Print this Article


අවදියෙන් නො සිටියොත් ...

අවදියෙන් නො සිටියොත් ...

මේ සංසාර ජීවිතය දුක් කම්කටොළු පීඩාවලින් පිරිලා. ඒ නිසා ම මානසික වශයෙන් අසමතුලිතතාවට පත්වීමට තිබෙන ඉඩකඩ වැඩියි. එහෙම වෙද්දී අප කරන කියන කටයුතු කඩා වැටෙනවා. පරිහානියට පත්වෙනවා.

එනිසා ඒ තත්ත්වයෙන් සිත් සතන් මුදවාගෙන, ධර්මානුකූල ව තමන්ගේ මනස ගැනත්, ජීවිතය ගැනත්, ලෝකය ගැනත් නිවැරැදිව සිතන්නට, කල්පනා කරන්නට ඕනෑ. ගැටලුවලට ඔරොත්තු දෙන්නට, දෙයක් දරා ගන්නට මනස පුහුණු කරන්නට ඕනෑ. අප කළ යුතු දේ නම් ධර්මානුකූල ව ඒ දෙස බැලීමට පුරුදු පුහුණු වීමයි.


කුකුල්පනේ සුදස්සී හිමි

අප මිනිස් ලොව උපත ලබා තිබෙන්නේ කුසල් සිතක විපාක ලෙසයි. කුසල් සිත කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වන සිතක්. පෙර භවයේ අප හැමෝම මිය යන විට අපට යම් කුසල් සිතක් මතුවෙලා තිබෙනවා. ඒ කුසල් සිතේ ප්‍රතිඵලයක් වශයෙන් තමා අප මනුෂ්‍ය ආත්මයක් ලබා තිබෙන්නේ.

කිසියම් කෙනක් යම් දුර්වල තත්ත්වයකින් ඉපදුණත් මේ මනුස්ස ලෝකයේ ඉපදෙන්නේ පිනක් නිසා. කුසල විපාකයක් නිසා. එසේ ඉපදුණු මිනිසුන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්නට පුළුවන්.

* ත්‍රිහේතුක ප්‍රතිසංධිය,

* ද්විහේතුක ප්‍රතිසන්ධිය හා

* අහේතුක ප්‍රතිසංධිය යනුවෙන්.

උපතේ දී ම ප්‍රඥාව තිබුණොත්

අලෝභය, අද්වේශය, අමෝහය කියන කුසල මූලයන් තුනම යෙදිලා කරන ලද බලවත් කුසලයකින් ඉපදුන අය ත්‍රිහේතුක ප්‍රතිසංධිය ලැබූ අයයි. ඒ පුද්ගලයාගේ උත්පත්ති සිතේම අලෝභය, අද්වේශය, අමෝහයයි ක්‍රියාත්මක වෙන්නේ. එසේනම් ත්‍රිහේතුක ප්‍රතිසංධියක් ලබපු අය තවත් නමකින් හඳුන්වනවා ඤාණ සම්ප්‍රයුක්තයකින් උප්පත්තියක් ලැබූ අය ලෙස. ඒ ඤාණ සම්ප්‍රයුක්තයකින් උපන් අයගේ උපතේ දී ම සිතේ ප්‍රඥාව පිහිටනවා. ඒ අය උත්සාහ කළොත්, සංසාරික වශයෙන් පාරමිතා වඩා තිබෙනවා නම්, මේ ජීවිතයේ දී බෝධිපාක්ෂික ධර්ම දියුණු කළොත් මේ ජීවිතය තුළදීම සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ උප්පත්ති සිතේ ප්‍රඥාව තිබෙන නිසා යි.

මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කරන්නට බැරි අය

ද්විහේතුක කියන්නේ අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් ලෙස යෙදී තිබෙනවා. නමුත් අමෝහය යෙදී නැහැ. අමෝහය කියන්නේ ප්‍රඥාවට යි. හැම කුසලයට ම ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. කලාතුරකින් තමා කෙනෙක් කරා කුසලවල ප්‍රඥාව පිහිටන්නේ. වැඩි හරියක් අප කරන කුසල් දහම්වල අලෝභයත්, අද්වේශයත්, යෙදී තිබෙනවා. හැබැයි ප්‍රඥාව නැත්නම් ඒ කුසල් සිත හඳුන්වන්නේ ද්විහේතුක (හේතු දෙකක් පමණක් යෙදී) ප්‍රතිසංධි සිත කියලා.

එබඳු කුසලයක් යෙදී තිබෙනවා නම් මනු ලොව ඉපදෙන්නට අවස්ථාව තිබෙනවා. හැබැයි මේ පුද්ගලයාගේ උත්පත්ති සිතේ ප්‍රඥාව නැහැ. ප්‍රඥාව උත්පත්ති සිතේ නැහැයි කියලා ඒ තැනැත්තාගේ කිසිදු වෙනසක් අපට දකින්නට බැහැ. ඔහුටත් ධර්මය ඇසෙනවා. සිල් රකිනවා. දන් දෙනවා. භාවනා කරනවා. ගුණ දහම් වඩනවා. විවිධ පින්කම් කරනවා. රැකී රක්ෂා කරනවා. මේ ජීවිතයේ දියුණු වෙලා ඉන්නවා. නමුත් එක අඩුවක් තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ නමක් හමුවුවත් මේ ජීවිතයේ දී ධර්මය අවබෝධ කරන්න බැහැ. ගැඹුරු දහම් කරුණු විනිවිද දක්නා ශක්තියක් මනස තුළ අවධි කර ගන්නට බැහැ. ඒ උත්පත්ති සිතේ ශක්තිය නැති නිසා.

කුසලය දුර්වල වුණොත්

අනෙක් පිරිස අපට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් කොටසක්. ඒ ඔවුන් අහේතුක ප්‍රතිසංධිය ලබා ඉපදී ඇති නිසා. අහේතුක ප්‍රතිසංධිය කියන්නේ ඒ පුද්ගලයාගේ ඉතාම දුර්වල කුසලයක්. අලෝභ, අද්වේෂ කියන කුසල මූලයන් යෙදිලා තමයි හැම කුසල මූලයක් ම සිදුවන්නේ. නමුත් අලෝභ, අද්වේෂ කියන කුසල මූල දෙකත් යන්තමට තමා යෙදී තිබෙන්නේ. විවිධ කරුණු නිසා සිතේ ලෝභය, ද්වේෂය මතුවෙලා පින්කම් කරන්නේ.

කෙනෙක් පින්කමක් පටන් ගන්නවා. ඊට පසුව හිතෙනවා අපරාදේ මම මෙච්චර මේකට වියදම් කළේ. මීට අඩුවෙන් මේ දේ කරන්න තිබුණා කියා ලෝභ සිත එනවා.

ඒ වගේම මාන්නය මතුවෙන අවස්ථා තිබෙනවා. පින්කමක් කරද්දී තව කෙනෙක් කෙරෙහි ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ විටින් විට අපේ සිතේ ලෝභය, ද්වේෂය මතුවෙනවා.

එහෙම මතු වෙද්දී අප කරන කුසලය දුර්වල වෙනවා. එහෙම කුසල් සිතක් මැරෙන මොහොතේ දී අපට සිහිපත් වුණෙත් අප මනුස්ස ලෝකයේ ඉපදෙනවා. එසේ ඉපදෙන විට ඉතාම සුළු වශයෙන් අලෝභ, අද්වේෂ කියන ශක්තින් දෙකක් නොමැති ව තමා ඉපදෙන්නේ. ඒ කුසල් සිතේ අලෝභ, අද්වේෂ, අමෝහය කියන කිසිදු මූලයක ශක්තිය අවදි වෙන්නේ නැහැ. හැබැයි එය අකුසල් සිතක් නොවේ. එයත් කුසල් සිතක විපාකයක් තමයි. එහෙම පිරිස් අපට සමස්ත සමාජයේ වෙන් කොට හඳුනා ගන්නට පුළුවන්. උප්පත්තියෙන් ම අංගවිකල වූ බුද්ධිභාවයෙන් අඩු, බැලූ බැල්මට අනෙක් අයට වඩා පැහැදිලි වෙනසක් තිබෙන පිරිස්. අප ඒ අයව හඳුනා ගන්නෙන් උපකාර අවශ්‍ය පිරිසක් ලෙසයි. ඔවුන්ට තමාගේ වැඩ ටිකවත් කර ගන්නට අපහසුයි. අන් අයගේ සහයෝගය ඕන. ඔවුන්ට බණ දහම් ඇසීම, ගුණ දහම් වැඩීම කරන්නට බැහැ. හැබැයි කුසල් සිතක් ඉපදිලයි මනුලොවට ආවේ.

අප දන්නවා මහධන සිටුතුමා ගැන. ඔහු ත්‍රිහේතුක ප්‍රතිසංධියක් ලැබූ කෙනෙක්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ උත්සාහ කළා නම් ඔහුට රහත් ඵලය හෝ ලබන්නට පුළුවන්කම තිබුණු බව. නමුත් ඔහු උත්සාහ කළේ නැහැ පාපමිත්‍ර ඇසුරට වැටිලා මඟ වරද්දවා ගත්තා. හිඟමනට වැටුණා. රහත්ඵලය ලබන්නට තරම් සංසාරික ශක්තියක් තිබුණා. නමුත් මේ ජීවිතයේ දී මනස අවදි කළේ නැහැ.

ඒ වගේම කෙනෙක් තමා අජාසත් රජු. භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔහුටත් මේ ජීවිතයේ දී සෝවාන් වීමට පින තිබුණත් පාපමිත්‍ර ඇසුර නිසා පීතෘ ඝාතකයෙක් වුණා. සියලු ශක්තීන්, සියලු හැකියා එතැන් පටන් යට වුණා. ඔහුගේ උත්පත්ති ශක්තීන් බරපතළ කර්මයකින් වසා ගන්නවා.

මේ ආකාරයට එකිනෙකාගේ පින මත සිතේ ප්‍රඥාව යෙදී තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට ලොකු භාග්‍යයක් වගේම උත්සාහයක් ද, ශක්තීන් අවදි කිරීමක් ද කළයුතු වෙනවා. උප්පත්ති සිතේ ප්‍රඥාව තිබෙන තැනැත්තා වාසනාවන්තයි. ප්‍රඥාව කියන්නේ ඉතාම තියුණු ආලෝකයක් වගේ දෙයක්. ආලෝකයෙන් කරන්නේ අඳුර දුරු කිරීම යි. හැම දේ ම පැහැදිලිව පෙනෙන්නට සලස්වනවා. උත්පත්ති සිතේ ප්‍රඥාව තිබෙනවා නම් ඒ සිත තීව්‍රර යි. හැබැයි උප්පත්ති සිතේ ප්‍රඥාව නැති වුණත් අපට ඉපදුණාට පස්සේ ප්‍රඥාව අවදි කරන්න, දියුණු කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට. කොහොම වුවත් අපි කුසල් සිතකින් ඉපදුණාම ඒ කුසල් සිතේ අකුසල් නැති නිසා ඒ සිත ප්‍රභාෂ්වරයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.

සිතක ආයු කාලය බොහෝම ස්වල්පයි. උත්පත්ති සිත ඇති වූ සැණින් නැති වෙනවා. අප ඇසිපිය හෙළන මොහොතක 1, 2, 3, 4 වශයෙන් අනුපිළිවෙලින් ගණනය කළොත් ඒ මොහොතේ සිත් කෝටියක් පමණ ඇතිවෙනවා කියා ධර්මයේ සඳහන් වෙනවා. ඒ ප්‍රතිසංධි සිත් ඇති වූ සැණින් නැති වෙනවා. ඒ වර්ගයේ ම සිත් පෙළක් ඇති වෙලා නැති වෙනවා. ඒ චිත්ත පරම්පරාව හඳුන්වන්නේ ‘භවාංග‘ චිත්ත පරම්පරාව ලෙසයි. භවාංගය තමා අපව ජීවත් කරන්නේ. ඒ සිත් පෙළ නැතිවුණොත් මළ කඳක් තිබෙන්නේ. ජීවිතය එතැනින් අවසානය යි. නැවත වෙනත් කර්ම වේගයකින් තවත් සිත් පරම්පරාවක් ජනිත කරනවා. ඒ චිත්ත පරම්පරාව අලුත් ආත්ම භවයක්. එය වෙනත් උපතකට අයිති වෙනවා.

ඒත් භවයක්, සම්පූර්ණයෙන් පවත්වන්නේ චිත්ත පරම්පරා ක්‍රියාත්මක වන තාක් පමණයි. පළමු සිත හඳුන්වනවා ප්‍රතිසන්ධි සිත ලෙස. අවසන් සිත හඳුන්වනවා චුති සිත ලෙස. මේ සිත්වල මැද සිත් පෙළ හඳුන්වනවා භවාංග චිත්ත පරම්පරාව ලෙස. ප්‍රතිසන්ධි සිත කියන්නේ හට ගන්නා සිතයි. භවය පවත්වන නිසා භවාංග සිත කියනවා.

මෙසේ බාහිර අරමුණු එද්දී උත්පත්තියෙන් ගත් චිත්ත පරම්පරාව ඛණ්ඩණය වෙලා අමතර අරමුණුවලට අවධානය යොමු වෙනවා. එහෙම වෙලාවට අප සිහි කල්පනාවෙන් නො සිටියහොත් අපේ සිත් කිලිටි වෙන්න පුළුවන්.