Print this Article


සිත් සුපහන් වී පින්බර සිතුවිලි වැඩේවා

සිත් සුපහන් වී පින්බර සිතුවිලි වැඩේවා

වසරක් තුළ උදාවන දොළොස් පොහොය අතරින් සුවිශේෂ ම පොහොය ලෙස සලකනු ලබන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි.

සිදුහත් කුමරුගේ උපත, සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වය හා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී සිදු වූ නිසා බොදු ජනතාව එය සමරනුයේ මහත් වූ බුද්ධාලම්භන පී‍්‍රතියකින් යුක්ත වූ උත්සවශ්‍රීයකිනි.

ක්‍රි.පූර්ව 623 දී සුද්ධෝදන රජතුමාටත්, මහාමායා දේවියටත් දාව සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූයේ ලුම්බිණි සල් උයනේ දී ය. සැප සම්පත්වලින් සපිරි දිවියක් ගත කළ සිදුහත් කුමරු විසිනව වැනි වියේ දී තම බිසව වූ යශෝධරා දේවිය හා පුතු වන රාහුල කුමරු හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කර නොයෙක් ගුරුවරුන්ගෙන් ශාස්ත්‍රයන් හැදෑරුව ද ඒවා සඵල නොවන කල්හි තමන් විසින් ම නිවන අවබෝධ කර ගැනීම උදෙසා මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සිත දිරිමත් කර ගත්තේ ය.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක දී බෝසතාණන් වහන්සේ සේනානිගම නුගරුක මුල වැඩ සිටියදී උන්වහන්සේගේ පැතුම ඉටුවේවා'යි ප්‍රාර්ථනා කරමින් සුජාතා සිටුදුව කිරිබත් තලියක් පූජා කළා ය. එම කිරිබත් වැළඳූ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල වැඩහිඳ බුද්ධත්වය නොලබා මෙතැනින් නොනැඟිටිමි යැයි අධිෂ්ඨන කළහ.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී බුද්ධත්වයට පත් උන්වහන්සේ හතළිස් පස් වසරක් ම සියලු ලෝවැසියන් වෙත, දහම් දෙසමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවූහ. බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයක දී රජගහ නුවර සිට කුසිනාරා නුවර තෙක් පාගමනින් වැඩම කොට මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේ දී පිරිනිවන් පෑ සේක.

බුදුරජාණන් වහන්සේ සුවහස් කල්පයකට පෙර සුමේධ නම් තාපසයකු ව උපත ලබා සිටියදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්බුද්ධත්වය සඳහා නියත විවරණ ලබා ගත්තේ ද වෙසක් පුර පසළොස්වක පෝය දිනකදී ය.

අවුරුදු එකසිය විස්සක් ආයු වැළඳූ ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සහ මානයෙන් උදම් වී සිටි සුද්ධෝදන රජු ඇතුළු නෑදෑ පිරිසගේ සිත් නිවණු පිණිස කිඹුල්වත් පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත ධර්මය දේශනා කර එහිදී යමාමහ පෙළහර පෑවේ ද වෙසක් පුර පසළොස්වක දිනකදී ය.

ලංකා ගමනයන්හිදී දෙවැනි වරට නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට කැලණියට වඩින ලෙසට මණිඅක්ඛිත නා රජු විසින් කළ ආරාධනය පිළිගත් බුදුරජුන් තුන්වැනි වරට කැලණියට වැඩම කරන ලද්දේ උතුම් වූ වෙසක් පෝය දිනක දී ය.

ලාට රට සිංහ පුරයෙහි සිංහබාහු රජතුමාගේ පුත් විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලංකාවට වෙසක් පෝය දිනයක දී පැමිණීම හේතුවෙන් ලක් දිවයිනෙහි සිංහල ජාතියේ සමාරම්භය සිදුවිය. ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ කැපවීම මත බුදුදහම උරුම කර ගත් ලංකාවේ රජකම් කළ දෙවනපෑතිස් රජතුමා බුදුදහම වැළඳගත් බැවින් ධර්මාශෝක රජතුමා විසින් තිළිණ කරන ලද පඤ්ච කකුධ භාණ්ඩයත් සමඟ ද්විතීයාභිෂේකය ලැබුවේ ද වෙසක් පුර පසළොස්වක දිනයක දී ය.

ශ්‍රී ලංකාවේ රජ කළ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකයන් ද සිදුකර ඇත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයන්හි දී ය. උත්සව ශ්‍රීයෙන් බැබළෙන සිරිපා වන්දනා සමය අවසන් වීම ද, රුවන්වැලි මහසෑයට මුල්ගල් තැබීම ද, ලක්දිව සොළොස්මස්ථානවල සම්බුදු පාදස්පර්ශය ලැබීම ද වෙසක් පුර පෝය දිනයක දී ම සිදුවිය.

සීල වැඩසටහන්, භාවනා වැඩසටහන්, සදහම් දේශනා, පිරිත් දේශනා, බෝධි පූජා, පහන් පූජා, මල් පූජා ආදී දානමය පින්කම් දන්සල් පැවැත්වීම, පෙරහර පැවැත්වීම, සිරිලක පුරාම පැවැත් වෙන අතර සෑම නිවසක් නිවසක් පාසාම විසිතුරු වෙසක් කූඩු ප්‍රදර්ශනය වන අතර නගරයන්හි ජාතක කතා උපයෝගී කරගත් විශාල තොරණ ඉදිකිරීම, විදුලි බුබුළුවලින් මඟ දෙපස ආලෝකවත් කිරීම, සෑම වීථියක් පාසා බෞද්ධ ධජ පතාක ලෙළදීම තුළින් සිරිලක්වාසීන් ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා පවත්වමින් උදා කර ගනු ලබනුයේ අති උතුම් සම්බුදු තෙමඟුල් අසිරියකි.