Print this Article


අපරිහානීය ධර්මයෙහි අප්‍රමාදී වෙමු

අපරිහානීය ධර්මයෙහි අප්‍රමාදී වෙමු

අද වෙන කවරදාටත් වඩා සමාජයේ, සංස්කෘතියේ, රටේ පරිහානිය, විනාශය ගැන අපි වැඩි වැඩියෙන් කතා කරනවා. බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන්නේ රටේ දුප්පත්කම, අගහිඟකම, ජීවත්වීමේ අපහසුව වැනි කරුණු යි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සමාජයක හෝ කිසියම් රටක සමෘද්ධිය ඇති වන්නේ මිනිස් සිතේ ඇති පාරිශුද්්ධ බව ඉහළ ගිය තරමට යි. -

ඒ කරුණ තවදුරටත් පෙන්වා දෙනවා නම් පළමුවෙන් ම අප විසින් සකස් කර ගත යුත්තේ හොඳ මනසක්, හොඳ හිතක්. එහෙමත් නැතිනම් හොඳ හදවතක්. මේ කරුණ ධර්මානුකූල ව පෙන්වා දෙන තැනක් නම්

මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතො නං සුඛමන්වෙති
ඡායාව අනපායිණි

යනුවෙන් ඉගැන්වීමයි.

හොඳ, නිවැරැදි, සුපසන් හිතෙන් යමක් කියයි නම් හෝ කරයි නම් හෝ එවැනි ජන කොටස් වාසය කරන සමාජය යහපත්, සුවපත් සමාජයක් වෙනවා කියන එකයි එහි අදහස බවට පත් වෙන්නේ.

අපේ සිතුම් පැතුම්වල දැහැමි වෙනසකට අවශ්‍ය කාලය ඇවිත් පවතිනවා කියන එක බොහොම පැහැදිලි කරුණක්. සමාජයේ පැරැණි සිරිිත් විරිත් අද වියැකී ගිහින් තිබෙනවා. අපි හැම එකක් ම දිහා බලන්නේ ආර්ථික දෘෂ්ටිකෝණයකින්. මෙය බරපතළ වැරදීමක්.

මේ සිංහල බෞද්ධ රටට අනාදිමත් ඉතිහාසයක් තිබෙනවා. ඒ දිගේ ගලා ආ බෞද්ධ මෙන් ම සිංහල සංස්කෘතික ලක්ෂණ රාශියක් ම උරුම වෙලා තිබෙනවා. හැබැයි ඒවායින් බොහොමයක් අප අතරින් ගිලිහිලා ගහින් , අපි ඒවා ගැන සැලකිලිමත් නො වී ආර්ථික පැත්තෙන් ම බැලීම නිස යි. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන වස්සකාර සූත්‍රය පිළිබඳ අවධානය යොමු කිරිම වැදගත් කියලා සිතෙනවා.

එක කාලයක අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ වැඩ වසය කරනවා..මේ කාලය වනවිට අජාසත් රජතුමා රාජ්‍ය ලෝභයෙන් මත් වී, තම මහ ඇමති වස්සකාර බ්‍රාහ්මණයාට කථා කරලා කියනවා වජ්ජි රජවරුන්ගේ බලය කෙසේ හෝ සිඳබිඳ දැමිය යුතුයි. ඒ නිසා නුඹ බුදුරාණන් වහන්සේ හමු වන්න. රජතුමාගේ අදහසක් අලුතෙන් ඇති වෙලා තිබෙනවා, මහත් වූ කිර්තියක් ඇති වජ්ජීන් විනාශ කර දමන්නට. ඉතින් මේ කාරණය බුදුරජාණන් වහන්සේට දන්වා සිටින්න කියලා.

ඒ අවස්ථාවේ මේ වස්සකාර මහඇමතිවරයා බුදුරජාණන් වහන්සේට මේ අදහස ඉදිරිපත් කරන්නට පිටත්ව ගියා. එහෙම ගිහින් බුදුරජාණන් වහන්සේ දැක වැඳ ගරු බුහුමන් දක්වා තමන් පැමිණි කාරණය බුදුරජාණන් වහන්සේට විස්තර කරලා දුන්නා.

ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවන් ඇමතූ බුදුරජාණන් වහන්සේ ”ආනන්ද හාමුදුරුවන්ගෙන් විමසා සිටියා ආනන්ද, මේ වජ්ජීන් නිතරම රැස්වෙනවා. විවිධ අවශ්‍යතා ගැන සකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරපු කරුණු ගැන යම් තීරණයකට ආවත් මේ වජ්ජීන් නැවතත් මේ කරුණු ගැන විමසනවා. එහි දී ඊයෙත් අපි මේවා සකච්ඡා කළා නේද? අද මොකටද මේ ගැන සාකච්ඡා නරන්නට රැස්වෙන්නේ කියා වජ්ජීන් කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැහැ. නිවැරැදි අදහසකට පැමිණීම පිණිස නිතර නිතර රැස්වීම ඔවුන් අගය කරනවා. මේ කරුණ ඔවුන් කිසි විටෙක හානියකට, විපතකට පත්වීමට ඇති ඉඩකඩ අවුරනවා. දෙවනුව බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්වා දෙනවා. මේ නිතර නිතර රැස්වන වජ්ජින් අතර නොයෙක් වාද විවාද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් මතු වෙනවා. මතවාද බහුල වෙනවා.

මීළඟට තුන්වැනි කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ වජ්ජීන් කිසි විටකත් පැරැණි මුතුන් මිත්තන් විසින් කාලාන්තරයක් තිස්සේ සම්මත කොට පනවා ගෙන ක්‍රියාත්මක කර තිබෙන කිසිදු රෙගුලාසියක්, නීතියක් රීතියක්, ව්‍යවස්ථාවක් කඩ කරන්නට කටයුතු කරන්නේ නැහැ. මෙහි දී අප විසින් විමසා බැලිය යුතු වැදගත් කරුණ නම් අද දවසේ සමාජ පරිහානියට මේ කරුණ කොතරම් දුරට අදාළ වෙනවා ද කියන කාරණය. අපේ දෛනික ජීවිතයට අදාළ වන බොහෝ සිංහල බොදු සිරිත් සමාජයෙන් ගිලිහිලා ගිහින් තිබෙනවා. පෙර කාලවල දී අපට මතක් වෙනවා 60, 70 වැනි දසකවල අපේ රටේ අලුත් අවුරුදු කාලයන්හි තිබුණු සිරිත් විරිත් කොපමණ දුරට සමාජයෙන් අද ඈත්වෙලා ද කියන මේ කරුණ.

ඇත්තෙන් ම අලුත් අවුරුදු සිරිත් එදා අවසන් වුණේ මතට, දුරචාරයට අවකාශ සලසා දීමෙන් නොව වැඩිහිටියන් සමා කර ගැනීම, දෙමාපියන්ට සැලකිලි සම්මාන කිරීම, ගමේ අසල් වැසියන්, පවුලේ සාමාජිකයන් කවුරුත් සමඟ එකට එක් වී සතුටින් සමාදානයෙන්. සැබැවින් ම මේ මුතුන් මිත්තන් විසින් හඳුන්වා දුන් බොහෝ සිරිත් අප අතරින් දැඩි ලෙස ඈත්වෙලා කියන මේ කරුණ ඇඳුම පැළඳුම, හිසකෙස් රැවුල කැපීම ආදි සෑම බාහිර ඉරියව්වකින්මත් දුරස්ථ වෙලා යන්න පැහැදිලි කරුණක්.

එහෙත් අප අවධානයට යොමු කළ යුතු වෙනවා ජපානය, තායිලන්තය මියන්මාරය, වියට්නාමය වැනි වැනි රටවල අද ශීඝ්‍ර දියුණුවක් කරා යමින් තිබිය දී ඔවුන්ගේ පුරාණයේ සිට පැවත එන බොහෝ සංස්කෘතික සිරිත් විරිත් ඒ ආකරයෙන් ම පවත්වා ගෙන යාමට රාජ්‍ය නායකයාගේ සිට සෑම තරාතිරමක ම කෙනෙක් බරපතල උත්සාහයක් අරගෙන එහි ප්‍රතිඵල පෙන්වා දී තිබෙන ආකාරය ගැන.

හතරවෙනුව සමාජයේ වැඩිහිටි පිරිස්වලට දක්වන සැලකිලි සම්මාන වජ්ජීන් විසින් ඉතා ඉහළින් අගය කරනවා. මේ නිසා ඔවුන් වෘද්ධත්වයට පත්වී සිටින්නේ සාමාන්‍යයෙන් වයසින් පමණක් නොවෙයි දැනුමෙන්, තේරුමෙන් අත්දැකීම් බහුලභාවයෙන්. ඒ අනුව වජ්ජීන් වැඩිහිටි පිරිස්වලට සත්කාර සම්මාන කරනවා, බුහුමන් කරනවා. ඔවුන් පූජනීය පිරිස් ලෙස සලකනවා. ඔවුන්ගේ අවවාදය අනුශාසනය ඉහළින් අගය කරනවා. මේ කරුණත් ඔවුන්ගේ අපරිහනියට හේතු වී ඇති ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.

දැන් බලනවිට අද අප ජීවත්වන සමාජයේ වැඩිහිටියෙක් අපහසුවෙන් මහමඟ බසයක හෝ ගමන් කරනවිට අසුනක් දීමටවත් ඉක්මන් වන්නේ කීයෙන් කී දෙනා ද?

ඒ වගේම තමා කුලකුමරියන්, කුලකාන්තාවන්, ඉතාම ආරක්ෂාකාරීව ඔවුන් පිළිබඳ ව වජ්ජින් ක්‍රියා කළ ආකාරය බුදුරජාණන් වහන්සේගේ බලවත් පැසසුමට ලක් වුණා. අද අපේ රටේ තත්ත්වය බලන්න. මොනතරම් සෝචනීය ද? නිතරම අසන්නට, දකින්නට ඕනතරම් කරුණු සමාජයෙන් නිදසුන් වෙනවා. එදා අනුරාධපුර සමයෙහි කුල කාන්තාවකට රන් රිදී ආභරණවලින් සැරසී උතුරේ සිට දකුණට පවා පා ගමනින් නිර්භය ව යාමට හැකි වුණේ මේ අපරිහානිය ලක්ෂණ නිසයි. ඒනිසා තමයි ජනතාව ආධ්‍යාත්මික හා බාහිර අංශ දෙකෙන් ම එදා සශ්‍රීක වූයේ.

ඒ විතරක් නොවේ, බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එදා වජ්ජීන් රටේ පැවති සෑම ආගමක් දහමක් කෙරෙහි ම ගරුබුහුමුන් පැවැත්වූවා. කිසිම ආගමකට දහමකට ගැරහුවේ නැහැ. සමානාත්මතා දහම අගය කළා. සෑම පූජනීය ස්ථානයක් ම සම සේ ආරක්ෂා කළා. මෙය ඔවුන්ගේ සයවැනි අපරිහානිය ප්‍රතිපත්තිය වුණා.

අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ හත් වැනි අපරිහානිය කරුණ ලෙස පෙන්වා දුන්නේ බුද්ධශ්‍රාවක රහතන් වහන්සේ යම් කරුණකට වජ්ජි රාජ්‍යය තුළට ඇතුළු වෙනවා ද උන්වහන්සේ මැනවින් පිළිගෙන ආරක්ෂාව සලසා දෙමින් උන්වහන්සේගේ සියලු අවශ්‍යතා ද ඉටු කර දීමට වජ්ජීන් ක්‍රියා කළා. එය ද ඔවුන්ගේ අපරිහානීය දහමක් ලෙස බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් අමතා පැහැදිලි කර දුන්නා.

වස්සකාර ඇමති මේ සියල්ල අසා ගෙන සිට අවසානයේ බුදුරජාණන් වහන්සේ වැඳ අවසර ගෙන අජාසත් රජතුමාට මෙම අපරිහානිය දහම පෙන්වා දුන්නා. ඇත්තෙන්ම එම අවස්ථාවේ දී රජතුමා තමන් තුළ මේ කියන ධර්මතා නො මැති බවත්, අවබෝධ කර ගත්තා.

නූතන සමාජ සංවර්ධනයට මේ කියන කරුණු සනාථනික ව වැදගත් වන ආකරය අවසාන වශයෙන් පෙන්වා දෙන්නට පුළුවනි.