Print this Article


බොඳවී යන වෙසක් මිහිර

වෙසක් පොහොයත් සමඟ ගැමියාගේ සිත තුළ ගමේ පන්සල හා නායක හාමුදුරුවන්ගේ රුව සිත තුළ ඇඳී යයි. අතීතයේ ලොකුª කුඩා කවර තරාතිරමක අයකු වුව ද වෙසක් පොහෝ දිනට සුදුවතින් සැරසී ශීල සමාදානයට පන්සල වෙත පිය නැඟුවේ කිසිවකුගේ බලකිරීමකට හෝ දඬුවමකින් ගැලවීම උදෙසා නොවේ. එහෙත් වර්තමානයේ පාසල් සිසුන් සීල සමාදානයට යොමු වන්නේ පාසල්වල ප්‍රධානීන් කරන බලපෑමෙන් මිදෙනු බැරි නිසාවෙන් ය.

අතීතයේ වෙසක් සමයත් සමඟ නිතැතින් ම මතකය තුළ සිත්තම් වන්නේ, වෙසක් සැරසිලි සිදු කරන ආකාරය යි. කිරිබත් කැබැල්ලක්, කොණ්ඩ කැවුම් ගෙඩියක් නැති කල සිංහල අවුරුද්දක් නැතුවාක් මෙන් ම, අටපට්ටම් කූඩු හා වෙසක් තොරණ, වෙසක් සැරසිලි නැති කල වෙසක් පොහොය උදා නොවුවා වැනි හැඟීමක් අතීත ගැමියන් තුළ විය. අටපට්ටම් කූඩු සෑදීමට එදා ගැමි දරුවාගේ පටන් වැඩිමහල්ලා දක්වා ම දැක්වූයේ පුදුමාකාර කැමැත්තකි. ලැදියාවකි.

එදා මේ සඳහා කණ්ඩායම් වශයෙන් ගංතුලානේ තුරු වදුලකට රිංගා පළමුව බට දඬු තෝරා කපා රැස් කිරීම සිදුවිය. පසුව එම බට දඬු පලා මුවහත් පිහියකින් ශුද්ධ කර සුමට කරයි. ඉක්බිති බට පතුරු සියල්ල මද පවනේ වියළා ගැනීම සිදු විය.

කූඩු බැඳීම සඳහා වතුකරය ආශි‍්‍රත ගැමි සමාජයක නම් යොදා ගන්නේ රබර් ගසේ කිරි කැපුම් කට්ටය දිගේ ගලා ගිය කිරි බිඳුවලින් නිර්මාණය වූ “ඔට්ටපාලු” නම් වැල් විශේෂයකි. ඇතැම් පළාත්වල ඇපල ගසේ පට්ට ද, වල් බෙලි ගසේ පට්ට ද භාවිත කරයි. වෙසක් කූඩු බැඳීම ඇලවීම ළමුන් කණ්ඩායම් වශයෙන් සංවිධානය වී වැඩ කොටස් බෙදා හදා ගෙන කළ ආකාරය හරිම අපූරු ය.

මෙකල පාසල්වල සිදු කෙරෙන කණ්ඩායම් ක්‍රියාකාරකම් එකල ගැමි සමාජයේ දරුවන් වෙත නිරායාසයෙන් ගලා ගියේ එපරිද්දෙනි.

කෙසෙල් කඳන් හා පොල් ඉරටු, ගස් ලබු ගෙඩි, පුහුල් ගෙඩි යොදා ගනිමින් පහන් වැටවල් සැකසූ අන්දම ද නිර්මාණාත්මක බවින් ඉහළ ය. වෙසක් සැරසිලි හේතුවෙන් අතීතයේ පරිසරය අලංකාර වූවා මිස විනාශයට ලක් වූයේ නැත. මේ වන විට වෙසක් කූඩු හෝ වෙසක් සැරසිලි කිරීමට වත්මන් පාසල් දරුවන්ට කාලවේලාවක් හෝ දැනුමක් නැත. ඒ හිඩැස පිරවීමට වෙළෙඳපොළ ලහි ලහියේ සූදානමින් සිටී.

අද දූ දරුවන් දෙමාපියන් හා එක්ව වෙසක් පොහෝ දිනට දින කිහිපයකට පෙර, වෙළඳපොළට ගොස් වෙසක් කූඩු, වෙසක් සැරැසිලි, විදුලි බුබුළු වැල්, මිලයට ගැනීම සිදු කරති. නාගරික දරුවන්ට වඩා ගම්බද දරුවන් මේ පුරුද්දට ඇබ්බැහි වී සිටින්නේ වියපත් අප ද පුදුමයට පත් කරවමිනි. නාගරික දරුවා අන්තර් ජාලයේ ඇති විස්තර හා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර වෙසක් සැරසිලි කිරීමට කිසියම් හෝ උනන්දුවක් දැක්වූවත් අද ගැමි දරුවන් වෙසක් සැරසිලි මිලට ගන්නේ වෙළෙඳපොළ තුළින් පමණි.

අතීත ගැමි සමාජයේ දන්සල් සංවිධානය කර තිබුණේ ගැමි ආර්ථිකය හා බද්ධ වන පරිදි ය. ගමේ කොරටුවෙන් උගුලා ගත් අල, බතල, ගමේ ගස්වලින් නෙළා ගත් කොස් පොල් ආදියෙන් සරල රසවත් කෑම වේලක් සකසා පිරිනැමීමට වගබලා ගත්හ. එහෙත් අද නා නා කෑම වර්ගයේ නම්වලින් දන්සල් නම් කර ඇත. ඒ තුළ දනවන්නේ කෑදර බව හා ගිජු බව යන අශෝභන සංකල්පයන් ය. මෙය බෞද්ධ දර්ශනයට කිසිසේත් එකඟ නොවේ.

වෙසක් තොරණ හා දන්සල් සංවිධානය වත්මනේ සිදු කරන්නේ ම වාණිජ පරමාර්ථ මුල්කර ගෙන ය.

වෙසක් සැරසිලි හා වෙසක් අසිරිය නරඹන පිරිස ද විනය ගරුක හා සංවර බවින් තොරව එම ක්‍රියාවලිය සිදු කිරීම තුළ ජනිත වන්නේ, බුදු දහමට පටහැනි සිද්ධි දාමයකි.

වෙසක් තොරණ අසල ඔලු බක්කන් නටවමින් කරන අශ්ලීල රංගනයන් කිසිසේත් නො ගැළපේ. ඇතැම් පන්සල්වල පවා බැති ගී ප්‍රසංගවලට මුවා වී ‘බජව්’ හා සාජ්ජයන්’ දමයි. ගුණ ගරුක අනාගත පරපුරක් බිහි කිරීමට නම් අප මෙවැනි ක්‍රියා වහා නතර කර, සංයමයෙන් හා සංවර බවින් යුතුව වෙසක් උත්සවය සංවිධානය කළ යුතු ය.