පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් -
01
මට බැරි වුණු දේ
පොඩි උන්නාන්සේ හරි කරනවා නම් හොඳයි
ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධනයන් විසින් ලියන ලද භාවනාවේ යෙදුන සාමණේර හිමි නමක්
සිය අත්දැකීම් විස්තර කෙරෙන ලිපි පෙළක් " පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් " මැයෙන්
නමස්කාර සඟරාවේ පළවිණි. අත්දැකීම් සේ ම භාවනා හඳුන්වාදීමක් ද සිදුකෙරෙන ලිපි මාලාව
අද සිට සෑම පුර පසළොස්වක පෝ දිනකම පළවේ
" පොඩි උන්නාන්සෙ දැන් කුටියට යන්න සුවපත් වේවා."
ලොකු හාමුදුරුවෝ දෑස පියාගෙන ම කීහ. මම බේත් තෙල් බෝතලය කනප්පුව මත තබා උන්වහන්සේට
නමස්කාර කෙළෙමි.
‘මතකයි නේද බුදුහාමුදුරුවෝ කියාපු දේ. අප්පමාදෝ අමතපදං, අප්‍රමාද වන්න, ප්‍රමාද
වෙන්න එපා. බුදුහාමුදුරුවන් අපට වැඩිම වාර ගණනක් කීවේ ප්‍රමාදවන්න එපා කියා. මේ
මනුෂ්‍ය ජීවිතය සමහර විට මේ මොහොතේම අවසන් විය හැකියි. මෙච්චර කල් මට ඉන්න දෙන්න
කියලා මාරයා සමඟ ගිවිසුම් ගහන්න බැහැනේ.
ලොකු හාමුදුරුවෝ මා ඉවතට යන්නට සැරසෙන විට මට අවවාද දෙමින් කීහ. උන්වහන්සේ දින
කීපයක සිට මෙසේ කියති. දෑස් හැර සීලිමේ විදුලි පහන දෙස බැලූ ලොකු හාමුදුරුවෝ යළි
මෙසේ කීහ.
ජරා ඡජ්ජරතා හොන්ති -
හත්ථපාදා අනස්සවා
යස්ස සෝ විහතත්ථාමෝ -
කථං ධම්මං චරිස්සති
පොඩි උන්නාන්සේ මේ ගාථාවේ තේරුම දන්නවානේ, ඔන්න එහෙනම් අහගන්න. යම් අයකුගේ අත් පා
ජරාවට පත් වී පාලනය කර ගැනීමට බැරි වූ පසු, විර්යය නැති වූ පසු ඔහු ධර්මයේ
හැසිරෙන්නේ කොහොමද? උන්වහන්සේට කතා කළ හැකි වූයේ එපමණකි. මම යළි තෙල් බෝතලය අතට
ගතිමි.
‘හාමුදුරුවනේ, තව තෙල් ටිකක් පපුවේ ගාන්නම්’ එක අතක් ඉහළට ඔසවා ඊට විරෝධය පෑ
උන්වහන්සේ දෑස පියා ගනිමින් යළි දෙතොල සෙලවූහ.
‘තෙල් ගෑවා ඇති. මට ඒ පාලි පාඨය අමතක වුණා. මම ඒක පස්සේ කියන්නම්. ජරා ජජ්ජරතා
හොන්ති හත්ථපාදා අනස්සවා බුදුහාමුදුරුවන් වදාළ දේ හරියට ම හරි. මම භාවනා කරන්න
හිතුවේ අතපය වලංගු නැති වුණාට පස්සේ. දැන් මට එරමිනිය ගොතාගෙන වාඩි වෙන්න බැහැ.
මෙහෙම හාන්සි පුටුවේ වාඩි වෙලා භාවනා කරන කොට නින්ද යනවා. පපුවෙ හතිය එන්න එන්න
වැඩි වෙනවා. කොයි එකටත් තව තෙල් ටිකක් ගාන්න. තෙල් ගෑවාම හුස්ම ගන්න පහසු වෙනවා.
මම යළි පපුවේ තෙල් ගාන්නට පටන් ගතිමි. මඳ වේලාවකට පසු උන්වහන්සේ යළි කතා කරන්නට
වූහ. ‘ඔන්න මට මතක් වුණා බුදු හාමුදුරුවෝ අපට කියපු දේ.
මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ වයෝවෘද්ධ නම්, ජරාවෙන් මැඩුණේ නම්, මහණෙනි, මේ කාරණය
ප්‍රධන්වීර්යය වැඩීමට අයෝග්‍ය වූ ප්‍රථම අවස්ථාව වේ.
ඒක බුදු හාමුදුරුවන් මට ම කී දෙයක් වගේ. පොඩි උන්නාන්සේ මම භාවනා ගැන සිතුවේ හොඳට ම
මහලු වෙලා. අත පය වලංගු නැති වී ගෙන යන කොට. දැන් ඉතින් මට භාවනා කරන්න බැහැ.
සමාධියක් එන්නෙම නැහැ.
ඔබ පසු වන්නේ නියම වයසේ. අප්‍රමාද ව භාවනාවේ යෙදෙන්න. මා වගේ පසු කලෙක පසුතැවිලි වන
විදියට වැඩ කරන්න එපා. මේ රටේ ධර්ම දේශනාවලට මම මොන පළාතට ද නොවැඩියේ. හැමදාම මට
බණට ආරාධනා.
බණ කීවට පස්සේ මා ගිය වාහනේ පිරිකරවලින් පිරෙනවා. මේ ගොඩනැඟිල්ල හැදුවේ පිරිකර
විකුණපු සල්ලිවලින්. ඈත පළාත්වලත් මම ආරාම හැදුවා. මගේ කාලය ගත වුණේ බණ කීමටයි.
ආවාස හැදීමටයි.
මම ගුවන්විදුලියේ බණ කීව දාට මට කොච්චර දුරකතන පණිවිඩ ආවද බණ අගය කරලා. මම ඒවාට
රැවටුණා කිව්වට කමක් නැහැ. කරන්න ඕන දේ කළේ නැහැ. විශුද්ධි මාර්ගයෙන් කරුණු උපුටා
ගනිමින් මම භාවනා කරන හැටි මිනිසුන්ට කියා දුන්නා. මම භාවනා කළේ නැහැ. මේවා පොඩි
උන්නාන්සේට හොඳ පාඩම්.
පොඩි උන්නාන්සේත් බණ කියන්න පුරුදු වන්න. ඒ වගේ ම ඊට වැඩි කාලයක් භාවනාවට කාලය
යොදවන්න. කවුද දන්නේ ඊළඟ භවයේ කොයි ලෝකෙට යාවි ද කියල.
බුදුහාමුදුරුවෝ කියන්නේ සෝවාන් නොවූ අයට හතර අපාය මහ ගෙදර කියල. සෝවාන් වුණේ
නැත්නම් වැඩි වශයෙන් ඉන්න ලැබෙන්නෙ සතර අපායෙන් එකක. මේ වගේ අදහස් මට ඉස්සර ඇති
වුණේ නැහැ.
මරණයට ළං වන විට තමයි සසර බය වැඩිපුර ඇති වන්නේ. මා හොඳට පින් කළ කෙනෙක්. ඒත් මට
සැකයි. හතර අපායෙන් මිදීම ගැන. මොකද කවුද දන්නෙ මරණ මොහොතෙ මට මොනව හිතේ ද කියල.
මගෙ පණ යන වෙලාවේ සුළු දේකට හරි තරහක් ඇති වුණොත් හෙම මම මළ යක්ෂයෙක් වෙයි. නැත්නම්
පොළඟෙක් වෙයි. හරිම භයානකයි.
ලොකු හාමුදුරුවන්ගේ මුහුණ අඳුරු වී යනු පෙනිණ. යළි එය පැහැපත් විය. ලොකු හාමුදුරුවෝ
කතා කරනවා වැඩි වගෙයි. මහන්සි වෙන්න හොඳ නැහැනේ. මම පපුවේ තෙල් ගාමින් ම කීවෙමි. මට
බැරි වුණු දේ පොඩි උන්නාන්සේ හරි කරනවා නම් හොඳයි. මම දන්නවා පොඩි උන්නාන්සේ
ඒ ගැන උනන්දු බව. මේ භවයේ දී ම පොඩි උන්නාන්සේට සෝවාන් ඵලයවත් ලබා ගන්නට පුළුවන්
වේවි. බුද්ධ ධර්මය තාමත් නිර්මල ව තිබෙනවා. එහෙම නම් ධර්මය අනුව නිවැරැදිව
හැසුරුණොත් ධර්මයෙන් උතුම් ඵල ලබා ගන්න පුළුවන් වේවි. |