මළමිණියක් මළමිණියක් සමග වාසය කිරීම,

* දෙවියකු දේවතාවියක සමග වාසය කිරීම.

කායික ව කොච්චර ලස්සනට පෙනුමට හොඳට හිටියත් මානසික ව නීච අදහස් තියෙනවා නම් ඒ අවලස්සන ඒ දුගඳ හැමතැන ම පැතිරෙනවා. ඒ නිසා ස්වාමියා හා බිරිඳ යන දෙදෙනා ම සාර්ථක පවුලක් ගොඩනඟා ගැනීමට නම් මේ කරුණු තමන්ගේ මනසට දැඩි ලෙස යොදාගත යුතු වෙනවා.

ධනංජය සිටුතුමා විසින් විවාහයට සූදානම් වන තම විශාකා සිටු දියණියට ලබා දුන් උපදෙස් දහය ද ගෘහ ජීවිතයක් සාර්ථක කර ගැනීමට බෙහෙවින් වැදගත් වෙනවා. මෙම කරුණු දහය බිරිඳකට පමණක් නෙවෙයි ස්වාමියකුටත් බෙහෙවින් උපකාරී වෙනවා. ඒක අද සමාජයේ ඉන්න පිරිමින්ගේ චර්යා ස්වභාවයන් දැක්කාම හොඳට ම පැහැදිලි වෙනවා.

ඒ වගේම අද කාලේ හදිසියේ ම විවාහ දිවියට පත්වෙන දරුවන්ට මේ වගේ උපදෙස් දෙන දෙමාපියෝ ඉතාමත් දුර්ලභ බව තමයි අපිට පෙනී යන්නේ. ඉතින් ඒ කරුණු දහය කෙටියෙන් මෙහෙම දක්වන්න පුලුවන්.

ඇතුළත ගිනි පිටත නොදෙන්න, පිටත ගිනි ඇතුළට නොගන්න, දෙන අයට දෙන්න, නො දෙන අයට නොදෙන්න, දෙන අයටත් නොදෙන අයටත් දෙන්න, සුව සේ හිඳීන්න, සුව සේ අනුභව කරන්න, සුව සේ නිදාගන්න, ගිනි පිරිමසන්න, ඇතුළත දෙවියන් පුදන්න.

මෙම කරුණු දහය වැදගත් වන්නේ කාන්තාවන්ට පමණක් කියලා බොහෝ අය විස්තර කරනවා. මේ කරුණු බිරිඳට වගේම ස්වාමියාටත් බොහෝ සෙයින් වැදගත් වෙනවා කියන එක ඒ කරුණු පරීක්ෂා කිරීමේ දී මනාව පෙනී යනවා.

මෙතැන දී ගිනි කියලා හදුන්වන්නේ ප්‍රශ්න කියන එකයි. බිරිඳ වුව ද, ස්වාමියා වුව ද තම පවුලේ ප්‍රශ්න උපදේශයක් ගතහැකි ආදර්ශවත් චරිතයක් තියෙන කෙනෙක්ට හැර අන් අය සමඟ නො කියන්න ඕන. පිටත ප්‍රශ්න ද දෙපාර්ශවය ම තම ගෙදරට රැගෙන නො ඒමට වග බලා ගන්න ඕන. එසේ නොවුනහොත් එම ප්‍රශ්නවලට මුවා වී අයුතු ප්‍රයෝජන ගන්නන් අය ඕන තරම් දැක ගන්න පුළුවන්.

තමන්ගේ ධනය නිස්කාරණයේ විනාශ නොකර ගෙන ඉතාම ආරක්ෂා සහිත ව තබා ගත යුතු වෙනවා. ණයට දීම, පොලියට දීම වැනි මහන්සියෙන් උපයා ගත් ධනය යෙදවීම අනතුරුදායක යි. ස්වාමියා වුව ද බිරිඳ වුව ද ගෙදර දී මෙන් ම පිටත දී සුව සේ හිඳීය යුතු වෙනවා. පිළිවෙළට, ආකර්ෂණීය විදියට හා වැදගත් විදියට පෙනී සිටීම තමාට මෙන් ම තම පවුලටත් ආලෝකයක් ගෙන දෙනවා.

නියමිත වේලාවට ආහාර ගැනීමත් නියමිත වේලාවට නින්දට යාමත් සියලු දෙනාට ම යහපත් මානසික සුවතාවයක් ඇති කිරීමට හේතුවක් වෙනවා. ස්වාමියා වුව ද ධනය කෙ තරම් උපයනවා උනත් කෙතරම් මහන්සි වෙනවා උනත් නියමිත වේලාවට ආහාර ගැනීම, නිදා ගැනීම වැනි දෑ සිදු කළ යුතු ම යි.

ස්වාමියා මධ්‍යම රාත්‍රී වනතුරු ගෙදර නො පැමිණීම, පිට තැන්වලින් දිගට ම ආහාර ගැනීමට පුරුදුවීම යහළුවන් සමග රාත්‍රිය පහන් වනතුරු එක්රොක් වී සිටීම එතරම් සුදුසු වෙන්නේ නෑ. එමෙන්ම ස්වාමියාත් බිරිඳත් උපයන ධනය දෙදෙනා ම එකසේ සිතා ආරක්ෂා කර ගත යුතු වෙනවා.

එමෙන් ම ස්වාමියා බිරිඳගේ දෙමාපියන්ටත්, බිරිඳ ස්වාමියාගේ දෙමාපියන්ටත් අනිවාර්යයෙන්ම ගරු සැලකිලි දැක්විය යුතු වෙනවා. ඒ තුළින් අන්‍යෝන්‍ය සුහදශීලීත්වය වර්ධනය වෙනවා.

මේ කරුණු දහය තම පවුල් ජීවිතය වඩාත් යහපත් ජීවිතයක් බවට පත් කර ගැනීමට කෙතරම් මහෝපකාරී වනවාද කියන කාරණාව මනාව පෙන්නුම් කරනවා. එකිනෙකාට චෝදනා කර ගන්නවා වෙනුවට ස්වයං ශික්ෂණයක් ඇති කර ගැනීම හරහා බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ සදහා අවශ්‍ය මූලික උපදෙස් බුදුරජාණන් වහන්සේ මැනවින් අපට දේශනා කරලා තියෙනවා.

බිරිඳ සහ ස්වාමියා යහපත් ව සම සිතින් පින් දහම් කටයුතු සිදු කරන්නේ නම්, එහි විපාක දෙදෙනාට ම සම සිතින් භුක්ති විදීමට හැකියාව ලැබෙනවා. ඒ පිළිබඳ සඳහන් වන කතාවක් කෙටියෙන් මෙසේ දක්වන්නට පුලුවන්.

උපරිට්ඨ පසේ බුදුරජාණන් වහන්නේ නිරෝධ සමාපත්තියට සමවැදිලා අවසන් වී පණ්ඩපාතයේ වඩින විට අන්නභාර කියන සිටු මැදුරක සේවය කරපු දුප්පත් පුද්ගලයෙක් හමුවෙනවා. ඒ පුද්ගලයා ළඟ තියෙන්නේ බිරිඳට සහ තමාට දවසට ම හදාගත් ආහාර වේලයි නමුත් අන්නභාර ඒ කිසිවක් ගැන නොහිතා එම ආහාර වේල පසේබුදුන් වහන්සේට පූජා කරනවා. මේක දැකපු බිරිඳත් ප්‍රමෝදයට පත්වෙලා ඒ පින අනුමෝදන් වෙනවා.

මේ පුණ්‍ය ක්‍රියාව දැකපු දෙවියන් ද සාධු කාර පවත්වනවා. ඉතින් අන්නභාර සහ බිරිඳ එකතු ව මේ කරපු පින්කමට දිට්ඨධම්මවේදනීය ආනිසංස විදියට සිටුවරයාගෙන් කහවනු දහසක් ලැබෙනවා. මේක දැනගත් රජතුමාත් අන්නභාරට ඉඩමක් ලබා දෙනවා. ඒ ඉඩමේ තිබිලා රත්තරන් පුරවපු කළ හතරක් හමු වනවා. ඉතින් මේ හැමදේම ලැබුණේ අන්නභාර සහ ඔහුගේ බිරිඳ සම සිතින් තම එකම ආහාර වේල පසේ බුදුන් වහන්සේට පූජා කරපු නිසා.

ඒ අනුව අපිට පැහැදිලි වෙනවා යහපත් වූ සිතිවිල්ලෙන් ස්වාමියා හා බිරිද යහපත් කටයුත්තක් කරනවා නම්, එහි ආනිසංස දෙදෙනාට ම ඉතාමත් හොඳින් භුක්ති විඳීමට හැකියාව ලැබෙනවා කියලා.

අද වනවිට ධර්මයෙන් ඈත් වී, ලෞකිකත්වයට පමණක් සීමාවී, පන්සල් යෑම දානමානාදි කුසල් කිරීම අමුතු විදියක කලාවක් පමණක් බවට පත්වී තිබීම ඉතාමත් කනගාටුදායක කාරණාවක්. විවහා වීමට පෙර හා විවාහ වූ මුල්ම කාලයේ කාන්තාව හා පිරිමියා එකට පෝයට පන්සල් යනවා. සමසිතින් පින් දහම් කරනවා. නමුත් විවාහපත් වී වසර කිහිපයක් යනකොට එම ආදරය සෙනෙහස පෑල දොරින් පැන යනවා. ඉතින් මේ හැමදේකට ම හේතුව මොකක්ද කියලා බලනකොට පෙනෙන කාරණාව තමයි අනවබෝධය. තම තමන්ගේ වගකීම් නිසි අයුරින් ඉටු නොවීම. අධික කාර්ය බහුලත්වය. මුදල් මත ම තම ජීවිතයේ සියලු දේ තීරණය කිරීම.

මේ වගේ කරුණු නිසා තමයි පවුලේ තිබුණු යහපත් වටපිටාව නැති වෙලා ගිහින් දෙවියකු දේවතාවියක වෙනුවට වෙනම ම දෙදෙනෙක් නිර්මාණය වෙන්නේ. වැරැදිවලට පෙළඹෙන්නේ. ජීවිතය මරණයෙන් කෙළවර වන තැනට ප්‍රශ්න ගැටලු දිග්ගැස්සෙන්නේ.

අන්න ඒ නිසා බුදු දහමේ සඳහන් වන පූර්ව හා පසු විවාහ උපදෙස් මනාව කියවා තේරුම් අරගෙන එම කරුණු ස්වාමියෙක් බිරිදක් විදියට තමන්ගේ ජීවිතයට බද්ද කර ගෙන තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කර ගැනීමට අවශ්‍ය වපසරිය ගොඩනඟා ගන්න කියන කාරණාව සියලු දෙනාට මතක් කර සිටිනවා.

මේ ධර්මය බුද්ධිමතුන් විසින් අවබෝධ කර ගන්නා ධර්මයක් බැවින් ඔබත් උසස් නුවණකින් හෙබි බුද්ධිමතකු වීමට උත්සාහ ගන්න. ඒ තුළින් ඔබටත් ඔබේ පවුලේ සැමටත් යහපත සෞභාග්‍යය උදාවනු ඇත.