Print this Article


අසාර්ථක වන සෑම අවස්ථාවක දී ම නැවත පටන්ගන්න

සුවපත් මනසක් සුවබර දිවියක් - 13 කොටස:

අසාර්ථක වන සෑම අවස්ථාවක දී ම නැවත පටන්ගන්න

භාවනාව මනස නැවත පුහුණු කරවන ක්‍රියාවලියකි

හුස්ම භාවනා අරමුණ ලෙස භාවිත කිරීමේ දී ආරම්භක පියවර වන්නේ එය සොයා ගැනීමයි. ඔබ සොයන්නේ නාස්පුඩු තුළින් ඇතුළු වී, පිටවී යන වාතයේ භෞතික සංවේදනයකි. මෙය නාස්පුඩු කෙළවරෙහි ඇතුළතින් දැනෙයි. නියමිත ස්ථානය නාසයේ හැඩය මත රඳා පවතින බැවින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.

ගැඹුරු හුස්මක් ගෙන ඇතුළුවන හා පිටවන වාතය නාසය ඇතුළත හෝ උඩුතොල මත වඩාත් පැහැදිලි ව ස්පර්ශ වන ලක්ෂ්‍යය සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත. දැන් හුස්ම පිටකර එම ස්ථානය මත හටගන්නා දැනීම සිතෙන් සනිටුහන් කර ගන්න. ඔබගේ මුළු ආශ්වාස ප්‍රාශ්වාසය ම දැක ගන්නේ මෙම ලක්ෂ්‍යය මතිනි. තමාගේ මෙම ස්ථානය පැහැදිලිව ම සොයා දැනගත් පසු ඔබගේ අවධානය ඉන් ඉවතට නොගන්න. අවධානය රඳවා තබා ගැනීමට මෙය පාවිච්චි කරන්න. මෙවැනි ලක්ෂ්‍යයක් සොයා නොගන්නේ නම් නිරතුරු ව වෙනස් වෙමින්, චලනය වෙමින් ගලායන හුස්ම අල්ලා ගැනීමට, නාසය තුළින් ඇතුළු වී පිට වී යමින් හා ශ්වසනාලය තුළ ඉහළ පහළ යමින් හුස්ම පසු පස ලුහුබැඳ යන්නට ඔබට සිදුවනු ඇත.

ඔබ කෙදිනෙක හෝ ලීයක් ඉරා ඇති නම් ඔබ උපාය දන්නවා විය හැකි ය. වඩුවෙක් කිසිදිනෙක චලනය වන කියතේ දැති දෙස නොබලයි. එසේ කළහොත් ඔහුට හිස කැරකැවිල්ල ඇති වනු ඇත. කියතේ දැති ලීය මත කිඳාබසින ස්ථානය වෙත ඔහුගේ අවධානය රඳවනු ඇත. ලීය කෙළින් ඉරාගත හැක්කේ එවිට ය.

භාවනා යෝගියා තමාගේ නාසය ඇතුළත හුස්ම ස්පර්ශ වන එම තනි ලක්ෂ්‍යය වෙත හිත යොමුකරයි. මෙම වාසිදායක ස්ථානයේ සිට, ඔහුට සම්පූර්ණ ආශ්වාසය හා ප්‍රාශ්වාසය සන්සුන් ව හා පැහැදිලි ව දැක ගැනීමට හැකි වෙයි.

හුස්ම පාලනය කිරීමට කිසි විටකත් වෑයම් නොකළ යුතුයි. මෙය යෝග ව්‍යායාමවල දී කරන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් නොවේ. හුස්මෙහි, ඉබේ ඇතිවන චලනය කෙරෙහි හිත යොමු කරන්න. කුමන ආකාරයකින් හෝ එය හැසිරවීමට උත්සාහ නොකළ යුතුයි. බොහෝ ආධුනිකයිනට මේ ආශ්‍රිත ව ගැටලු හට ගැනීමට ඉඩ තිබේ. හුස්ම කෙරෙහි හිත යොමුකිරීමට උපකාරි වන පිණිස, ඔවුන්, නොදැනුවත්ව ම බරකොට ආශ්වාස ප්‍රාශ්වාස කරති. මෙම බලහත්කාරය හෝ අස්වාභාවික උත්සාහය හිත එකඟ කිරීමට උපකාරයක් නොව බාධාවක් වෙයි. ගැඹුරින් හෝ ශබ්ද නගා හෝ හුස්ම නොගන්න. ශබ්ද නඟා හුස්ම ගැනීම, සමූහ භාවනාවේ දී සෙසු භාවනා යෝගීන්ට මහත් හිරිහැරයක් විය හැකියි. ඔබ නින්දේ පසුවන විට මෙන් ස්වභාවික ව ආශ්වාස ප්‍රාශ්වාසය සිදුවීමට ඉඩ හරින්න. ඇලීමකින් තොරව, එහි රිද්මයට අනුව එම ක්‍රියාවලියට සිද්ධවීමට සලස්වන්න.

පහසු කාර්යයක් සේ පෙනුන ද එය දුෂ්කර කටයුත්තකි. ඔබගේ ම කැමැත්ත එයට හරස්වුව හොත් එයින් අධෛර්යවත් නොවන්න. එය සිහිකල්පනාවෙන් යුතුව, චේතනාවේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලෙස යොදාගන්න. හුස්ම, හුස්ම පාලනය කිරීමට ඔබ තුළ ඇති පෙළඹවීම හා හුස්ම පාලනය නැවැත්වීමට ඇති පෙළඹවීම අතර පවතින සියුම් අන්තර් සම්බන්ධතාව දකින්න. මඳ වේලාවකට එය නිශ්ඵලදායි බවක් හැඟුන ද ඇත්තෙන් ම එය ඉගෙනුම් අත්දැකීමක් ලෙස ඉතා ප්‍රයෝජනවත් වූ, ක්‍රමයෙන් පහවී යන දෙයකි. අවසානයේ දී, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එයට රිසි සේ ගලායනු ඇත. එය හැසිරවීමට උවමනාවක් ඔබට නොදැනෙනු ඇත. මේ මොහොතේ දී ඔබ ඉතා වටිනා පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එනම්, විශ්වය පාලනය කිරීමට ඔබ තුළ පවතින අධික ආශාවයි.

බැලූ බැල්මට නීරස හා සරල (ක්‍රියාවක්) ලෙස පෙනුන ද හුස්ම ගැනීම බොහේ සංකීර්ණ මෙන් ම චිත්තාකර්ශනීය ක්‍රියාවකි. එය සියුම් විවිධතාවලින් පිරී ඇති බව ඔබ දකිනු ඇත. එහි හුස්ම ඇතුළු වීම හා පිට වීම, දිගු හුස්ම හා කෙටි හුස්ම, ගැඹුරු හා නොගැඹුරු හුස්ම, සුමුදු හා රළු හුස්ම යනාදී වශයෙන් ඇත. මෙම වෙනස්වීම් ඉතා සියුම් ලෙස පැටලී එකිනෙක සමඟ සංයෝග වී ඇත. එය සමීප ව නිරීක්ෂණය කරන්න. එය ඉතා හොඳීන් අධ්‍යයනය කරන්න. නැවත නැවතත් සිදුවන නියත රටා චක්‍රයක් සහ වෙනස්වීම් විශාල සංඛ්‍යාවක් එවිට ඔබ දකිනු ඇත. එය හරියට සමූහ වාදනයක් වගෙයි. හුස්මෙහි පිට මායිම පමණක් නිරීක්ෂණය නොකරන්න. එහි ඇතුළුවන හා පිටවන හුස්මට වඩා දැකීමට යමක් ඇත. සෑම හුස්මක ම ආරම්භයක්, මැද අවස්ථාවක් හා අවසානයකින් යුක්තයි. සෑම ආශ්වාසයක ම මෙන් ම ප්‍රාශ්වාසයක ම ඉපදීමක්, වැඩීමක් හා මරණයට පත්වීමක් තිබේ. හුස්මෙහි ගැඹුර හා වේගය ඔබගේ මානසික ස්වභාවය, සිත හරහා ගලායන සිතිවිලි හා ඔබට ඇසෙන ශබ්ද අනුව වෙනස් වෙයි. මෙම සංසිද්ධින් අධ්‍යයනය කරන්න. එවිට ඔබ එහි ආකර්ශනීය බව දැක ගන්නවා ඇත.

වාඩි වී, තමා සමඟ ම පුංචි කතාබහක නිරත වීම මෙයින් අදහස් නොකරමි. “එය බිඳුණු කෙටි හුස්මක්, මෙය ගැඹුරු දිග හුස්මක්. ඊළඟ එක මොනවගේ වෙයි ද?” නැත. මේ විපස්සනා භාවනාව නොව කල්පනා කිරීමයි. පටන්ගැන්මේ දී මෙවැනි දේ සිදුවිය හැක. නමුත් එය ද මඳකින් ඉවත්වී යයි. හුදෙක් ම එම සංසිද්ධිය සනිටුහන් කර, හුස්මේ දැනීම වෙතට අවධානය නැවත රැගෙන එන්න. මානසික බාධාවක් නැවතත් හටගනු ඇත. තවදුරටත් එය සිද්ධ නොවන තුරු නැවත නැවතත් ඔබගේ අවධානය හුස්ම වෙත රැගෙන එන්න.

එය මුල්වරට පුහුණුවන විට දුෂ්කරතාවලට මුහුණ දීම බලාපොරොත්තු විය යුතු දෙයකි. ඔබ මොබ පියාසර කරන බඹරකු සේ, ඔබගේ හිත නැවත නැවතත් එක් එක් දිසාවට දුවනු ඇත. ඒ ගැන කරදර නොවන්න. වඳුරකු වැනි සිත සැමට හොඳීන් හුරුපුරුදු සංසිද්ධියකි. භාවනාවේ අගතැන්පත් අය ද මේ තත්ත්වයට මුහුණ දී තිබේ. ඔවුන් එය සාර්ථකව හසුරුවා ගෙන ඇති බැවින් ඔබට ද එසේ කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ හුදෙක්ම දහවල් සිහින දකින බව, කල්පනා කරන බව හා යමක් පිළිබඳ කරදර වන බව ඒ සිදුවන මොහොතේ ම සනිටුහන් කර ගන්න. ඒ ගැන විනිශ්චය නොකර, මුදු මොළොක් ව එහෙත් ස්ථිරව ම හුස්මේ භෞතික දැනීම වෙත අවධානය රැගෙන එන්න. ඊළඟ වතාවේ හා නැවත නැවතත් සිත ඉබාගාතේ යන සෑම වාරයක් පාසා ම එසේ කරන්න.

මෙම ක්‍රියාවලියේ යම් අවස්ථාවක දී ඔබ සම්පූර්ණයෙන් ම උමතු වී ඇතිවා සේ ඔබට හැඟෙනු ඇත. මුළුමනින් ම පාලනයෙන් තොරවූ ඔබගේ සිත, බලාපොරොත්තු සුන් වී යටිගිරියෙන් කෑ ගසමින්, පල් හෑලි දොඩවමින් මහත් කලබලයෙන් පහළට පෙරළී යන, රෝද උඩ රැඳවූ පිස්සන් කොටුවක් වැනි විය හැක. එහි කිසි ගැටලුවක් නැත. එය අද ඇතිවූ තත්ත්වයක් නොවේ. එය සැමදාම එසේ වූ නමුත් ඔබ එය කිසිදිනෙක දුටුවේ නැත. ඔබ අවට සිටින අනෙක් පුද්ගලයන්ට වඩා ඔබ උන්මත්තකයෙක් නොවේ. සැබැවින් ම සිදුවී ඇත්තේ ඔබ අද එයට මුහුණට මුහුණලා සිටීමයි. අනෙක් පුද්ගලයින් එසේ කර නැත. එමනිසා ඔවුහු තවමත් පහසුවෙන් සිටිති. ඔවුන් ඔබට වඩා පොහොසත් බව ඉන් අදහස් නොවෙයි.

අනවබෝධය සැනසීමට හේතුවක් විය හැකි නමුත් ඉන් විමුක්තිය නොලැබෙයි. එම නිසා මෙම තේරුම් ගැනීම ඔබ ව කැළඹවීමට ඉඩ නොහරින්න. එය වර්ධනයේ ලකුණකි. සැබැවින් ම එය සන්ධිස්ථානයකි. ඔබ ඍජුව ම, එක එල්ලේ ප්‍රශ්නය දෙස බැලීමෙන් පැහැදිලි වන්නේ එයින් මිදී ඔබ ඉහළට ම ගමන් කරන බවයි.

නොදොඩා, ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නිරීක්ෂණයේ දී ඔබ මඟ හැරිය යුතු මානසික ස්වභාවයන් දෙවර්ගයක් තිබේ. අප මඳ වේලාවකට කලින් කථාකළ “වඳුරු මනස” ලෙස හැඳීන්වූ සිතිවිලි අතර දුවන හිත එක් වර්ගයකි. “ගිලෙන මනස” එහි විරුද්ධ පැත්තයි.

දැනීම අඩුවී දුර්වලවීම ගිලෙන මනසේ සාමාන්‍ය ලක්ෂණයයි. ඒ නිරීක්ෂණයෙන් හා එළඹිසිහියෙන් තොර, රික්තකයක් බඳු සිත ය. එය හරියටම සිහිනවලින් තොර නින්දක් වැනි, හැඩයක් රහිත, නොදන්නා මානසික පැතිකඩකි. එය හිස් අවකාශයකි. එය මඟ හරින්න.

විපස්සනා භාවනාව ක්‍රියාශීලී කාර්යයකි. සිතෙහි ඒකාග්‍රතාව යනු ප්‍රබල හා උද්‍යෝගීමත් ලෙස එක අරමුණක් කෙරෙහි සිත යොමු කිරීමයි. එළැඹි සිහිය යනු දීප්තිමත් පැහැදිලි සෝදිසියයි. අප ඇති කර ගැනීමට උත්සාහ කරන විශේෂ කුසලතා දෙක නම් සමාධිය හා සිහියයි. ගිලෙන මනසෙහි මේ කිසිවක් නැත. අවම අවස්ථාවේ දී එය, ඔබ නිදිගන්වන අතර උච්චතම අවස්ථාවේ හුදෙක්ම එය ඔබගේ කාලය කා දමනු ඇත.

ඔබ ‘ගිලෙන මනස’ තත්ත්වයට ඇද වැටුණු විට හුදෙක්ම ඒ බව දැනගෙන, ඔබගේ අවධානය හුස්ම වෙත ගෙන එන්න. ඇතුළුවන හුස්මෙහි ස්පර්ශය නිරීක්ෂණය කරන්න. පිටවන හුස්මෙහි ස්පර්ශය දැක ගන්න. ආශ්වාස, ප්‍රාශ්වාස කර සිදුවන්නේ කුමක්දැයි බලන්න. මේ ලෙසින් සති හෝ මාස ගණනාවක් පුහුණු කළ විට, හුස්මෙහි ස්පර්ශය භෞතික වස්තුවක් සේ ඔබට හැඟෙනු ඇත.

හුස්ම ඇතුළුවීම හා පිටවීම නොකඩවා සිදුකරන්න. සිදුවන දේ දකින්න. ඔබගේ සිතෙහි ඒකාග්‍රතාව ගැඹුරු වන විට ‘වඳුරු මනසින්’ දුවන බාධාව ක්‍රමයෙන් අඩු වනු ඇත. ඔබගේ හුස්මෙහි වේගය අඩු වී, හුස්ම පැහැදිලි ව දැනෙයි. මානසික බාධකවලින් මුළුමනින් ම නිදහස් වී, ගැඹුරු, සන්සුන් බවක් අත්දකිනු ඇත. තෘෂ්ණාව, ආශාව, ඊර්ෂ්‍යාව හෝ වෛරය නොපවතියි. කලබලකාරී බව ඉවත්ව යයි. බය පලා යයි. මේවා, සිතේ චමත්කාර, පැහැදිලි, ප්‍රමෝදවත් ස්වභාවයන් වෙයි. ස්ථිර නොවන මෙම ස්වභාවයන් භාවනාව අවසානයේ දී අවසන් වෙයි. නමුත්, මෙම කෙටි අත්දැකීම් පවා ඔබගේ ජීවිතය වෙනස් කරනු ඇත. මේවා විමුක්තිය නොවන නමුත් එම දිශාවට ඔබ යොමුකරන අඩිතාලමයි.

කෙසේ වෙතත්, ක්ෂණික ප්‍රමෝදය බලාපොරොත්තු නොවන්න. මූලික අඩිතාලම ගොඩනැඟීම සඳහා වුව ද කාලය, මහන්සිය හා ඉවසීම අවශ්‍යයි.

භාවනා පුහුණුව තරගයක් නොවෙයි. මෙහිදී ඔබට විශේෂිත අරමුණක් ඇති නමුත් නියමිත කාල සටහනක් නැත. ඔබ කරනුයේ ජීවිතයේ පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා එය වසා සිටින තට්ටු ගණන් වූ මුළාවේ ගැඹුරට හැරීමයි. මෙය චිත්තාකාර්ශනීය හා තෘප්තිමත් ක්‍රියාවලියකි. එය පමණක් ම රසවිඳීය හැක. හදිසි වීමට අවශ්‍ය නැත.

හොඳීන් පුහුණු කළ භාවනා කාලයක් අවසානයේ දී ඔබේ සිතට ප්‍රීතිමත් නැවුම් බවක් දැනෙනු ඇත. එය එදිනෙදා ජීවිතයේ ගැටලු විසඳීම සඳහා යොදවා ගත හැකි සාමකාමී, ප්‍රීතිමත් හා උද්යෝගීමත් ශක්තියකි. මෙය ම ඔබට ලැබෙන ත්‍යාගයකි. භාවනාවේ අරමුණ ගැටලු නිරාකරණය කිරීම නොවූවත්, එම ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව ඔබගේ මහන්සියට ලැබෙන පාරිතෝෂිතයකි. එය එසේ සැලකීම වැදගත් ය. ගැටලු නිරාකරණය සඳහා අනවශ්‍ය අවධානයක් යොමු කළ හොත්, ඔබගේ අවධානය හිත එකඟ කිරීමෙන් ඉවත් වී ප්‍රශ්න විසඳීම කෙරෙහි යොමුවන බව ඔබ අත්දකිනු ඇත.

භාවනා කාලය තුළ දී ඔබගේ ප්‍රශ්න පිළිබඳ නොසිතන්න. ඒවා සෙමෙන් පසෙකට තල්ලු කර හරින්න. සියලුම කරදරවීම්වලින් හා සැලසුම් කිරීම්වලින් මඳ විරාමයක් ගන්න. ඔබගේ භාවනාව පූර්ණ නිවාඩු කාලයක් කර ගන්න. භාවනාවෙන් උපදින ශක්තිය හා මානසික ප්‍රබෝධය භාවනාවෙන් පසුව ඔබගේ ගැටලු විසඳා ගැනීමට ඔබට ලැබෙන ශක්තිය කෙරෙහි ද, ඔබ කෙරෙහි ද විශ්වාස කරන්න. මෙලෙස ඔබ ගැන විශ්වාසය තැබූ විට එය එලෙසින් ම සිදුවනු ඇත.

ළඟාවිය නොහැකි තරම් ඉහළ අරමුණු ඇති කර නොගන්න. ඔබ කෙරෙහි කාරුණික වන්න. ඔබ විරාමයකින් තොරව ඔබගේ හුස්ම අධ්‍යයනය කිරීමට සූදානම් වෙමින් සිටියි. බැලූ බැල්මට එය පහසු කාර්යයක් සේ පෙනෙන බැවින් මුල සිට ම ඉතා නිවැරදි ව හා ඉහළින්ම භාවනා කිරීමට ඔබ උත්සාහ දරනු ඇත. එය කළ හැකි දෙයක් නොවේ. කෙටි කාල පරාසයක් භාවනාව සඳහා භාවිත කරන්න. පටන් ගැන්මේ දී එක ආශ්වාසයක් පුරාම අවධානයෙන් සිටීමට අදිටන් කර ගන්න. මෙය වුව ද පහසු නොවන නමුත් එය කළ හැකියි. ඊළඟට, ප්‍රාශ්වාසය පටන් ගැනීමේ දී එම එක ප්‍රාශ්වාසය දැකීමට අධිෂ්ඨාන කර ගන්න. තවමත් ඔබ අසාර්ථක වීමට ඉඩකඩ ඇත. එසේ වුව ද එය දිගට ම කර ගෙන යන්න.

ඔබ අසාර්ථක වන සෑම අවස්ථාවක දී ම නැවතත් පටන්ගන්න. වරකට එක හුස්ම බැගින් ගන්න. ඔබට සත්‍ය වශයෙන් ම ජයග්‍රහණය කළ හැකි මට්ටම මෙයයි. එය අත නොහරින්න. සෑම ආශ්වාස ප්‍රාශ්වාස චක්‍රයක දී ම අලුත් අධිෂ්ඨානයක් හා කුඩා කාල ඒකකයක් ඇති කර ගන්න. එක් වරකට තත්පරයෙන් පංගුව බැගින් ගෙන, ඒ සමග ම අලුත් අධිෂ්ඨානයක් සහිත ව, සෑම හුස්මක් ම පරීක්ෂාකාරීව හා නිරවද්‍යව නිරීක්ෂණය කරන්න. මේ ආකාරයෙන් පුහුණු වන විට අවසානයේ දී නොකඩවා, නොබිඳුණු සිහිය හට ගනියි.

හුස්ම කෙරෙහි සිහිය එළඹවා සිටීම වර්තමානය පිළිබඳ දැනීමයි. එය මනාව ඉටුකරන විට, ඔබ දැන ගන්නේ මේ මොහොතේ සිදුවන දේ පමණි. ඔබ අතීතය හෝ අනාගතය දෙස නොබලයි. ඔබ පසුවූ හුස්ම අමතක කර ඇති අතර, ඊළඟ හුස්ම බලාපොරොත්තුවෙන් නොසිටියි. ආශ්වාසයක් පටන්ගන්නා මොහොතේ දී ඔබ එහි අවසානය ගැන නොසිතයි. ඔබ ඊළඟට ආ යුතු ප්‍රාශ්වාසය වෙතට නොපනියි. ඔබ හරියට ම වෙමින් පවතින දේ සමඟ රැඳී සිටියි. ඔබ අවධානය යොමු කරන්නේ ආරම්භ වෙමින් පවතින ආශ්වාසය වෙත පමණි. එය මිස අන් කිසිවක් වෙත නොවේ.

භාවනාව මනස නැවත පුහුණු කරන ක්‍රියාවලියකි. ඔබ සොයන්නේ ඔබගේ සංකල්පිත විශ්වය තුළ සිදුවන සියලු ම දේ පිළිබඳ අංග සම්පූර්ණවත්, සිදුවන සැටියෙන්මත්, සිදුවන මොහොතේමත් දැන සිටීමේ හැකියාවයි; එය නොඅඩුව, අඛණ්ඩ ව වර්තමානය පිළිබඳ දැන සිටීමයි. මෙය එකවර ම ළගා විය නොහැකි විශාල ඉලක්කයකි. එයට පුහුණුව අවශ්‍ය කරන බැවින් අපි සුළුවෙන් පටන් ගනිමු. එක කෙටි කාලයක් පිළිබඳ, එක ආශ්වාසයක් පිළිබඳ, පූර්ණ අවධානයෙන් අපි පටන් ගනිමු. ඔබ සාර්ථක වූ විට ජීවිතය ගැන සම්පූර්ණ නැවුම් අත්දැකීමකට යන මාර්ගය ඔබට හෙළිවී ඇත.

මීළඟ කොටස වෙසක් පුර පසළොස්වක පෝදා කලාපයේ