දෙව්ලොව දොරටු විවර කර දුන් සුමනාගේ දානය
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අතීතයේ ලංකාදීපය නම් පින්බිම හඳුන්වලා තියෙන්නේ තාම්‍රපර්ණි දිවයින කියලා. පැරැණි
පොත්වල සඳහන් වන විදිහට තාම්‍රපර්ණි දිවයින යොදුන් තුන්සියයක් දිගින් යුක්ත වෙලා
තියෙනවා. හැම පැත්තෙන් ම මුහුදු ජලයෙන් වටවෙලා. ඒ වගේම දිවයිනේ හැඩය හරියට සඳමඩලක්
වගේ කියලාත් සඳහන් වෙනවා. මේ ලස්සන දිවයිනේ අගනගරය වෙලා තියෙන්නේ අනුරාධපුරයයි.
ශක්‍රයාගේ පුරය මෙන් එකල නුවර සම්පත්වලින් බැබළිලා. මේ නුවර ජීවත්වුණ අඹුසැමි
යුවළකට රූප සම්පත්තියෙන් බබළන පින්වන්ත දියණියක් ලැබෙනවා. තමන්ගේ පවුලට සතුට අරගෙන
ආපු දියණිය නිසා ඇයට සුමනා කියලා නම් තබනවා.
කිසියම් අවාසනාවක් නිසා දරුවාගේ මව අකාලයේ මිය යනවා. එදා ඉදන් දරුවා හදා වඩා ගන්නේ
පියතුමායි. දියණිය තරුණ වයසට පත් වෙනවා. දවසක් පියා සමග දබරයක් ඇතිවෙලා කෝපයෙන් ම
ඇය නිවසෙන් පිටවී යනවා. බැහැරට ගියත් යන්න තැනක් තිබුණේ නෑ ඒ නිසා තීරණය කරනවා අසල
තියන කඩරොද නම් කැලෑවට යන්න. අලි, කොටි හා වලසුන් වැනි සිවුපා සතුන්ගෙන් වගේම
සර්පයන්ගෙන් ගහන වනයේ භය නැතිව ම ඉන්න තීරණය කළේ තමාගේ හිතේ ඇති වුණු කෝපය අධික
නිසාමයි. විශාල ගහක් මුලට ගිහින් එතැන නතර වෙලා සිදුවුණු හැමදේම කල්පනා කරනවා.
තමන්ගේ පියා තමන් සොයා ගෙන එන බවත් හොඳින් ම අවබෝධ කර ගන්නවා. තමන් හිතපු විදිහට ම
එදින හවස ම තමන්ගේ දුව හොයාගෙන ගම පුරාම ඇවිදිනවා. ඒත් දකින්න ලැබෙන්නේ නෑ. දෙවැනි
දවසේත් ඉර බැස යන තුරු ම හොයනවා. කඩරොද මහ කැලෑව ම පීරලා හොයනවා. ඒත් හොයා ගන්න
ලැබෙන්නේ නෑ. ඒ හැම වෙලාවක ම දියණිය කරන්නේ සැඟවී සිටින එකයි. පියතුමා ගියායින්
පස්සේ නැවතත් අර විශාල ගහමුලට ඇවිත් හිඳීනවා. තමන්ගේ තාත්තා සමඟ ඇති තරහ නිසා තීරණය
කරනවා කිසිම දෙයක් කන්නේ නැතිව ඉන්න. ඒ වගේම නිරාහාරව ම මිය යන්නත් තීරණය කර
ගන්නවා. මෙහෙම දවස් දෙකක් ගත වුණා. ශරීරයට ටිකෙන් ටික අපහසුතා දැනෙන්න පටන් ගත්තා.
තාත්තා එක්ක ඇති අමනාපයත්, කොපයත් නිසා බඩ ගින්න ඉවසා ගත්තා. පිපාසය ඉවසා ගත්තා.
මරණය ම ප්‍රාර්ථනා කළා. තවදුරටත් හිටගන්න වත් බැරි තත්ත්වයකට දවස් පහ හයක් යන කොට
පත් වුණා. හත්වැනි දවස මරණයේ අබියසට ම ආවා. කෝපය නිසා මරණය ම කැඳවා ගන්නයි මේ
සූදානම.
බිම දිගා වී ක්ලාන්ත ගතියෙන් සිහියත් අසිහියත් අතර ජීවත් වෙමින් ඉන්න කොට කැලෑව
මැදින් පටු පාරකින් ගමන් කරන අදහසින් එක් මගියෙක් පැමිණියා. ඔහු රූමත් තරුණියට
සිදුවී ඇති විපත දැක්කා. බොහොම දුකටත්, වේදනාවටත්, පුදුමයටත් පත් වුණා. දරු
සෙනෙහසින් කතා කරලා මගියා කියනවා ‘දුවේ, ඔබ බොහොම දුර්වල මට්ටමකයි ඉන්නේ. මම මේකට
හේතුව මොකක් ද කියලා අහන්නේ නෑ. ඊට ඉස්සෙල්ලා ඔබ ශරීරයට ශක්තිය ලබා ගන්න ඕන. මම මේ
කැලෑව මැදින් දුර ගමනක් යාමටයි පැමිණියේ. ඒත් ඔබට පිහිට නොවී මට මෙතැනින් ගමන්
කරන්න බෑ. මම ගෙනියන බත් පත මම ඔබට දෙන්නම්. ඒක අනුභව කරලා ශරීර ශක්තිය ඇති කර
ගන්න. නැවත නැඟී සිට කැමැති තැනක යන්න‘යි කිව්වා.
කොච්චර දුර්වල වෙලා හිටියත් සුමනා තරුණියත් වචන අහුලමින් කථා කළා. මගියාට කියනවා
‘පින්වත, මම දැන් බොහෝම දුර්වලයි. ක්ලාන්ත ගතියෙනුයි ඉන්නේ. මට කෑම රුචියක් නෑ. ඔබ
ඈත ගමනක් යන බව පේනවා. ඒ නිසා ඔබගේ ගමන වෙනුවෙන් සකසා ගෙන ආපු කෑම එක ඔබ ම අරගෙන
යන්න. මට මේකෙන් ප්‍රයෝජනයක් නෑ. මම තව ටික මොහොතකින් මිය යනවා. ඒ නිසා ඔබ ම මෙය
රැගෙන යන්න‘ කියලා කිව්වා.
මගියා ඒ වචන අහගෙන ඉදලා කියනවා ‘මම මේ කෑම පාර්සලය දැන් පරිත්‍යාග කරලා ඉවරයි. මම
කෙනෙකුට දීපු දෙයක් නැවතත් අරගන්නේ නෑ. ඒ ගැන හොයන්නෙත් නෑ. ඔබ කැමැති නම් අනුභව
කරන්න. අකැමැති නම් ඔබට කැමැති දෙයක් කරන්න. මට මේ මගින් ගියහම ඉක්මනින් ම වැඩි
දුරක් නැතිව ගමකට යන්න පුළුවන්‘යි කියලා මගියා යන්න ගියා.
දැන් මේ තරුණිය මට්ටකුණ්ඩලී වගේ නැඟිටින්නවත් බැරි තරමට කායික ශක්තියෙන් පිරිහිලා
ඉන්නේ. බිම වැතිර ගෙන ම මෙහෙම කල්පනා කරනවා
‘අනේ මම දැන් මරණ මොහොතට පත් වෙලා ඉන්නේ. අද වෙනකම් මට හිතේ හැටියට පින්කමක් කර
ගන්න බැරිවුණා. මට මේ ලැබුණු කෑම පාර්සලය ආර්යයන් වහන්සේ නමකට පූජා කර ගන්න ලැබෙනවා
නම් කොච්චර නම් වටිනවාද? කොච්චර නම් පිනක් සිදු වෙනවා ද? මට ආර්යයන් වහන්සේ නමක්
හමුවීමට යන්න තරම් ශක්තියක් නෑ. මම කොහොමද මේ කෑම එක පූජා කර ගන්නේ'යි තවදුරටත්
කල්පනා කළා.
එක් වර ශරීරයට ශක්තිය අරගෙන බොහොම හෙමින් නැඟිට ගහට හේත්තු වෙලා අත් දෙක එකට එකතු
කර අත්පොඩියක් ගහලා මෙහෙම කිව්වා. ‘මහත් ඍද්ධි ඇති ආර්යයන් වහන්සේ මට අනුකම්පා
කරනවා නම් උන්වහන්සේ මෙතැනට වැඩම කර මා අපායෙන් මුදවත්වා‘යි ප්‍රාර්ථනාවක් කළා. මේ
පිරිසුදු ජීවිතයේ අවසාන ඉල්ලීම දිවකනින් අහගෙන හිටිය පුවගු දිවයින් වාසි රහතන්
වහන්සේ නමක් ඍද්ධියෙන් එතැනට ම වැඩම කර ඇය ඉදිරියේ පෙනී සිටියා. සුමනාවෝ බොහොම
ප්‍රීතියට පත් වෙලා කෑම පාර්සලය පූජා කළා. ඒ විතරක් නොවෙයි දුර්වල ශරීරය ගැන
තවදුරටත් දුර්වලයි යැයි නො සිතා වීර්යය අරගෙන නැඟී සිටියා.
‘ස්වාමිනි, තව ටික මොහොතක් මෙහි වැඩ සිටින්න‘යි ඉල්ලා සිටියා.
වහා එතැනින් කැලෑව ඇතුළට තව ටික දුරක් ගිහින් ඇඳගෙන හිටිය වස්ත්‍රය ගලවලා කොළ අතු
ඇඳගත්තා. කිලුටු වී ගිය වස්ත්‍රය අරගෙන ඇවිත් ‘ස්වාමිනි, මේ මාගේ ජීවිතයේ අවසාන
දානය නිසා මේ වස්ත්‍රයත් පිළිගන්න‘යි ඉල්ලා සිටියා. මහරහතන් වහන්සේ එය පිළිගෙන
ඍද්ධියෙන් ම පුවගු දිවයිනට වැඩම කළා.
සුමනාවෝ එතැනම සිහි මූර්ජා වී බිම ඇද වැටුණා. කැලෑවේ වැඩ සිටි වන දේවතාවෝ ඇයගේ
පින්කම දැකලා බොහෝම සතුටට පත් වුණා. ආහාරත්, වස්ත්‍රයත්, ජීවිතයත් පරිත්‍යාග කළා‘යි
සාධුකාර පැවැත්වුවා. ඒ ශබ්දය ඇහුණු ශක්‍ර දෙවියන් විශ්වකර්ම පුත්‍රයා කැඳවලා කියනවා
‘ඔබ වහා ම තාම්‍රපර්ණියට ගිහින් අද දින ජීවිතය පවා නොතකා මහත් පින්කමක් කළ
සුමනාවන්ට පිහිට වෙන්න‘අණ කළා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා සුමනාවන් හිටිය කඩරොද
වනයට ඇවිත් ඇගේ ශරීරයේ රෝමකූපවල දිව්‍ය ඕජස් බහා ශරීර ශක්තිය ඇති කොට ඇය සුවපත්
කරනවා.
දෙවඟනක් මෙන් සරසලා නුවරටත් අරගෙන යනවා. ඇගේ ශරීර සෞන්දර්යය දකින නුවර වැසියන්
පුදුමයෙන් පුදුමයට පත් වෙමින් ප්‍රීති ඝෝෂා පවත්වන්නට පටන් ගන්නවා.
මේ ශබ්දය අහගෙන ඉන්න රජතුමා එතැනට ඇවිත් ඇගේ රූපයට මත් වී භාර්යා තනතුරට පත් කර ගත්
බවත්, එතැන් සිට සැප සම්පත්වලින් අඩුවක් නැතිව සුව සේ ජීවත් වුණු බවත්, මහා සංඝයා
ඇසුරු කරමින් පින්කම් කළ බවත් සඳහන් වෙනවා.
ජීවිතයේ භෞතික හැම සම්පතක් ම වින්දනය කර ආයු කෙළවර මඤ්චපරායන ව සිටින අවස්ථාවේ ඇගේ
උතුම් ගුණ නිසා ම මහ තෙරුන් වහන්සේ පැමිණ ධර්ම දේශනා පවත්වනවා. ඒ අවස්ථාවේ ධම්මික
උපාසකතුමා මුහුණ දුන් අත්දැකීමට ම මේ සුමනා උපාසිකාවත් මුහුණ දෙනවා. ඒ තමයි යාමය,
තුසිතය, තාවතිංසය ආදි දිව්‍ය ලෝක හයෙන් ම රථ ගෙනැවිත් ඇය දෙව්ලොව ගෙන යාමට සූදානම්
වී සිටීමේ සිද්ධියයි.
මේ කාරණය වැඩම කරන සිටින මහ තෙරුන් වහන්සේට දැන්වීමෙන් පස්සේ උන්වහන්සේගේ නිර්දේශය
වෙන්නේ නිතර ධර්මය අහන, ධර්මය පවතින තුසිත දෙව්ලොව ම තෝරා ගන්නා ලෙසයි. ඒ අනුව ඇය
දොහොත් මුදුන් තබා සංඝයාට නමස්කාර කර ධර්මය ශ්‍රවණය කරමින් ම දෙව් ලොව උපත ලබා
දෙව්ලොව සැප සම්පත් වින්දනය කිරීමට භාග්‍ය උදා කර ගත්තා'යි කථා පුවතක් සීහළ වත්ථු
නම් කෘතියේ සදහන් වෙනවා.
කය වෙහෙසා ධනය ඉපයීමක් නැතිව තමන්ට ලැබුණු පරිත්‍යාගයක් ශ්‍රද්ධා සිතින් මහා සංඝයාට
පූජා කිරීමෙන් මනුෂ්‍ය ලෝකයේ ඉහළම රාජ සැප සම්පතුත්, දෙව්ලොව ඉහළම දිව්‍ය සම්පතුත්
ලබා ගැනීමට භාග්‍ය උදා කර ගත්තා.
මේ කථාවෙන් අපට පෙනෙන්නේ තමන්ට ලැබෙන තෑග්ගක් වුවත් පිරිසුදු සිතින් පූජා කරනවා
නම්, එයින් දුකින් මිදී දොලොව ම සැප ලබන බවයි. තමන් ධාර්මික ව උපයා ගත් ධනයෙන් දෙන
දානයේ හෝ පරිත්‍යාගයේ ආනිශංස මෙයටත් වඩා බලවත් බවයි මේ කථා පුවත අපට තවදුරටත් කියා
දෙන්නේ. |